සටහන – පුලී
සැප්තැම්බර් 02, LNW (කොළඹ): තාක්ෂණික ලෝකයේ දැවැන්තයෙකු වන Apple සමාගම නව පරිච්ඡේදයකට පිවිස තිබේ. වසර 15ක් පුරා Apple සමාගම මෙහෙයවූ Tim Cookගේ අනුප්රාප්තිකයා ලෙස John Ternus සැප්තැම්බර් 1 වැනිදා සිට Apple හි නව ප්රධාන විධායක නිලධාරීවරයා ලෙස වැඩ භාරගෙන තිබේ.
නව තනතුර භාරගැනීමෙන් අනතුරුව Ternus සිය X සමාජ මාධ්ය ගිණුමේ පළ කළේ ඉතා සරල වචනයක් පමණි.
“Hello”
එහෙත් එම සරල සුබපැතුම පැය කිහිපයක් තුළම තාක්ෂණික ලෝකයේ දැඩි කතාබහකට ලක්විය. එම පළ කිරීම මිලියන 2.6කට අධික පිරිසක් නරඹා ඇති අතර, X හි හිමිකරු Elon Musk පවා “Welcome” යනුවෙන් පිළිතුරු ලබාදී තිබුණි. හිටපු ධවල මන්දිර AI උපදේශක Sriram Krishnan ද Ternus වෙත සිය සුබපැතුම් එක් කළේය.
වසර 25කට ආසන්න Apple ගමනක්!
50 හැවිරිදි John Ternus Apple සමාගමට අලුත් පුද්ගලයෙකු නොවේ. ඔහු 2001 වසරේදී Apple හි නිෂ්පාදන සැලසුම් කණ්ඩායමට එක් වූ අතර, වසර ගණනාවක් පුරා සමාගමේ වැදගත්ම තාක්ෂණික තනතුරු දක්වා ඉහළ ගියේය.
2013 වසරේදී Hardware Engineering අංශයේ උප සභාපතිවරයා ලෙස පත් වූ ඔහු, 2021 සිට Apple හි ජ්යෙෂ්ඨ විධායක කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස Tim Cookට සෘජුවම වාර්තා කළේය.
Ternusගේ නායකත්වය යටතේ iPhone, iPad, Mac, Apple Watch සහ AirPods වැනි Apple හි ප්රධානතම නිෂ්පාදනවල ඉංජිනේරු කණ්ඩායම් ක්රියාත්මක විය.
Apple වෙත එක්වීමට පෙර ඔහු Virtual Research Systems සමාගමේ යාන්ත්රික ඉංජිනේරුවෙකු ලෙස සේවය කළේය. ඔහු Pennsylvania විශ්වවිද්යාලයෙන් යාන්ත්රික ඉංජිනේරු විද්යාව පිළිබඳ උපාධියක් ලබා ඇත.
Cookගෙන් Ternus වෙත – ඉතිහාසය නැවතත්?
John Ternusගේ පත්වීම විශේෂ අවධානයක් දිනාගන්නේ තවත් හේතුවක් නිසාය. Tim Cook 2011 වසරේ Steve Jobsගෙන් Apple CEO තනතුර භාරගත් අවස්ථාවේ සිටි වයසම වන 50 වියේදී Ternusද දැන් එම තනතුරට පත්ව සිටී.
Steve Jobsගේ නික්ම යාමෙන් පසු Apple සමාගම නව මාවතකට ගෙන ගිය Tim Cook, සමාගම ලොව වටිනාම සමාගම් අතරට ගෙන ඒමට සමත් විය. ඔහුගේ නායකත්වය යටතේ iPhone ව්යාපාරය දැවැන්ත ආදායම් මූලාශ්රයක් බවට පත්වූ අතර, Services, Wearables සහ Health තාක්ෂණික ක්ෂේත්රවලද Apple විශාල වර්ධනයක් අත්කර ගත්තේය.
චීනය තුළ Apple හි බලපෑම තවදුරටත් ශක්තිමත් කළ Cook, ඉන්දියාවද සමාගමේ අනාගත වර්ධනය සඳහා ප්රධාන වෙළඳපොළක් බවට පත් කළේය.
දැන්, Tim Cook විධායක සභාපතිවරයා ලෙස Apple සමඟ රැඳී සිටින අතර, සමාගමේ දෛනික නායකත්වය John Ternus අතට පත්ව තිබේ.
Hardware ඉංජිනේරුවෙකුගේ අතට ගිය Apple හි අනාගතය!
John Ternusගේ පත්වීම Apple හි අනාගතය පිළිබඳ වැදගත් සංඥාවක් ලෙස තාක්ෂණික විශ්ලේෂකයෝ සලකති. Software සහ Services ව්යාපාරය වේගයෙන් වර්ධනය වන යුගයක, Apple නැවතත් Hardware නවෝත්පාදනයට විශේෂ අවධානයක් යොමු කරනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරති.

