ළමුන් 163 දෙනකු මුදවාගත් ෆ්ලොරිඩා මෙහෙයුම ගැන ලෝකය මෙතරම් නිහඬ ඇයි?

හෑෂ්ටැග් පිරුණු ලෝකයේ බේරාගත් දරුවන් 163 දෙනා වෙනුවෙන් හෑෂ්ටැග් කෝ?

ඉසුරු පරාක්‍රම

සැප්තැම්බර් 02, ලෝකය (LNW): ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් ළමුන් 163 දෙනකු දින පහක දැවැන්ත මෙහෙයුමකින් සොයාගැනීම සාමාන්‍ය අපරාධ පුවතක් ලෙස බැහැර කළ හැකි සිදුවීමක් නොවේ. වයස මාස දෙකක ළදරුවකුගේ සිට අවුරුදු 17ක යෞවනයකු දක්වා ළමුන් 163 දෙනකු අතුරුදන්වීම් හා අවදානම් තත්ත්වයන් සම්බන්ධ මෙහෙයුමක දී සොයාගෙන තිබේ. එම ළමුන්ගෙන් බොහෝ දෙනකු අපයෝජනය, නොසලකා හැරීම, සූරාකෑම හෝ අපරාධකාරී ක්‍රියාකාරකම්වලට නිරාවරණය වී සිටි බව ෆ්ලොරිඩා බලධාරීහු පවසති. ඇතැම් සිද්ධි මිනිස් ජාවාරමට ද සම්බන්ධ බව ඔවුහු සඳහන් කරති. 

එහෙත් මෙම සිදුවීම ඉදිරියේ ලෝකයේ ප්‍රමුඛ මාධ්‍ය, ජනප්‍රිය පුද්ගලයන් සහ සමාජ මාධ්‍ය බලපෑම්කරුවන්ගේ ප්‍රතිචාරය දෙස බැලූ විට අසන්නට සිදුවන ප්‍රශ්නයක් තිබේ.

ළමුන් 163 දෙනකු සම්බන්ධ මෙවැනි මෙහෙයුමකට මීට වඩා විශාල හඬක් නැඟිය යුතු නොවුණේද?

මෙහිදී පළමුව පැහැදිලි කළ යුතු කරුණක් තිබේ. NBC 6 South Florida, People සහ Florida Public Media ජාලයට අයත් WFSU/WUSF වැනි මාධ්‍ය මේ පිළිබඳ වාර්තා පළ කර තිබේ. එහෙත් මෙම සිදුවීම ජාතික හා ජාත්‍යන්තර මහජන කතිකාවක ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇති බවක් දක්නට නොලැබේ. 

ඇත්තටම සිදුවූයේ කුමක්ද?

“Operation Statewide Shield” ලෙස නම් කළ මෙහෙයුම 2026 අගෝස්තු 17 සිට 21 දක්වා දින පහක් පුරා ක්‍රියාත්මක විය. ෆ්ලොරිඩා Department of Law Enforcement (FDLE), Office of Statewide Prosecution සහ ප්‍රාන්ත, ප්‍රාදේශීය හා ෆෙඩරල් හවුල්කරුවන් එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.

ෆ්ලොරිඩා බලධාරීන්ට අනුව මෙය ප්‍රාන්තය විසින් මෙහෙයවන ලද පළමු statewide child-recovery initiative එක වන අතර, ඇමරිකානු ඉතිහාසයේ එදා මෙදා තුර සිදු වූ විශාලතම ළමා සොයාගැනීමේ මෙහෙයුම් අතරින් එකකි. 

දින පහක් ඇතුළත ළමුන් 163 දෙනකු සොයාගැනීම යනු සංඛ්‍යාවක් පමණක් නොවේ. එම සංඛ්‍යාව පිටුපස අතුරුදන්වීම්, පවුල් ගැටලු, පලායෑම්, අපයෝජන, නොසලකා හැරීම්, සූරාකෑම් සහ මිනිස් ජාවාරම් පිළිබඳ විවිධ සිද්ධි තිබේ. මෙම ළමුන් 163 දෙනා එකම ස්ථානයකින් හෝ එකම මිනිස් ජාවාරම් ජාලයකින් එකවර සොයාගත් පිරිසක් නොවේ. මෙය විවිධ සිද්ධි සහ විමර්ශන සම්බන්ධීකරණය කළ මෙහෙයුමකි. 

ෆ්ලොරිඩාවේ කොතැනින්ද මේ ළමුන් හමුවුණේ?

සොයාගත් ළමුන්ගෙන් වැඩිම සංඛ්‍යාවක් Tampa Bay කලාපයෙන් හමුවී තිබේ. එම සංඛ්‍යාව 46කි. Miami ප්‍රදේශයෙන් 41 දෙනකු ද, Jacksonville ප්‍රදේශයෙන් 32 දෙනකු ද සොයාගෙන තිබේ. Orlando ප්‍රදේශයෙන් ළමුන් 21 දෙනකු ද, Fort Myers ප්‍රදේශයෙන් 12 දෙනකු ද, Pensacola ප්‍රදේශයෙන් අට දෙනකු ද, Tallahassee ප්‍රදේශයෙන් තිදෙනකු ද සොයාගත් බව වාර්තා වේ. 

තව ද, මෙහෙයුමේ භූගෝලීය පරාසය ඇමරිකා එක්සත් ජනපදයේ තවත් ප්‍රාන්ත හයක්, එක්සත් ජනපද භූමි ප්‍රදේශයක් සහ රටවල් 12ක් දක්වා පැතිරී තිබූ බව බලධාරීහු පවසති. එම ජාත්‍යන්තර සම්බන්ධතාව අතර කැනඩාව, කොලොම්බියාව, ඉතාලිය සහ තායිවානය ඇතුළු රටවල් ද ඇතුළත් වූ බව වාර්තා වේ. 

මාස දෙකක ළදරුවකුගේ සිට අවුරුදු 17ක දරුවකු දක්වා

මෙහෙයුමෙන් සොයාගත් ළමුන්ගේ වයස් පරාසය මාස දෙකක සිට අවුරුදු 17 දක්වා ය. එනම්, මෙම සිදුවීමේදී සොයාගෙන ඇත්තේ යෞවනයන් පමණක් නොවේ. මෙහි ළදරුවෝ ද සිටිති. කුඩා දරුවෝ ද සිටිති. වැඩිහිටි වීමට ආසන්න යෞවනයෝ ද සිටිති. 

ෆ්ලොරිඩාවේ නීතිපති James Uthmeier පවසන්නේ මෙම ළමුන්ගෙන් බොහෝ දෙනකු දුර්වලම තත්ත්වයේ සිටින පුද්ගලයන් ගොදුරු කරගන්නා අපරාධකරුවන්ගේ බලපෑමට ලක්ව සිටි බවයි. ළමුන් විවිධ මට්ටමේ අපයෝජනය, නොසලකා හැරීම, සූරාකෑම සහ වෙනත් අපරාධකාරී ක්‍රියාකාරකම්වලට නිරාවරණය වී තිබූ බව බලධාරීහු සඳහන් කරති. 

මේ ළමුන්ගේ කතාව ලෝකය කතා කළ යුතු තරම් විශාල කතාවක් නොවන්නේ ඇයි?

‘Human trafficking’ යන වචනය ඇසෙන විට පමණක්ද ලෝකය අවදි වන්නේ?

මෙම සිදුවීම පිළිබඳ වාර්තාකරණයේදී තවත් සංවේදී වෙනසක් හඳුනාගත යුතුය. ෆ්ලොරිඩා බලධාරීන් පවසන්නේ ළමුන් බොහෝ දෙනකු විවිධ ආකාරයේ අපයෝජනය, නොසලකා හැරීම සහ සූරාකෑම අත්විඳ ඇති බවත්, ඇතැම් දෙනා මිනිස් ජාවාරමේ ගොදුරු බවට පත්ව ඇති බවත්ය. 

163 දෙනාම එකම ජාවාරම් ජාලයක ගොදුරු නොවූවත්, මෙතරම් විශාල ළමුන් සංඛ්‍යාවක් අවදානම් තත්ත්වයන් යටතේ සිටි බව සම්බන්ධයෙන් ජාතික මට්ටමේ විමර්ශන සහ ප්‍රශ්න කිරීම් කොතැනද?

අත්අඩංගුවට ගැනීම් තුනයි. එතැනින් ප්‍රශ්න අවසන් ද?

මෙහෙයුම සම්බන්ධයෙන් මේ වන විට ප්‍රසිද්ධියට පත් කර ඇති නීතිමය ප්‍රතිඵලය ද ප්‍රශ්න මතු කරයි.

මෙහෙයුමෙන් අනතුරුව අපරාධ චෝදනා සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් අත්අඩංගුවට ගැනීම් සහ විමර්ශන ඉදිරියට යා හැකි බව බලධාරීහු පවසති. ප්‍රසිද්ධ වාර්තාවල ඇති චෝදනා අතර බාලවයස්කරුවකු සම්බන්ධ ලිංගික අපරාධ චෝදනාවක් සහ ළමා භාරකාරත්වයට අදාළ ක්‍රියාවලියකට බාධා කිරීම වැනි චෝදනා ද තිබේ. 

මෙහිදී ඉතා වැදගත් ප්‍රශ්නයක් පැන නගී.

ළමුන් 163 දෙනකු සොයාගැනීමෙන් පසුව, ඔවුන්ට සිදුවූ දේ පිළිබඳ පූර්ණ වගකීම තීරණය කරන්නේ කෙසේද?

අත්අඩංගුවට ගැනීම් තුනක් සිදුවීමෙන් “කතාව අවසන්” කළ නොහැකිය. ළමුන් 163 දෙනාගේ එක් එක් සිද්ධිය, ඔවුන් සිටි තත්ත්වය, ඔවුන්ගේ අතුරුදන්වීමේ පසුබිම සහ ඔවුන් අවදානමට ලක්වූ ආකාරය පිළිබඳ විමර්ශන ඉදිරියට යා යුතුය.

ඔවුන් සොයාගත් පසු?

මෙහෙයුමේ වැදගත් අංගයක් වූයේ ළමුන් සොයාගැනීමෙන් පසු ඔවුන්ට වහාම සහාය ලබාදීමයි.

“Recovery hubs” ලෙස හැඳින්වෙන මධ්‍යස්ථානවලදී සමාජ සේවා නිලධාරීන්, වෛද්‍ය සේවා සපයන්නන් සහ වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නිලධාරීන් ඔවුන්ට සහාය ලබාදී තිබේ. මෙය අතිශය වැදගත්ය. මන්දයත්, ළමයකු සොයාගැනීම ඔහුගේ හෝ ඇයගේ ගැටලුවේ අවසානය නොවන බැවිනි.

අතුරුදන්වීමේ කාලය, අපයෝජනය, නොසලකා හැරීම, පවුල් ගැටලු හෝ සූරාකෑම හේතුවෙන් ඇති වූ මානසික සහ සමාජීය බලපෑම් දිගුකාලීන විය හැකිය. ඒ නිසා බලධාරීන් ම සඳහන් කර ඇති පරිදි, ඇතැම් ළමුන්ට දිගුකාලීන සහාය අවශ්‍ය වනු ඇත. 

එහෙත් මෙහිදී ද ලෝකයේ අවධානය අවශ්‍ය වේ. මෙම දරුවන් සොයාගත් පසු ඔවුන්ට සිදුවන්නේ කුමක්ද?

  • ඔවුන් නැවත කාට භාරදෙන්නේ ද?
  • ඔවුන් සිටි පරිසරය නැවත පරීක්ෂා කරන්නේ ද?
  • ඔවුන් අපයෝජනයට ලක්වූවා නම් අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ ද?
  • මිනිස් ජාවාරමක් තහවුරු වුවහොත් එහි මුල්‍ය හා සංවිධානාත්මක ජාලය සොයා යන්නේ ද?

මේවා ප්‍රශ්න පමණක් නොවේ. ඒවාට පිළිතුරු අවශ්‍යය.

බටහිර මාධ්‍ය නිහඬ ඇයි?

NBC 6 South Florida අගෝස්තු 31 දා සහ සැප්තැම්බර් 01 දා යාවත්කාලීන කළ වාර්තාවක් පළ කර ඇති අතර, People ද අගෝස්තු 30 දා මෙහෙයුම පිළිබඳ වාර්තාවක් පළ කළේය. Florida Public Media හි WFSU/WUSF වැනි මාධ්‍ය ද අගෝස්තු 25 දා සිද්ධිය වාර්තා කර තිබේ. එහෙත් මෙම පුවතට ලැබී ඇති ජාත්‍යන්තර මාධ්‍ය ආවරණය බෙහෙවින් අල්ප බව නිරීක්ෂණයකළ හැකි ය. 

ප්‍රශ්නය වන්නේ මේ සිදුවීමට ලැබුණු අවධානයේ ප්‍රමාණයයි. ළමුන් 163 දෙනකු සොයාගත්, ප්‍රාන්ත හයක්, එක්සත් ජනපද භූමි ප්‍රදේශයක් සහ රටවල් 12ක් සම්බන්ධ වූ මෙහෙයුමක් වූ විට, එය දින කිහිපයකට පසු ජාත්‍යන්තර මාධ්‍ය අවකාශයෙන් අතුරුදන් වීම ප්‍රශ්නකළ යුතුය.

විශේෂයෙන්ම ළමා ආරක්ෂාව, ලිංගික සූරාකෑම සහ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා දිනපතා දැවැන්ත සදාචාරාත්මක ප්‍රකාශ නිකුත් කරන ජනප්‍රිය පුද්ගලයන්, influencers සහ සමාජ ක්‍රියාකාරීන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කෙතරම් ප්‍රබලව කතා කළේ ද යන්න විමසිය යුතුය.

කතාවේ වටිනාකම දේශපාලනයෙන් තීරණය විය යුතු ද?

මෙහිදී තවත් අපහසු ප්‍රශ්නයක් තිබේ. ළමා අපයෝජනය පිළිබඳ කතාබහ බොහෝ අවස්ථාවලදී දේශපාලන වාද විවාද සමඟ සම්බන්ධ වේ. කවර රටක, කවර ප්‍රාන්තයක, කවර දේශපාලන පක්ෂයක පාලනයක් යටතේ සිදුවූවත් ළමා ආරක්ෂාව එකම මිනුම් දණ්ඩකින් විමසිය යුතුය. ඒ අනුව ෆ්ලොරිඩාව රිපබ්ලිකන් පාලනයක් යටතේ තිබීම හේතුවෙන් මෙම මෙහෙයුමේ ගැටලු හෝ සාර්ථකත්වය වෙනස් ලෙස මැනිය නොහැකිය. එසේම ෆ්ලොරිඩා ආණ්ඩුව තම මෙහෙයුම රිපබ්ලිකන් සාර්ථකත්වයක් ලෙස ප්‍රචාරය කිරීම ද ප්‍රශ්න කළ යුතුය.

මෙය ෆ්ලොරිඩාවේ පළමු ළමා සොයාගැනීමේ ක්‍රියාන්විතය නොවේ. බලධාරීන් විසින් මීට පෙර සිදුකළ Operation Dragon Eye සහ Operation Home for the Holidays වැනි මෙහෙයුම් ද සඳහන් කර තිබේ. එම පෙර ක්‍රියාන්විතවලදී ද අතුරුදන් වූ ළමුන් විශාල සංඛ්‍යාවක් සොයාගෙන තිබුණි.

දින පහක් තුළ 163 දෙනකු සොයාගත හැකි තරම් තොරතුරු, තාක්ෂණය සහ ආයතනික හැකියාවන් පොලීසිය සතුව තිබේ නම්, සාමාන්‍ය කාලයේදී අතුරුදන්වූ ළමුන් සම්බන්ධයෙන් එම සම්පත් ප්‍රමාණවත් තරම් භාවිතා කරන්නේ ද? මෙය Operation Statewide Shield වෙත එල්ල කරන චෝදනාවක් නොවන අතර, ඇමරිකාවේ ළමා ආරක්ෂණ පද්ධතියෙන් පිළිතුරු ඉල්ලා සිටින ප්‍රශ්නයකි.

ලෝකය තෝරාගෙන පමණක් ළමා ආරක්ෂාව ගැන කතා කරනවා ද?

මෙහිදී වඩාත් පුළුල් සමාජ ප්‍රශ්නයක් ද මතු වේ.

ළමා අපයෝජනයක් සිදුවන්නේ අපට අකමැති රටක නම් අපි ඝෝෂාකාරී වෙමු. අපට දේශපාලනික ව පහසු කතාවක් නම් අපි hashtags නිර්මාණය කරමු. ජනප්‍රිය පුද්ගලයකුට එයින් තම ප්‍රතිරූපය ගොඩනගාගත හැකි නම් එය සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් බවට පත්වෙයි.

නමුත් ළමා ආරක්ෂාව දේශපාලනිකව අපහසු ප්‍රශ්නයක් වන අවස්ථාවලදී එම හඬ අඩුවන්නේද? එසේ නම් එය බරපතළ සදාචාරාත්මක ප්‍රශ්නයකි.

ළමා අයිතිවාසිකම් යනු භූදේශපාලනික තේරීමක් නොවිය යුතුය.

ඇමරිකාවේ දරුවකු අපයෝජනයට ලක්වුණත්, ශ්‍රී ලංකාවේ දරුවකු අපයෝජනයට ලක්වුණත්, අප්‍රිකාවේ දරුවකු ජාවාරමට හසුවුණත්, යුරෝපයේ දරුවකු සූරාකෑමට ලක්වුණත් ප්‍රතිචාරයේ සදාචාරාත්මක මිනුම් දණ්ඩ එකම විය යුතුය.

Operation Statewide Shield පිළිබඳ වාර්තා කියවන විට අවසානයේ මතක තබාගත යුතු වචනය “163” නොවේ. එය 163 මිනිස් ජීවිත ය; මාස දෙකක ළදරුවකුගේ සිට අවුරුදු 17ක යෞවනයකු දක්වා වූ ජීවිත ය.

ඒ ළමුන් අතරින් බොහෝ දෙනකු විවිධ මට්ටමේ අපයෝජනය, නොසලකා හැරීම, සූරාකෑම හෝ අපරාධකාරී ක්‍රියාකාරකම්වලට නිරාවරණය වී ඇති බව බලධාරීහු පවසති. ඇතැම් අය මිනිස් ජාවාරමට ගොදුරු වූ බව ද සඳහන් වේ.

අප ඇසිය යුතු ප්‍රශ්න වන්නේ:

  • මේ ළමුන් මෙතරම් අවදානම් තත්ත්වයකට වැටුණේ කෙසේ ද?
  • ඔවුන් සොයාගැනීමට පෙර කොපමණ කාලයක් ගතවී තිබුණේ ද?
  • ඔවුනට හානි කළ හෝ ඔවුන් සූරාකෑ පුද්ගලයන් කවුද?
  • ඒ පුද්ගලයන්ගෙන් කොපමණ දෙනකුට නඩු පවරනු ඇත්ද?
  • ළමුන් නැවත එවැනි තත්ත්වයකට වැටීම වැළැක්වීමට කුමක් කරන්නේ ද? සහ;
  • මෙවැනි සිදුවීමක් ඇමරිකාවේ සිදුවූ විට ලෝකය එයට ලබාදෙන අවධානය, වෙනත් රටක සිදුවූ විට ලබාදෙන අවධානයට සමාන ද?

*ඡායාරූප: අන්තර්ජාලය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කිරිඳිවැල සිනමා ශාලාවක සඟවා තිබූ ගිනිඅවි සහ ජීව උණ්ඩ තොගයක් අත්අඩංගුවට !

කිරිඳිවැල ප්‍රදේශයේ සිනමා ශාලාවක සඟවා තිබූ ගිනිඅවි, ජීව උණ්ඩ...

වැසි තත්වයේ වෙනසක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 18) දිනයේදී දිවයිනේ බොහෝ...

නාමල්ගේ පෞද්ගලික ලේකම්ගේ නිවසේ තිබූ සේප්පුවක් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

කාවන්තිස්ස මහ ඇතුගේ අවසන් කටයුතු සියඹලන්ගමුවේදී සිදුකෙරේ. විපක්ෂ නායක සජිතුත් එක්වෙයි

මෙරට සිටි විශාලතම හස්තියකු වූ කාවන්තිස්ස ඇතුගේ දේහය පිළිබඳ...