සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුට එරෙහි නඩුවක් කැඳවීමට දින!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 04, කොළඹ LNW:

මේ වනවිට සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වූ මහින්දානන්ද අලුත්ගමගේ, නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව ඔක්තෝබර් 10 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණ අද දින නියම කළ බව වාර්තා වේ. ඒ , පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමිනි.

අද (04) දින මෙම නඩුව කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ කැඳවනු ලැබූවා. එම අවස්ථාවේදී සිර දඬුවම් නියම වී බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍යවරුන් වූ මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යනාදීන් බන්ධනාගාරයෙන් නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. මෙම නඩුවේ තුන්වන විත්තිකරු වශයෙන් නම්කර සිටින ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි මහතා විවෘත අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ කරුණු දක්වමින් විත්තිකරු අසනීපයෙන් පසුවන බව සඳහන් කරමින් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර ඇත.

විත්තිකාර නලින් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජේ රාජරත්නම් මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් මෙම නඩු කටයුත්ත මාධ්‍ය හරහා ප්‍රචාරය වනවිට විත්තිකරුගේ පවුලේ අය සහ හිතවතුන් අපහසුතාවට සහ පීඩාවට පත්වීමට හැකියාව තිබෙන නිසා නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ වූ පසු පමණක් විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිට ඇති අතර, ඒ අවස්ථාවේදී විනිසුරුවරයා පැවසූවේ අපරාධ නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව නඩු විභාගය පැවැත්වෙන අතරතුරදී ව්‍යතිරේක අවස්ථාවකද හැර අන් සෑම අවස්ථාවකදීම විත්තිකරුවන් අධිකරණය ඉදිරිපත් කළ යුතු බවයි.

නිසි පරිදි නඩුව පවත්වාගෙන යාමට විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටිය යුතු බවත් මෙහිදී විනිසුරුවරයා අවධාරණය කළ බව පැවසෙන අතර, ඒ අනුව විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥවරයා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහාධිකරණ විනිසුරුවරයා සෑම නඩු දිනයකදීම විත්තිකරු අධිකරණට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ බව පැවසේ.

ඉන් අනතුරුව මෙම නඩුවේ විත්තිය විසින් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන මූලික විරෝධතා වලට අදාල වාචික දේශන ඔක්තෝබර් මස 10 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවරයා විසින් විත්තියේ නීතිඥවරයාට නියම කළ බව සඳහන් වේ.

මෙම නඩුව ගොනු කර ඇත්තේ, 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14000 ක් සහ දාම් ලෑලි 11000 ක් ආනයනය කිරීම තුලින් රුපියල් මිලියන 39ක අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පොදු දේපල පනත යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුවට අදත් ඇප නෑ!

කොළඹ LNW:ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව...

ට්‍රම්ප්ගේ ප්‍රකාශයට චීනයෙන් පිළිතුරු!

කොළඹ LNW:චීනය ඕනෑම රටක් සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා වර්ධනය කිරීමෙන්...

අධිකරණයේ උසස්වීම්!

උපාලි කොළඹගේ කොළඹ LNW:මහේස්ත්‍රාත්වරුන් 17 කට මහඅධිකරණ විනිසුරුවරුන් වශයෙන් උසස්වීම්...

සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී වෙතින් “ස්කෑන් කසාවා චිප්ස්” රස 4 කින් වෙළඳපලට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 04, කොළඹ LNW: ශ්‍රී ලාංකීය පාරිභෝගික විශ්වාසය...