17 වැනි සියවසේ දී පමණ මෙරටින් වඳ වී ඇති බවට අනුමාන කෙරෙන ගවරා (ඉන්දියානු බයිසන්) නම් ගව විශේෂය ශ්‍රී ලංකාවේ වනාන්තරවලට යළි හඳුන්වා දීමේ සූදානමක් පවතින බව ඉන්දියාවේ පළ වන හින්දුස්තාන් ටයිම්ස් පුවත් පත වාර්තා කොට තිබේ.ලෝක සොබා සංසදය (IUCN) මගින් අවදානමට ලක්විය හැකි සතකු ලෙස ගවරා ලැයිස්තුගත කර ඇති බැවින්, එවැනි දේශ සීමා මාරුවක් සඳහා ඉන්දියාවේ පරිසර හා වන අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකාවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරය අවශ්‍ය වේ.බොස් ගවුසර් (Bos gaurus) නම් විද්‍යාත්මක නාමය ඇති ගවරා (gaur) යනු ලොව විශාලතම ගව විශේෂයකි. 1986 වසරේ සිට සොබාදහම සංරක්ෂණය සඳහා වූ අන්තර්ජාතික සංගමය (IUCN) විසින් මෙම සත්ත්වයා ‘වඳවීමේ තර්ජනයට ලක් වූ විශේෂවල රතු ලැයිස්තුවට’ ඇතුළත් කර ඇත.
කෙසේ වෙතත්, මෙම යෝජනාව සම්බන්ධයෙන් ඉන්දීය සහ ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් නිල ප්‍රකාශයක් මෙතෙක් සිදු වී නැත.අවම වශයෙන් වසර 30,000 කට පෙර සිට ශ්‍රී ලංකාව තුළ ගවරා පුළුල් ලෙස ව්‍යාප්ත ව සිටින්නට ඇතැයි විශ්වාස කෙරේ. ශ්‍රී ලංකාවේ අවසන් වරට වාර්තා වී ඇති ගවරා 17 වන සියවසේ අග භාගයේ මහනුවර දෙවන රාජසිංහ රජුගේ සුරතල් සත්ව එකතුවේ ද සිට ඇත.දාහත්වන සියවසේ අග භාගයේ අප රටේ එළිමහන් සිර කරුවකුව සිටි රොබට් නොක්ස් පවසා ඇත්තේ ලංකාවේ වන ගහණයන් හි ජීවත් වූ මෙම ගවරා ගවයාට බොහෝ සමාන බවකි.
පිට මුදුනේ කෙලින් අතට විහිදුණු නහරයක් සහිත ගවරා ගේ පාද සතරෙහි උඩ කොටස සුදු බවත් රජ තුමාගේ සුරතල් සත්ව එකතුවේ ද මෙම සතකු සිටි බවත් රොබට් නොක්ස් කියයි. ශ්‍රී ලංකාව පුරා ජනප්‍රවාදවල මෙම ගවරා පිළිබඳව හැඳින්වෙන අතර යම් යම් පුද්ගලයන් සමීපව ඇසුරු කොට ඔවුන් ගසා කන කපටින් හැඳින්වීම පිණිස ද ගවරා වගේ යන පිරුළ ද අප සමාජයේ භාවිතා වෙයි.මීට අමතරව ගවරවෙල,ගවරවිල,ගවරකන්ද යන ග්‍රාම නාම වලින් ද අතීතයේ මෙහි ගවරුන් සිටි බව සනාථ කර ගත හැක.
‘හින්දුස්ථාන් ටයිම්ස්‘ පුවත් සේවය වාර්තා කර ඇති ආකාරයට මෙම ගව විශේෂයේ සත්වයන් හය දෙනකු ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස අගෝස්තු මස මුලදී ශ්‍රී ලංකා පාර්ශ්ව විසින් ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.ශ්‍රී ලංකාවේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත තාක්ෂණික ක්‍රියාකාරි කමිටුවක් මෙම සත්ත්වයන් නැවත ශ්‍රී ලංකාවට හඳුන්වා දීම වෙනුවෙන් පත් කිරීමට ද ශ්‍රී ලංකාව යෝජනා කර තිබේ.ඒ කෙසේ හෝ මීට වසර තුන් සියයකට පෙර මෙරටින් සමුගත් මේ සත්ව මිතුරා ඉන්දියාවේ සිට හෝ යළි පැමිණෙන බවක් අසනට ලැබීම අපට මහත් සතුටකි.