බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල පිතිකරු මුෂ්ෆිකර් රහීම් 20/20 ජාත්‍යන්තර තරගවලින් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් රහීම් අද මේ බව සඳහන් කර තිබේ.
ටෙස්ට් හා එක්දින තරග අංශ සඳහා වැඩි අවධානයක් ලබාදීමේ අරමුණින් 20/20 ජාත්‍යන්තර තරගවලින් සමු ගැනීමට තීරණය කළ බවත්, කෙසේ නමුත් ලීග් තරගාවලි සඳහා අවස්ථාවක් හිමි වුවහොත් ඒ සඳහා සූදානම් බවත් මුෂ්ෆිකර් රහීම් ප්‍රකාශ කරයි. තමාගේ තීරණය හේතුවෙන් ඉදිරියේදී ටෙස්ට් හා එක්දින තරග අංශවලින් රට වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබාදීමට හැකිවනු ඇති බවට ඔහු විස්වාසය පළ කරනවා.
මේ වනවිට 36 හැවිරිදි වියේ පසුවන මුෂ්ෆිකර් 2006 වසරේ සිම්බාබ්වේට එරෙහිව 20/20 ජාත්‍යන්තර වරම් දිනාගත් අතර එතැන් පටන් තරග 102 ක් ක්‍රීඩා කර තිබෙනවා. ඉනිම 93 කදී 115 ක ප්‍රහාරක වේගයක් සහිතව ලකුණු 1500 ක් රැස් කරගෙන ඇති අතර ඊට අර්ධ ශතක 06 ක් අන්තර්ගත වේ. ඔහු උඩපන්දු 42 ක් හා ස්ටම්ප් 30 ක් වාර්තා කර තිබෙනවා.
බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විසින් තමාව, ටෙස්ට් ඉතිහාසයේ සුපිරිතම පිතිකරුවා ලෙස හඳුන්වන ඩොනල්ඩ් බ්‍රැඩ්මන් හා සමාන කරන බව එක් අවස්ථාවකදී ප්‍රකාශ කළ මුෂ්ෆිකර් වැඩිදුරටත් සඳහන් කළේ බ්‍රැඩ්මන් වැනි සුපිරි ක්‍රීඩකයෙකුට ලංවීමට හෝ තමාට නොහැකි බවයි.
මේ වනවිට පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම බංග්ලාදේශයට ඉවතට විසිවීමට සිදුවූයේ තරග දෙකම පරාජයට පත්වෙමිනි. මුෂ්ෆිකර් ප්‍රමාණවත් දස්කම් දැක්වීමට අසමත් වූ අතර තරග දෙකේදීම රැස් කළේ ලකුණු 05 ක් පමණි. එම පරාජය මෙන්ම පිතිකරුවෙකු ලෙස අසාර්ථක වීම ඔහුගේ සමුගැනීම ඉක්මන් කිරීමට හේතුවක් වන්නට ඇත.
UN