නිශ්මං රණසිංහ සැප්තැම්බර් 07, කොළඹ LNW:
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ මෑත කාලයේ පෙන්වන ලද දුර්වලම පිතිහරඹ රටාව විඳහා පෙන්වමින් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව කඩුලු 5 කින් පරාජය විය.ඒ සමඟම දෙරට අතර පැවත්වෙන තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලිය 1-1 ක් ලෙස සම විය.කීර්තිමත් පිතිකරණ රටාවකට හිමිකම් කියන ලාංකේය පිිතිකරණ බලඇණියේ කීර්තිය දවා අළු කර දැමූ සිම්බාබ්වේ ක්‍රීඩකයින් තරග තුනකින් සමන්විත තරගාවලියේ තෙවන තරගය තීරණාත්මක එකක් කරමින් ශ්‍රී ලංකාව දැඩි පීඩාකාරී මානසිකත්වයකට තල්ලු කර දැම්මේය.
කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් එම තීරණය ගත් නායක සිකන්දර් රාසා,තමන්ගේ තීරණයේ හේතුපාඨය පැහැදිළි කරමින් පන්දු ඕවර් 4 ක් යවා ලකුණු 11 ට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් විය.බ්‍රැඩ් එවන්ස් නමින්ද කඩුලු 3 ක් සටහන් වූ අතර ඔහු පන්දු ඕවර් 2.4 දී ලබා දී තිබුණේ ලකුණු 15 ක් පමණි.
ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කළේ කමිල් මිෂාරය.ඔහු වාර්තා කළ ලකුණු ප්‍රමාණය 20 ක් විය.විශේෂයෙන්ම විස්සයි විස්ස තරගයක ශ්‍රී ලංකා කණ්ඩායමට නිරන්තරයෙන් ශක්තිමත් ආරම්භයක් ලබා දුන් පැතුම් නිශ්ශංක සහ කුසල් මෙණ්ඩිස් මෙම තරගයේදී අසාර්ථක වීමත් සමඟ මුල් පෙළ එක දිගට කඩා වැටෙන්නට විය.මුල් කඩුලු 5 ලකුණු 38 ට දැවී යාමත් සමඟ ඉණිම වේගවත් කිරීමට ද අවස්ථාවක් නොලැබිණ.පන්දු ඕවර් 20 තුළ සියල්ල දැවී කොගොස් සිටීමේ උවමනාව සහිතව කඩුලු ලබා නොදී සිටීමට ගත් උත්සාහය ව්‍යර්ථ කරමින් පන්දු ඕවර් 17.4 දී සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම මුළුමනින්ම දවා ගත්තේ ලකුණු පූවරුව 80 ට සීමා කරමින්ය.
ශ්‍රී ලංකාව සිය ලකුණු 80 රැක ගැනීම සඳහා යම් සාර්ථක උත්සාහයක් ගන්නට උත්සාහ කළ ද,එ් සඳහා එම ලකුණු ප්‍රමාණය කිසිසේත් ප්‍රමාණවත් නොවීය.එහෙත් ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 100 – 120 අතර හෝ ලකුණු පූවරුව රඳවා තිබුණේනම් සිම්බාබ්වේ කණ්ඩායමට තරගය පහසු නොවනු ඇති බව පැහැදිළි කළ ලාංකේය පන්දු යවන බලඇණිය 15 වන ඕවරයේ දෙවන පන්දුවේදී සිම්බාබ්වේ ලකුණු පූවරුව ලකුණු 84 ක් වෙද්දී සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 5 ක් අහිමිව ගොස් තිබිණ.දුෂ්මන්ත චමීර ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් සිය පන්දු ඕවර් 4 නිමා කරමින් ලකුණු 19 ට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් විය.
කලෙක පටන් නැවත දක්ෂතා අතරට පැමිණිම සඳහා ඉසිඹුවක අවශ්‍යයතාවය පෙන්වා දෙන මහේෂ් තීක්ෂණ පෙර පරිදි ක්‍රීඩා කිරීම සඳහා යම් විවේකයක් සමඟ කාලයක් මිඩංගු කළ යුතු බව මේ තරගයේදී ද යම් ආකාරයකට පෙන්නුම් කළේය.ඔහුගේ ශරීර ප්‍රකාශනය තුළ තරගයට සියයට සියයක් දෙන බවක් පෙනෙන්නට නැත.තේරීම් කමිටුවේ අවධානය මේ වෙත යොමු විය යුතු අතර තීක්ෂණට නැවත තරගයක් සිය ස්ථානය සඳහා ඇති කිරීමෙන් මීට වඩා ඔහුගේ තරග රටාව ජාත්‍යන්තරයට යෝග්‍ය පරිදි සකස් කළ හැකි බවක් දැකිය හැකිය.
පහතින් දැක්වෙන්නේ තරගයේ ලකුණු පූවරුවට පිවිසීමට හැකි මඟය.
https://bit.ly/4636dSU
