ගෝඨාභයට සහ රනිල්ට එරෙහි පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර!

Date:

කොළඹ LNW:දේශගුණ විපර්යාසවලින් ජනතාව පීඩාවට පත්වීම අවම කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් නොකිරීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ ඇතුළු පාර්ශ්ව කිහිපයකට එරෙහිව ගොණු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(08) අවසර දී තිබේ.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් එම පෙත්සම ගොණුකර තිබුණු අතර ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ සම්පත් විජේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම අද කැඳවනු ලැබීය.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් ඇති වන තත්ත්වයන් නිරාකරණය කර ගැනීම සඳහා රජයන් විසින් නිසි වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මහ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වන බවයි.

දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීමට හැකි වැඩපිළිවෙළක් සකස් කිරීමට වග උත්තරකරුවන් අපොහොසත් වීම නිසා මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන්ට මහ ජනතාවට මුහුණ දීමට සිදුවී ඇති නමුත් දේශගුණ විපර්යාස හේතුවෙන් සිදුවන ව්‍යසන වැළැක්වීම සඳහා රජය විවිධ ජාත්‍යන්තර සම්මුතිවලට එළඹ තිබෙන බව ද නීතිඥවරයා පෙන්වා දෙන ලදී. ඒ අනුව දේශගුණ විපර්යාසවලින් සිදුවන ව්‍යසන අවම කිරීම සඳහා විවිධ වැඩසටහන් රට තුළ ක්‍රියාත්මක කිරීමට රජය බැඳී සිටින බව හෙතෙම සඳහන් කළේය.

රජය ජාත්‍යන්තර සම්මුති හරහා ඇති කරගෙන තිබෙන එකඟතාවන්ට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වී ඇති අතර එමඟින් මහ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම මඟින් ඉල්ලා තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා ගොණු කිරීමට වගඋත්තරකරුවන්ට කල් ලබා දෙමින් පෙත්සම් විභාගය ලබන මාර්තු මස 13 වන දා පැවැත්වීමට නියෝග කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: තරු පිරුණු රැයක උන්මාදය සමඟින් MTV VMA!

සටහන – පුලී සැප්තැම්බර් 08, කොළඹ (LNW): මෙම වසරේ පැවැති විශාලතම...

ආන්දෝලනාත්මක මිද්දෙණිය ඉඩමෙන් අදත් මතු වූ පොලිස් උපකරණ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW : මිද්දෙණිය පොලිස් ස්ථානයේ...

අගවිනිසුරුවරයා ගමන් ගත් රථ වාහන පෙළ වීඩියෝ කරලා: සැකකරු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW : අගවිනිසුරුවරයා ගමන් ගත්...

පාතාලයේ අක්මුල් නෑර ඔක්කොම හොයාගෙන ඉවරයි. දැන් සුද්ධ කරන්න පටන් අරන් තියෙන්නෙ – ඇමති සමන්ත

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට පාතාලයේ අක්මුල් නෑර සියල්ලම සොයාගෙන...