සටහන: සශිකලා මධුෂාණී
‘ලෝකයේ සෑම පුද්ගලයෙකුටම කියවීමට, ලිවීමට සහ දැනුම ලබාගැනීමට ඇති අයිතිය අවධාරණය කරමින්’ ජාත්යන්තර සාක්ෂරතා දිනය අද (සැප්තැම්බර් 8) ලොව පුරා සැමරේ.
UNESCO විසින් 1966 වසරේදී ජාත්යන්තර සාක්ෂරතා දිනය ප්රකාශයට පත් කළ අතර, 1967 වසරේ සිට සෑම වසරකම සැප්තැම්බර් 8 මෙම දිනය ලෙස සැමරෙයි. 2026 වසරේදී එහි 60 වැනි සංවත්සරය සනිටුහන් වීමද විශේෂත්වයකි.
මෙවර 2026 ජාත්යන්තර සාක්ෂරතා දිනයේ තේමාව වන්නේ: “Literacy for people, the planet and prosperity” “මිනිසුන්, පෘථිවිය සහ සමෘද්ධිය සඳහා සාක්ෂරතාව”යන්නයි.
වේගයෙන් වෙනස් වන ලෝකයක සාක්ෂරතාවයේ ඉදිරි ගමන පිළිබඳව නැවත අවධානය යොමු කිරීමත්, තවමත් පවතින අභියෝග හඳුනා ගැනීමත් මෙවර දිනයේ ප්රධාන අරමුණකි.
අද වන විට සාක්ෂරතාව යන්න කියවීමට සහ ලිවීමට පමණක් සීමා නොවේ. එනම් ඩිජිටල් තාක්ෂණය, අන්තර්ජාලය සහ කෘත්රිම බුද්ධිය වේගයෙන් වර්ධනය වන ලෝකයක තොරතුරු හඳුනා ගැනීම, නිවැරදි තොරතුරු සහ අසත්ය තොරතුරු වෙන්කර හඳුනා ගැනීම, ඩිජිටල් මෙවලම් නිවැරදිව භාවිත කිරීම සහ නව දැනුම ලබාගැනීම ද පුද්ගලයෙකුගේ සාක්ෂරතා හැකියාවන්හි වැදගත් කොටස් බවට පත්ව තිබේ.
UNESCO පෙන්වා දෙන්නේ සාක්ෂරතාව මූලික මානව අයිතිවාසිකමක් වන අතර, එය පුද්ගලයන්ට අනෙකුත් අයිතිවාසිකම් භුක්ති විඳීමට, වැඩි නිදහසක් ලබාගැනීමට සහ සමාජයේ ක්රියාකාරී පුරවැසියන් බවට පත්වීමට මාර්ගය විවෘත කරන බවයි.
අධ්යාපනයේ සැලකිය යුතු ප්රගතියක් තිබුණද, 2024 දත්ත අනුව ලොව පුරා තරුණයන් සහ වැඩිහිටියන් මිලියන 739කට අවම මූලික සාක්ෂරතා කුසලතා නොමැති බව UNESCO පෙන්වා දෙයි.
එමෙන්ම, දරුවන්ගෙන් 10 දෙනෙකුගෙන් 4 දෙනෙකු අවම කියවීමේ ප්රවීණතා මට්ටමට ළඟා නොවන බවද එම සංවිධානය සඳහන් කරයි. 2023 වසරේදී ලොව පුරා ළමුන් සහ යෞවනයන් මිලියන 272ක් පාසල් අධ්යාපනයෙන් බැහැරව සිටි බවද UNESCO වාර්තා කරයි.
2026 ජාත්යන්තර සාක්ෂරතා දිනයේ ගෝලීය සැමරුම් උත්සවය සැප්තැම්බර් 8 සහ 9 යන දෙදින මෙක්සිකෝවේදී පැවැත්වෙන අතර UNESCO සහ මෙක්සිකෝ රජය එක්ව සංවිධානය කරන මෙම වැඩසටහනේදී ලොව පුරා සාර්ථක සාක්ෂරතා වැඩසටහන් ඇගයීමට ලක්කරමින් UNESCO International Literacy Prizes සම්මානද පිරිනැමීමට නියමිතය.
සාක්ෂරතාව පුද්ගලයෙකුගේ අධ්යාපනික ජීවිතය පමණක් නොව, සමාජයේ සාමය, සමානාත්මතාව, ආර්ථික සංවර්ධනය සහ තිරසර සංවර්ධනය සඳහාද වැදගත් පදනමකි. ඒ නිසා අද ජාත්යන්තර සාක්ෂරතා දිනයේ පණිවිඩය වන්නේ සෑම පුද්ගලයෙකුටම ගුණාත්මක අධ්යාපනය සහ දැනුම ලබාගැනීමට සමාන අවස්ථාවක් හිමි විය යුතු බවයි.
“කියවීමෙන් දැනුම ලැබේ. දැනුමෙන් අවස්ථා විවෘත වේ. අවස්ථාවලින් අනාගතය ගොඩනැගේ.”
එබැවින්, අද දිනය සාක්ෂරතාවේ වටිනාකම සිහිපත් කරන දිනයක් පමණක් නොව, කිසිවෙකු දැනුමෙන් හා අධ්යාපනයෙන් බැහැර නොවන ලෝකයක් ගොඩනැගීමට නැවත කැපවිය යුතු දිනයක් ද වේ.

