නේපාලයේ විරෝධතාවලින් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකුගේ අත්දැකීම

Date:

නේපාලයේ පවතින විරෝධතා මැද එරට රාජකාරී කරන ශ්‍රී ලාංකික සීමාවාසික වෛද්‍යවරයෙකු සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල වෙත හැකි දී ඇත.

නඳුන් මෙත්වඩන නැමති ඔහු සිනමංගල්හි පිහිටි කත්මණ්ඩු වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධ රෝහලේ සේවය කරන සීමාවාසික වෛද්‍යවරයෙකි.

“මගේ දැනුමට අනුව අපේ රෝහලට ගෙනාපු රෝගීන් දෙන්නෙක් මැරුණා. ඒ වගේ ම තුවාල වෙච්ච අය 38 දෙනෙක් වගේ ප්‍රතිකාරවලට අරන් ආවා. අපිට කිසි ම ප්‍රශ්නයක් වුණේ නැහැ. මම රාජකාරි කරන රෝහල ඉස්සරහත් කට්ටිය කොඩි අරන් බයික්වල එහෙම යනවා. ඒ වුණත් අපිට කිසි ම ගැටලුවක් වුණේ නැහැ.” ඔහු කියා සිටියේ ය.

නේපාලයේ අගනුවර වන කත්මණ්ඩු නුවර ඇතිව තිබෙන ගැටුම්කාරී තත්ත්වය මධ්‍යයේ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්, ශිෂ්‍යයින් සහ වෙනත් පුද්ගලයින් ඇතුළු ශ්‍රී ලාංකිකයින් 99 දෙනෙකු නේපාලයේ සිටින බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

දශක ගණනාවකට පසු නේපාලයේ ඇති වූ දරුණුතම නොසන්සුන්තාව මධ්‍යයේ අගමැති කේ.පී. ෂර්මා ඔලි (සැප්තැම්බර් 9 වැනිදා) ඉල්ලා අස්වී විය.

අඟහරුවාදා, කත්මණ්ඩු අගනුවර පාර්ලිමේන්තුවට ජනතාව ගිනි තැබූ අතර, එමඟින් ඝන කළු දුමාරයක් අහසට නැඟුණි. රට පුරා රජයේ ගොඩනැගිලි සහ දේශපාලන නායකයින්ගේ නිවාසවලට ප්‍රහාර එල්ල විය.

අඟහරුවාදා තවත් මරණ තුනක් වාර්තා විය. අවුල් සහගත තත්ත්වය මධ්‍යයේ, නේපාලයේ බටහිර දිස්ත්‍රික්කවල බන්ධනාගාර දෙකකින් රැඳවියන් 900 ක් පලා ගෝස් ඇතැයි එරට බන්ධනාගාර නිලධාරීන් පැවසීය.

නේපාල හමුදා ප්‍රධානියා ප්‍රකාශයක් නිකුත් කරමින් චෝදනා කර සිටියේ, විරෝධතාකරුවන් රාජ්‍යය හා පුද්ගලික දේපළවලට හානි කිරීමට, ගිනි තැබීමට සහ කොල්ලකෑමට වත්මන් අර්බුදය ප්‍රයෝජනයට ගෙන ඇති බවයි.

‘මේ විරෝධතාව සෝෂල් මීඩියා නිසා වෙච්ච දෙයක් නෙමෙයි’

නඳුන් මෙත්වඩන බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේ තමන් සේවය කරන රෝහලේ හදිසි අනතුරු අංශයට සැප්තැම්බර් 8 වන දින විරෝධතාවයෙන් තුවාල ලැබූ රෝගීන් ඇතුළත් කෙරුණු බවය.

ඔහු පැවසුවේ නේපාලය තුළ ඇතිවූ විරෝධතාවට සැබෑ හේතුව සමාජ මාධ්‍ය තහනම් කිරීම පමණක් නොවන බවට එරට මහ ජනතාව පවසන බවය.

“ඊයේ [සැප්තැම්බර් 8] තමයි මේ විරෝධතාව පටන් ගත්තේ. මේක ඇත්තට ම සමාජ මාධ්‍ය තහනම් කරපු එක නිසා ඇති වෙච්ච විරෝධයක් නෙමෙයි. මේ රටේ ජනතාව කියන විදිහට නේපාල රජයට විරුද්ධව ලොකු විරෝධයක් පසුගිය සති 2-3 ඉදලා තිබුණා. ඒකට හේතු වුණේ දේශපාලනඥයින්ගේ ළමයි පිටරට ඉඳලා ගත කරන සුඛෝපභෝගී ජීවිත. [ඒ ගැන] සෝෂල් මීඩියාවල ගොඩක් පෝස්ට්ස් වෛරල් වෙන්න පටන් ගත්තා. ඒ එක්ක ම තමයි සෝෂල් මීඩියා තහනම් කරන එක අරන් ආවේ. මේ ඔක්කොම එකට එකතු වෙලා තමයි ජනතාවගේ විරෝධතාව ඇති වුණේ,” ඔහු පැවසුවේ ය.

නඳුන් කියා සිටියේ, විරෝධතා පළමුව ආරම්භ වූ නේපාල පාර්ලිමේන්තු ගොඩනැගිල්ල පිහිටා ඇති නිව් භානේෂ්වර් නම් ප්‍රදේශයේදී බවය.

“මුලින්ම විරෝධතාවයන් පටන් අරන් තිබුනේ නිව් බනේෂ්වර් කියන ස්ථානයේ. එතන තමයි නේපාල පාර්ලිමේන්තුව තියෙන්නේ. මෙතන ඇති වෙච්ච විරෝධතාවට පොලිසිය රබර් උණ්ඩ යොදා ගෙන වෙඩි තිබ්බා කියලා නේපාල මිනිස්සු කිව්වා. ඒ වගේ ම සමහර අය කිව්වා ලයිව් බුලට්ස් (ජීව උණ්ඩ) පාවිච්චි කරලා වෙඩි තිබ්බා කියලා,” ඔහු පැහැදිලි කළේ ය.

විරෝධතාකරුවන් මාර්ග බාධක පෙරළා ඉදිරියට ගමන් කිරීමට තැත් කරන ආකාරය.

‘මේ වගේ දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ’

විරෝධතාව දරුණු අතට පත්වනු ඇති බවට කිසිදු බලාපොරොත්තුවක් නොතිබූ බවත් ඇතිවූ තත්ත්වය සමග තමන් සේවය කරන රෝහලේ දැඩිසත්කාර ඒකකයට රෝගීන් රැගෙන ආ බවත් ඔහු පැවසුවේ ය.

(සැප්තැම්බර් 8) මගේ ශිෆ්ට් එක පටන් ගන්න තිබ්බේ දවල් 1.00ට. මේ වෙද්දී විරෝධතාව පටන් අරන් තිබුණේ. මේ විරෝධතාව තිබුණේ මම රාජකාරි කරන රෝහලේ ඉඳලා කිලෝමීටර් 5-6ක් වගේ දුරකින්. මේ සිදුවීමෙන් තුවාල ලබපු සමහර රෝගීන් අපේ රෝහලටත් අරන් ආවා. එක දිගට ලෙඩ්ඩු අරන් ආව නිසා ඒක පාලනය කර ගන්න ටිකක් අමාරු වුණා.”

“මගේ දැනුමට අනුව අපේ රෝහලට ගෙනාපු රෝගීන් දෙන්නෙක් මැරුණා. ඒ වගේ ම තුවාල වෙච්ච අය 38 දෙනෙක් වගේ ප්‍රතිකාරවලට අරන් ආවා. අපිට කිසි ම ප්‍රශ්නයක් වුණේ නැහැ. මම රාජකාරි කරන රෝහල ඉස්සරහත් කට්ටිය කොඩි අරන් බයික්වල එහෙම යනවා. ඒ වුණත් අපිට කිසි ම ගැටලුවක් වුණේ නැහැ.”

“මම දැඩිසත්කාර ඒකකයේ වැඩ කරන නිසා දිගට ම රාජකාරී කරන්න වුණා. ඊයේ දවල් ඉඳලා මේ වෙනකම් මම වැඩ කරනවා. පොඩි රෙස්ට් දෙකක් වගේ තමයි අර ගත්තේ,” ඔහු එලෙස තත්ත්වය පැහැදිලි කළේ ය.

ශ්‍රී ලංකාවේ වරකාපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන නඳුන් මෙත්වඩන 2020 වසරේදී නේපාලයේ කත්මණ්ඩු අගනුවර පිහිටි වෛද්‍ය විද්‍යාලයට වෛද්‍ය ශිෂ්‍යයෙකු ලෙස ඇතුළත් වී තිබේ. ඔහු මේ වන විට වසරක පමණ කාලයක් සීමාවාසික වෛද්‍ය පුහුණුව ලැබීම සඳහා කත්මණ්ඩු වෛද්‍ය විද්‍යාලය යටතේ වූ රෝහලක සේවය කරමින් සිටියි.

නඳුන් මෙත්වඩන

‘ගොඩක් මිනිස්සු තරහින් ඉන්නේ’

විරෝධතාවයේදී ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරවලින් මියගිය බොහෝ පුද්ගලයින් තරුණයින් බවත් මේ හේතුවෙන් නේපාල රජයට එරෙහිව ප්‍රබල විරෝධතාවක් එල්ල වී තිබෙන බවත් වෛද්‍ය නඳුන් මෙත්වඩන පැවසුවේ ය.

“මැරුණ ගොඩක් දෙනා තරුණ අය. මගේ නේපාලයේ යාළුවන්ගේ යාළුවන් කිහිප දෙනෙක් මේ විරෝධතාවලදී මැරුණා. හොස්පිටල් එකට ආව සමහර මිනිස්සු ගොඩක් තරහින් වගේ ම ආවේගයකින් වගේ කතා කළේ.”

“මම බෙහෙත් කළා අවුරුදු 16ක ඉස්කෝලේ යන ළමයෙකුට. එයාගේ බඩ තුවාල වෙලා තිබුණේ. මේ දේවල් එක්ක මිනිස්සුන්ගේ තරහා වැඩි වෙලා ඉන්නේ,” ඔහු පැහැදිලි කළේ ය.”

‘මට එක පාරට ම ලංකාව මතක් වුණා’

නේපාලයේ ඇතිව තිබෙන මහජන කැළඹීමත් සමග තමන්ට මීට අවුරුදු 3කට පමණ පෙර ශ්‍රී ලංකාවේ පැවති “අරගලය” සිහිපත් වූ බව වෛද්‍ය නඳුන් මෙත්වඩන කියා සිටියේ ය.

“ඒක හරියට ඩේජා වූ (Deéja Vu) වගේ හැඟීමක්. මොක ද මීට අවුරුදු තුනකට කලින් ලංකාවේ මේ වගේ දෙයක් සිද්ධ වුණා. ඒ අත්දැකීම දැකලා තිබුණා මේ වගේ ම කලින්. දැන් නේපාලයේ වෙන සිදුවීමත් එක්ක ටිකක් අමුත්තක් දැනුණා,” ඔහු එලෙස සිය මතකය ආවර්ජනය කළේ ය.

තමන් ඇතුළු නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සොයා බලන බවත් ආරක්ෂාව සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු ගැටලුවක් නොමැති බවත් ඔහු පැවසුවේ ය.

බී බී සී සිංහල

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අරගලයේ නිවාස හානිවලට වන්දිත් ලබාගෙන වියත්පුර සහන මිලට නිවාස ඉල්ලුම් කළ මැති ඇමතිවරුන් කවුද?

ගෝඨාභය රාජපක්ෂ පාලනයට එරෙහිව පැවති අරගලය හේතුවෙන් නිවාස හා...

ජීවත් වෙන්න විදිහක් නැත්නම් ඒක කියන්න. පුතාලට රොකට් යවන්න සල්ලි තියෙනවා නම් දෙමව්පියන් බලාගන්න බැරිද?

කොළඹ LNW:හිටපු ජනාධිපතිවරු අතරින් ජීවත් වීමට අපහසු තරම් ආර්ථික...

ගෙයක් නෑ කියන්නේ එච්චරකල් තියාගෙන ආපු ස්ටේටස්වලට මොකද වෙන්නේ? දයාසිරිගේ ප්‍රශ්නය!

කොළඹ LNW: ජනාධිපතිවරයෙක් විශ්‍රාම ගිය පසු ඔහුට ඉන්න නිවසක්...

නියෝජ්‍ය ඇමති වටගල කළ ප්‍රකාශයට වන්දි ඉල්ලා නාමල්ගෙන් රුපියල් බිලියනක එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10 ,කොළඹ LNW : තමන්ට අපහාසයක් කළ...