හිටපු ක්‍රිකට් නායකයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු ද වූ අර්ජුන රණතුංග මහතා සහ ඔහුගේ සොයුරු ධම්මික රණතුංග මහතාට එරෙහිව එල්ල වූ මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් 2019 වසරේදී ආරම්භ කරන ලද විමර්ශනයක් මේ වනවිට යටගොස් ඇති බව “මගෙන් රටට” සංවිධානයේ සභාපති සංජය මහවත්ත පවසයි.
ඒ අනුව එම විමර්ශනයට සිදුවූයේ කුමක්ද යන්න දැනගැනීම සඳහා තොරතුරු දැනගැනීමේ පනත යටතේ අල්ලස් කොමිසමෙන් විමසීමක් කළ බවයි සංජය මහවත්ත මහතා සඳහන් කළේ.
“අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කියන්නෙ ස්වාධින ආයතනයක්. මේ ආයතනය හරහා නඩුවක් විභාග වෙලා තියෙනවා BC 3131/19 අංකය යටතේ. අධිකරණයට කරුණු වාර්තා වෙලා තියෙනවා. මේකෙ විත්ති පාර්ශ්වය වෙලා තියෙන්නෙ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අර්ජුන රණතුංග සහ ධම්මික රණතුංග කියන ඔහුගේ සහෝදරයා. අපේ ක්‍රිකට් ක්‍රීඩකයා කාලයක් ඇමති තනතුරක් දැරුවා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අදාළව. මේ අමාත්‍ය ධුරය දරණ සමයේදී ඔහුගේ සහෝදරයා වෙච්චි ධම්මික රණතුංග තමයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් ඔහු පත්කරලා තියෙන්නෙ. මේ කාලයේ මිලියන 800ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් තමයි අල්ලස් කොමිසම යම්කිසි විමර්ශනයක් ආරම්භ කරලා ඒක ඉදිරියට ඉදිරියට ඇදීගෙන යනවා. හැබැයි දැන් මේ විමර්ශනය අඩපණ වෙලා තියෙනවා. අපි අහන්නේ දේශපාලන බලය නිසාද මේ විමර්ශන දැන් අඩපණ වෙලා තියෙන්නෙ. රාජිත අත් අඩංගුවට ගත්තා, හිටපු ඇමතිවරු ගාණක් අත් අඩංගුවට ගත්තා. මේ අර්ජුන රණතුංග මහතාගේ විමර්ශනයට මොකද වුණේ ? එක්කෝ ඔහු වැරදිකාරයා වෙන්න ඕනෙ, එක්කෝ ඔහු නිවැරදිකරු වෙන්න ඕනෙ. මේ සම්බන්ධයෙන් ප්‍රශ්න රාශියක් අපට තියෙනවා. මේ සියලුම දේවල් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ අපි අද දවසේ අල්ලස් කොමිසමෙන් ඉල්ලීමක් කරනවා. මම හිතන්නෙ රංග දිසානායක මහත්මයා දැන් හොඳට වැඩේ කරගෙන යනවා. ඉතින් මේකත් හොඳටම වැඩේ කරන්න කියන එක තමයි අපගේ ඉල්ලීම. ඒ ඉල්ලීම අපි ලිඛිතව අද දවසේ අල්ලස් කොමිසමට භාරදෙනවා”
සංජය මහවත්ත මහතා මේ බව පැවසුවේ අල්ලස් කොමිසම වෙත අද (10) පැමිණ සිය ඉල්ලීම භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
