ජනාධිපති සහ හින්දු, කතෝලික, ඉස්ලාම් ආගමික නායකයින් සමඟ විශේෂ සාකච්ජා!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ හින්දු, කතෝලික හා මුස්ලිම් ආගමික නායකයින් අතර හමුවක් අද (10) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ.

ඒ අනුව කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව හේතුවෙන් සමාජය තුළ අනාරක්ෂිත බවක් හෝ බියක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම සහ ඔවුන්ගේ මානසික ආරක්ෂාව තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර ඇත.

දේශපාලනික වශයෙන් ක්‍රියාත්මක වන ජාතිවාදී ධාරාවන්ගේ සහ අභ්‍යන්තර ගැටුම්වල ස්වභාවය නිවැරදිව වටහාගෙන, නැවත ජාතිවාදී ගැටුම් ඇතිවීම වැළැක්වීම සියලුදෙනාගේ වගකීම බවද ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙන අතර ජනාධිපතිවරයා මේ බව පවසා තිබුණේ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ජාවේදීය.

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමක් ඇති වීමට ඉඩ නොතැබු බව සඳහන් කළ ජනාධිපතිවරයා වංචා දූෂණ සම්බන්ධයෙන් හෝ නීතියේ විධානයේ ආධිපත්‍ය සම්බන්ධයෙන් වත්මන් රජයට කිසිදු චෝදනාවක් එල්ල කිරීමට නොහැකි වී ඇති බැවින්, ඇතැම් කණ්ඩායම් ජාතිවාදය පදනම් කර ගනිමින් ආණ්ඩුවට චෝදනා එල්ල කරමින් සිටින බවද පෙන්වා දුන්නේය.

රටේ සහ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නායකයෝ ඒ වෙනුවෙන් සිය පුර්ණ සහාය ලබා දෙන බව ප්‍රකාශ කළහ.

විශේෂයෙන් තරුණ පරපුර මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් මුදා ගැනීමට ක්‍රියාත්මක “රටම එකට” ජාතික වැඩසටහන සහ දූෂණය පිටුදැකීමේ වැඩපිළිවෙළ මෙහිදී ඇගයීමට ලක් විය.

පසුගිය වසර දෙක ජාතිවාදී ගැටුම් නොමැති වසර දෙකක් බවට පත් කිරීම වෙනුවෙන් රජයට සිය ප්‍රසාදය පළ කළ එම නියෝජිතයෝ එහෙත්, තවමත් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක අවශ්‍යතාවද පෙන්වා දුන්නේය.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පාලකයන්ගේ ක්‍රියාකලාපයන් සහ තීරණ ප්‍රශ්න කිරීමට, ජනතාවට ඇති පූර්ණ අයිතිය වත්මන් රජය පිළිගන්නා බවත්, එසේ වුවද, ජාතීන් අතර වෛරය ඇතිවන ආකාරයේ ප්‍රකාශ කිරීමට හෝ සමාජය තුළ වෛරය වැපිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

පාස්කු ප්‍රහාරයට පෙර සහ පසු මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ගෙන යන ප්‍රචාර සම්බන්ධයෙන්ද මෙහිදී එම නියෝජිතයෝ ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළ අතර පාස්කු ප්‍රහාරයට අදාළ වින්දිතයින්ට සාධාරණය ඉටුවිය යුතු බවත්, ඊට සම්බන්ධ පිරිස් පිළිබඳව තොරතුරු හෙළිදරව් විය යුතුය යන්න තමන්ගේ අපේක්ෂාව බවත්, එම කටයුතු වෙනුවෙන් සිය සහාය පළ කරන බවත් සඳහන් කළහ.

ඉස්ලාම් ආගමික ග්‍රන්ථ සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලු කිහිපයක් පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කෙරුණු අතර ආරක්ෂක අංශ සමග සහයෝගයෙන් යුතුව එම ගැටලු විසඳා ගැනීම පිළිබඳවත්, යම් තාක්ෂණික ක්‍රමවේදයක් භාවිතා කරමින් එම ග්‍රන්ථ පරිශීලනය අවස්ථාව සැලසීම පිළිබඳවත් සාකච්ඡා විය.

ව්‍යවස්ථාදායක සභාව වැනි ජාතික මට්ටමේ පාලන ආයතන තුළ මුස්ලිම් ප්‍රජාව ඇතුළු සියලුම ප්‍රජාවන්ගේ නිසි නියෝජනයක් පැවතීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ඊට අදාළව රජයේ මැදිහත්වීම පැහැදිලි කළ ජනාධිපතිවරයා සෑම අවස්ථාවකම සියලු ප්‍රජාවන් වෙනුවෙන් නිසි නියෝජනයක් ලබාදීම රජයේ අරමුණ බවත් ප්‍රකාශ කළේය.

මුස්ලිම් ප්‍රජාව පසුගිය කාලයේ මුහුණ දුන් ගැටලු කිහිපයක් පිළිබඳවද ජනාධිපතිවරයාගේ අවධානය යොමු කෙරුණු අතර, නිල ඇඳුම් ගැටලුව වැනි තාක්ෂණික හෝ පරිපාලනමය කරුණු මුල් කරගනිමින් සමාජය තුළ ජාතිවාදී හෝ ආගමික නොසන්සුන්තාවන් යළි හිස එසවීමේ තත්ත්වයන් නිසි ලෙස අවබෝධ කර ගනිමින් එම ගැටලු විසඳා ගැනීම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිවරයා පැවසීය.

සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ ප්‍රධන ලේකම් අෂ් ෂෙයික් අක්‍රම් නූරාමිත්, වැඩබලන සභාපති අෂ් ෂෙයික් එම්.ජේ. අබ්දුල් හාලික්, භාණ්ඩාගාරික අෂ් ෂෙයික් එම්.කේ. අබ්දුර් රහ්මාන්, උප සභාපතිවරුන් වන අෂ් ෂෙයික් එච්. ඕමාර්දීන්, අෂ් ෂෙයික් එම්.එච්.එම්. බුර්හාන් යන මව්ලවිවරු ඇතුළු නියෝජිතයෝ සහ ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කොළඹ, මඩකලපුව, යාපනය සහ කඳුකරය නියෝජනය කරමින් පැමිණි හින්දු ආගමික නායකයින් පිරිසක් ද අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී තිබුණි.

ආගම හෝ සංස්කෘතිය පදනම් කර ගනිමින් ජාතිවාදය වැපිරීමට උත්සාහ කරනවා නම් ඊට තමන් විරුද්ධ බවත්, ආගමකින් කළ යුත්තේ සියලු දෙනාට ආදරය බෙදාහැරීම බවත් මෙහිදී හින්දු පූජකවරු වැඩිදුරටත් පෙන්වා දුන්හ.

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනයට එරෙහිව රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරාජය කිරීම කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට පමණක් කළ හැකි කාර්යයක් නොව, සමස්ත සමාජයම එක්ව භාරගත යුතු ජාතික වගකීමක් බව අවබෝධ කර ගනිමින්, එය මුලිනුපුටා දැමීම සඳහා සමාජයේ සෑම පාර්ශ්වයකගේම සක්‍රීය දායකත්වය අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් හින්දු පූජකවරු, එම ජාතික වැඩපිළිවෙළ අඛණ්ඩව හා ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය වෙත සිය ආශිර්වාදය පළ කළහ.

විශේෂයෙන් මෙවැනි ජාතික අවශ්‍යතාවලදී දිවයිනේ විවිධ ප්‍රදේශවල විසිරී සිටින සියලු හින්දු පූජකවරුන්ට ඒකාබද්ධව කටයුතු කළ හැකි විධිමත් යාන්ත්‍රණයක් සකස් කර දෙන ලෙසද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී අතර හින්දු දහම් පාසල් පවත්වාගෙන යාම ඇතුළු හින්දු බැතිමතුන්ට අදාළව මතුව ඇති ගැටලුද සාකච්ඡා කරමින් විසඳා ගැනීමට එමගින් අවස්ථාව සැලසෙන බව පෙන්වා දුන්හ.

විවිධ ආගමික සම්ප්‍රදායන්, විශ්වාසයන් හා අනන්‍යතාවයන්ගෙන් සමන්විත හින්දු ආගමට තනි නායකත්ව ව්‍යුහයක් නොමැති බැවින්, එහි විවිධත්වය එක්වර ඒකාබද්ධ කළ නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එම ආගමික අනන්‍යතාවයන් හා විවිධ සම්ප්‍රදායන් ඒ ආකාරයෙන්ම සුරක්ෂිත කර ගනිමින්, පොදු සමාජ අරමුණු වෙනුවෙන් සාමූහිකව ක්‍රියා කළ හැකි පූජකවරුන්ගේ ඒකාබද්ධ යාන්ත්‍රණයක් ගොඩනැගීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී එකඟතාව පළ කළේය.

ඒ අනුව, හින්දු ආගමික විවිධත්වයට ගරු කරමින් සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් පොදු සමාජ ක්‍රියාකාරීත්වයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් සකස් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේය.

රාමක්‍රිෂ්ණ මිෂන්හි කොළඹ මධ්‍යස්ථානය භාර ප්‍රධාන පූජක ශ්‍රීමත් ස්වාමි අක්ෂරාත්මානන්ද මහරාජ්, Swami Aksharatmananda Maharaj, චින්මයා මිෂන්හි කොළඹ මධ්‍යස්ථානය භාර ප්‍රධාන පූජක Gunantitananda Saraswathi, Brammasri S. Sivaneshan sarma, Saththyaseelan Umakanth Sivachchariar යන පූජකතුමන්ලා ඇතුළු පූජකවරුද ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රටේ සියලු ජන කොටස් අතර සහජීවනය, සාමය සහ සංහිඳියාව තවදුරටත් ශක්තිමත් කරමින්, කිසිදු ආකාරයක ජාතිවාදී හෝ ආගමික වෛරී ක්‍රියාකාරකම්වලට ඉඩ නොතබා ජාතික සමගිය තහවුරු කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ජාවේදී අවධානය යොමුකර ඇත.

පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වී තිබෙන ඇත ජනජීවිතයට බලපාන පරිසර හානි සහ විනාශයන් වැළැක්වීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධවද දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

සියලු ජන කොටස් අතර විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා රජය ගෙන ඇති පියවර අගය කළ කතෝලික ආගමික නායකයෝ ඒ වෙනුවෙන් සිය පූර්ණ සහාය ලබා දෙන බව ප්‍රකාශ කළ බවයි ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

කතෝලික ජනතාව ජීවත්වන ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළු ඔවුන් මුහුණ දී ඇති ගැටලු සහ එම ගැටලු විසඳා ගැනීමට ගත යුතු පියවර පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

සිරිල් ගාමිණි පියතුමා, ජූලියන් පැට්‍රික් පියතුමා ඇතුළු පියතුමන්ලා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...