ශ්‍රී ලංකා රජය විසින් විදේශ ණය ආපසු ගෙවීම පැහැර හැරීමට ගත් තීරණය මේ වන විට විවාදිත කරුණක්ව තිබෙනවා. ණය ගෙවීම පැහැර නොහැර ලංකාවට කළ හැකි වෙනත් දෙයක් තිබුණේද? ණය පැහැර හැරීම මීට වඩා වෙනස් විදිහකට කළ හැකිව තිබුණේද?
මේ වගේ ප්‍රශ්නවලට මට නිශ්චිත පිළිතුරු නැහැ. එහෙත්, අවසන් නිගමනයක් පළ නොකරමින්, සිදු වූ දෙය සිදු විය හැකිව තිබුණේයැයි සිතිය හැකි උපකල්පිත තත්ත්වයන් සමඟ සංසන්දනය කළ හැකියි.
ණය පැහැර හැරීම නොකළ යුතුව තිබුණු දෙයක්ද ?
ණය ගන්නා ඕනෑම පුද්ගලයෙකුට, වෙනත් අවාසි නැත්නම්, ණය ආපසු නොගෙවා සිටිය හැකියි. වෙනත් අවාසි නැත්නම්, ණය ආපසු නොගෙවීම හැම විටම වාසියි. එහෙත්, ණය ගන්නා බොහෝ දෙනෙක් ණය ගනිද්දී පොරොන්දු වූ පරිදි ණය ආපසු ගෙවනවා. ඒ, ණය ආපසු නොගෙවීමේ ලාබයට වඩා එසේ කිරීමේ ප්‍රතිවිපාක හානිකර නිසයි. මේ හානි හෝ අවාසි මොනවාද?
ප්‍රධාන අවාසි දෙකක් තිබෙනවා.
- ණය ගැනීමේදී එකඟ වී තිබෙන කොන්දේසි අනුව ණයහිමියාට ණයකරුගේ වත්කම් අත්පත් කර ගැනීමට ඉඩ ලැබීම
- නැවත ණය ලබා ගැනීම අපහසු වීම
පුද්ගලයෙකුට වගේම රජයකටත් මේ කරුණු එක ලෙස බලපානවා. එහෙත්, පළමු සාධකය හා අදාළව පමණක් වැදගත් වෙනසක් තිබෙනවා.
රජයක් විසින් දේශීය ණය ලබා ගැනීමෙන් පසු අදාළ ණය ගිවිසුමේ කොන්දේසි කඩ කළහොත් ණයහිමියාට හානි ප්‍රතිපූරණය කර ගැනීම සඳහා පිහිට විය හැක්කේ රටේ නීතියටයි. එහෙත්, රජයට මෙම නීති වෙනස් කළ හැකියි. එසේ කළහොත්, ණයහිමියාට නීතියේ පිළිසරණ අහිමි වෙනවා.
එහෙත්, විදේශ ණය හා අදාළව සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන්නේ වෙනත් රටක නීතියක් නිසා රජයක් වුවත් සාමාන්‍ය ණයකරුවෙකු බවට පත් වෙනවා. විදේශ ණය පැහැර හරින රජයකට තමන් සතු වත්කම් ණයහිමියෙකු විසින් අත්පත් කර ගැනීමේ අවදානමට මුහුණ දෙන්න වෙනවා. ඊට අමතරව දෙවන සාධකයේ අවාසියද තිබෙනවා.
දේශීය ණය හා අදාළව, රජය සතු නීති හැදීමේ අධිකාරී බලය හමුවේ, පළමු සාධකය ණය පැහැර හැරීමට බාධාවක් නොවුවත්, දෙවන සාධකයේ බලපෑම ඉතා විශාලයි. දෙවන සාධකය ගත්තත්, ලංකාව සතුව විදේශිකයින්ට පහසුවෙන් අත්පත් කරගත හැකි, රටින් බැහැර පිහිටි වත්කම් විශාල ප්‍රමාණයක් නැති නිසා පළමු සාධකයේ වැදගත්කම ගොඩක්ම විශාල නැහැ. මෙතෙක් කල් ලංකාව නොවරද්දා විදේශ ණය ආපසු ගෙවුවේ දෙවන සාධකය නිසා.
එසේනම් ණය පැහැර හැරීම් සිදු වන්නේ ඇයි ?
ඉහත තත්ත්වය සාමාන්‍ය තත්ත්වය වුවත් ඇතැම් තත්ත්ව යටතේ ණය පැහැර හැරීම වඩා වාසිදායක වෙන්න පුළුවන්. අපට ලංකාව ගැනම කතා කළ හැකියි. ලංකාව දේශීය ණය ගෙවීම පැහැර නොහැර විදේශ ණය ගෙවීම පැහැර හැරියේ ඇයි ?
ලංකාව හා අදාළව පළමු සාධකයේ වැදගත්කම අඩුබව මම කිවුවනේ. එහෙම තියෙද්දී, විදේශ ණය හා අදාළව දෙවන සාධකය වෙනස් වුනා. ණය ආපසු ගෙවුවා කියලත් අලුතෙන් ණය ගන්න බැරි තත්ත්වයක් ඇති වුනා. ඒ වගේ තත්ත්වයක් යටතේ ණය පැහැර හැරියා කියලා තවත් අමුතුවෙන් නැති වෙන්න දෙයක් නැහැ. දේශීය ණය හා අදාළව මේ වගේ ප්‍රශ්නයක් තවම ඇති වී නැහැ. හැබැයි ඉතා ඉක්මණින් ඇති වෙන්න පුළුවන්. ඒ ගැන පසුව වෙනම කතා කරමු.
ලංකාවට ණය පැහැර නොහැර ඉන්න පුළුවන්කම තිබුණද ?
එහෙම පුළුවන්කමක් තිබුණා කියා කියන අය කියන්නේ චීනයෙන් ණයක් ගන්න කටයුතු සූදානම් කෙරෙමින් තිබුණා වැනි දේවල්. ඒ කතා වල ඇත්ත නැත්ත පැත්තකින් තියමු. තව ණය ගන්න පුළුවන් වුනානම්, කෝවිඩ් නොආවානම්, සංචාරකයෝ එන එක අඩු නොවුනානම්, ණය පැහැර නොහැර ඉන්න තිබුණා. අපි හිතමු 2019 සිටි තැන සිට ඒ ක්‍රමයට දිගටම ගියා කියලා. එහෙමනම්, ණය පැහැර නොහැර අලුතෙන් ණය ගනිමින් ඒ ණය වලින් පරණ ණය ගෙවමින් තවත් යම් කාලයක් යන්න තිබුණා.
කොච්චර කාලයක්ද ?
සමහර විට අවරුදු තුන හතරක්. සමහර විට පහක් හයක්. හැබැයි ඔය ගිය ක්‍රමය කොයි වෙලාවේ හෝ අර්බුදයට ලක් වී කඩා වැටෙන එක අනිවාර්යතාවයක්. කෝවිඩ් නිසා සහ පසුගිය දෙවසර තුළ පැවති රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති නිසා වුනේ ඒ වැඩේ ඉක්මන් වුනු එක පමණයි. ඔය මොකක්වත් සිදු නොවුනත් ලංකාවේ විදේශ ණය පැහැර හරින්න සිදු වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. අපනයන ඉලක්ක නොකළ ලංකාවේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවට මුල සිටම තිරසාර පැවැත්මක් තිබුණේ නැහැ. කොයි වෙලාවක හෝ ලංකාවට විදේශ මූල්‍ය වෙළඳපොල ප්‍රවේශය අහිමි වෙනවා. ඊට පස්සේ ණය පැහැර හරින්න වෙනවා.
තව කල් අරගෙන සැලසුම්සහගත ලෙස ණය පැහැර හරින්න තිබුණේ නැද්ද?
රටක් (හෝ පුද්ගලයෙක් හෝ සමාගමක්) ණය පැහැර හරින ක්‍රම දෙකක් තිබෙනවා. එකක් ලංකාව කළා වගේ ඒක පාර්ශ්විකව ණය පැහැර හරින එක. එසේ කිරීම ගිවිසුම් කඩ කිරීමක් නිසා එහි ප්‍රතිවිපාක වලක්වා ගැනීමට ණය පැහැර හැරීමෙන් පසුව හෝ ණයහිමියන් සමඟ සම්මුතියකට එන්න වෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කියා කියන්නේ එයටයි. දෙවන ක්‍රමය මේ විදිහට ඒකපාර්ශ්විකව ණය ගෙවීම පැහැර නොහැර කලින්ම ණයහිමියන් සමඟ සම්මුතියකට එන එක.
අදාළ අවස්ථාව වන විට, ලංකාවට මේ වගේ සම්මුතියකට පැමිණ ණය පැහැර හැරීමේ ඉඩක් නොතිබුණු බව මගේ අදහසයි. කෙසේ වුවත්, මට අවධානය යොමු කරන්න අවශ්‍ය කරුණ ඒ ගැන නොව ක්‍රම දෙකේ සාපේක්ෂ වාසි අවාසි ගැනයි. 1978 සිට 2010 අතර සිදුව ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම් වලින් 38%ක් කලින් සැලසුම් කර කරපුවා. ඉතිරි 62%දීම සිදු වී තිබෙන්නේ ඒකපාර්ශ්වික ලෙස ණය පැහැර හැරීමෙන් පසුව ණය ප්‍රතිව්‍යුහගත කරන එකයි (මූලාශ්‍රය: Asonuma and Trebesch, 2016).
කලින්ම ණය ප්‍රතිව්‍යුහගත කරන එකේ වාසිය වන්නේ වැඩේ සාපේක්ෂව කෙටිකාලයකින් අවසන් කර ගත හැකි වීමයි. පළමුව ණය පැහැර හැර පසුව ණය ප්‍රතිව්‍යුහගත කර කරන්න යද්දී බොහෝ විට එකඟතාවයක් ඇති කර ගන්න වැඩි කාලයක් යනවා. පළමු ක්‍රමයේදී එකඟතාවක් ඇති කර ගැනීමට යන සාමාන්‍ය කාලය මාස 12ක්. දෙවන ක්‍රමයේදී එය මාස 60ක්. (මූලාශ්‍රය: IMF WP/22/122). ලංකාවට වැඩේ කෙළවරක් දකින්න අඩු වශයෙන් වසරක්වත් යා හැකි බව මේ අනුව පැහැදිලි විය යුතුයි. සමහර විට වසර දෙකක් හෝ වැඩි කාලයක් යන්නත් පුළුවන්. අනෙක් පැත්තෙන් ණය පැහැර හැරීමෙන් පසුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් වඩා විශාල සහනයක් ලබා ගන්න ඉඩ සැලසෙනවා.
වෙච්ච දේවල් දැන් කොහොමටත් වෙනස් කරන්න බැහැ. ණය පැහැර හැරීම කරන්න කලින් සංකීර්ණ විශ්ලේෂණයක් කරලා ඒ වැඩේ කළා කියලා මම හිතන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඔය වැඩේ කරන්න ඇත්තේ වෙනත් විකල්පයක් නැති නිසා. හැබැයි ලංකාව හිටපු තැන සහ යමින් සිටි මාර්ගය අනුව, මේ තීරණය නිසා යහපතක් වුනා වෙන්න පුළුවන්.
ණය පැහැර හැරීමේ වාසි මොනවාද ?
ණය පැහැර හරින වෙලාව වෙද්දී ලංකාවට කොහොමටත් විදේශ ණය වෙළඳපොළ වැහිලයි තිබුණේ. ගිය ක්‍රමයට තව වසර කිහිපයක් ගියත් අන්තිමට ඔය වැඩේ ඔය විදිහටම වෙන බව මම කලින්ම කිවුවනේ. ණය පැහැර හැරපු නිසා තව සෑහෙන කාලයකට ලංකාවට විදේශ වෙළඳපොළ නැවත විවෘත වෙන්නේ නැහැ. සැලසුම්සහගත ලෙස කලින්ම ණය ප්‍රතිව්‍යුහගත කළා කියලා ඕකේ ලොකු වෙනසක් වෙන්නෙත් නැහැ. නොකා නොබී, තියෙන දෙයක් විකුණලා ණය ගෙවාගෙන ගියත් ණය ගෙවීමේ හැකියාව නැති වෙලා කියන එක කාට වුනත් පැහැදිලිව පේනවා. ඒ නිසා, අවසන් ප්‍රතිඵලයේ වෙනසක් වෙන්නේ නැහැ. මම හිතන්නේ ගිය ක්‍රමයට යමින් එකතු වී තිබුණු දැවැන්ත ණය කන්දරාව ලංකාවට කවදාවත්ම ගෙවන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.
ඔය වගේ තත්ත්වයක් තුළ මුලින් හෝ කල් පසුවී ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්න වෙනවා. එසේ කර ණය වලින් විශාල ප්‍රමාණයක් කපා හැරීමට ණයහිමියන් එකඟ කර ගන්න වෙනවා. තමන්ගේ ණය කොහොමටවත් ආපසු නොලැබෙන තැනට වැටුනට පස්සේ ණයහිමියන්ව විශාල ණය කපා හැරීමකට එකඟ කරගන්න ලේසියි.
මේ විදිහට කොයි තරම් ප්‍රමාණයක් ණය කපා හරින්න පුළුවන්ද ?
පසුගිය වසරේදී සුඩානයේ ණය ප්‍රතිව්‍යුහගත කරන විට සුඩානය විසින් ගෙවිය යුතු ණය ප්‍රමාණයේ වත්මන් වටිනාකම (present value) ඩොලර් බිලියන 56.2 ක්ව තිබුණා. ණයකරුවන් විසින් එම ණය වලින් 90% ක් පමණම කපා හැරීමෙන් පසුව සුඩානයේ විදේශ ණය ඩොලර් බිලියන 6 දක්වා අඩු වුනා.
වාණිජ ණය වල වත්මන් වෙළඳපොළ මිල බොහෝ විට හෙට්ටු කිරීම ආරම්භ කළ හැකි ස්ථානයක්. ණය ප්‍රමාණයෙන් 20-50% පමණ කපා දැමීමට බොහෝ අවස්ථා වලදී ණයහිමියන් එකඟ වී තිබෙනවා.
කිසියම් රටකට නැවතත් විදේශ ණය ලබා ගත හැකි වීම හෝ නොවීම තීරණය වන්නේ ණය ආපසු ගෙවීමේ හෝ නොගෙවීමේ අතීත වාර්තාව අනුව නෙමෙයි. ණය ආපසු ගෙවීමේ හැකියාව මතයි. ණය ගෙවීම පැහැර හැරීම හා ඉන් පසුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා ණය බර විශාල ලෙස අඩු වුවහොත් නැවතත් ණය ලබා ගැනීමට ඉඩ සැලසෙනවා. ණය බර එසේම තිබියදී, කලට වෙලාවට ණය ආපසු ගෙවූ පමණින් දිගින් දිගටම ණය ලබා ගන්න ඉඩ සැලසෙන්නේ නැහැ.
ලංකාවේ ණය වලින් කොපමණ ප්‍රමාණයක් කපා හැරෙන්නේද යන්න තීරණය වනු ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන හෙට්ටු කිරීමේ ක්‍රියාවලිය තුළයි. ඒ සඳහා කාලයක් ගත වනු ඇති අතර එහි අවසන් ප්‍රතිඵලය කුමක් වුවත් ලංකාවට නැවතත් විදේශ ණය වලින් ජීවත් වෙන්න ලැබෙන එකක් නැහැ. ඒ යුගය අවසන්. විදේශ විණිමය ඉපැයීම් වැඩි කර ගැනීම හැර ලංකාව සතු වෙනත් විකල්පයක් නැහැ. එයද ක්ෂණිකව සිදුවන දෙයක් නොවන නිසා අතරමැදි කාලය තුළ ලැබෙන විදේශ විණිමය කළමණාකරණය කරගන්න සිදුවන එක අනිවාර්යතාවයක්.
එහෙමනම් IMF ගිය එකෙන් වැඩක් නැද්ද ?
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තුළ IMF එකේ මැදිහත්වීම ඉතාම වැදගත්. ණය ප්‍රතිව්‍යුහගත කිරීමකදී ණයහිමියන් විසින් සහනයක් දීම ගැන සලකා බලන්නේ අදාළ රට ණය ගෙවීම සඳහා කළ හැකි හැම දෙයක්ම කර ඇති බවත්, එසේ කිරීමෙන් පසුවත් මුලින් එකඟ වූ පරිදි ණය ආපසු ගෙවිය නොහැකි බවත් පෙනෙන්න ඇත්නම් පමණයි.
පෞද්ගලික ආයතනයකින් හෝ පුද්ගලයෙකුගෙන් වෙනස්ව රජයක වත්කම් සම්බන්ධව සීමාවක් පැනවීම ඉතා අසීරු දෙයක්. රටක රජයකට රටේ මිනිස්සුන්ගේ ආදායම මුළුමනින්ම වගේ බදු ලෙස අය කිරීමේ සිට ඔවුන් සතු වත්කම් අත්පත් කර ගැනීම දක්වා බොහෝ දේ කළ හැකියි. එසේ කර තමන්ගේ ණය ආපසු ගෙවිය හැකියි. ඒ නිසා, ණයහිමියෙකුට මස් රාත්තලම ඉල්ලා සිටින්න පුළුවන්. රජයක් IMF වැඩ සටහනකට එකඟ වීමේදී ණයකරු විසින් කළ හැකි දේවල් සියල්ල කර ඇති බව ණයහිමියාට ඒත්තු යනවා. ඊට අමතරව, ණයෙන් කොටසක් කපා දැමීමෙන් පසු ඉතිරි මුදල හෝ ලැබෙන බවට සහතිකයක්ද ඔවුන්ට ලැබෙනවා. මේ හේතු නිසා, IMF වැඩසටහනකට එකඟ වී එයද රැගෙන ණයහිමියන් වෙත යාම සාර්ථක ප්‍රවේශයක්. බොහෝ ණයහිමියන් විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පෙර කොන්දේසියක් ලෙස මෙවැනි එකඟතාවක් අපේක්ෂා කරනවා.
UN