*
Friday, November 22, 2024
spot_img

Latest Posts

මහ බැංකුව එ. වෘත්තීය සමිති

දින කිහිපයකට පෙර පැවැත්වුණු මහ බැංකුව හා වෘත්තීය සමිති නියෝජිතයින් අතර සාකච්ඡාව පිළිබඳව අදහස් පළ කර ලිපියක් ලියන මෙන් කිහිප දෙනෙක්ම ඉල්ලා තිබෙනවා. එම ඉල්ලීම් සිදු නොවුනද මේ ගැන කොහොමටත් අදහස් පළ කරන්න අවශ්‍යව තිබුණත්, වෙනත් වැදගත් වෘත්තීය කටයුතු කිහිපයක් වෙනුවෙන් කාලය යෙදවිය යුතු වූ නිසා එය මීට කලින් කරන්නට ඉඩක් ලැබුණේ නැහැ.

ඉහත හමුව සිදු වීමට දින කිහිපයකට පෙර ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් වාර්ෂිකව සිදු කරන මහ බැංකු අධිපතිවරුන්ගේ කාර්ය සාධනය පිළිබඳ ශ්‍රේණිගත කිරීම් අනුව වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහට A- ශ්‍රේණිය හිමි වී තිබුණා. අප විසින් මෙවැනි ශ්‍රේණිගත කිරීම් වලට ඕනෑවට වඩා බර තබන්නේ නැතත්, පසුගිය කාලය තුළ මහ බැංකු අධිපති ලෙස ඔහුගේ කාර්ය සාධනය මෙවැනි ඇගයීමකට පාත්‍ර වීම සිදු විය යුත්තක්. ඒ පිළිබඳව මීට පෙර ඔහුට සුබ පතන්නට නොහැකි වූයේද අපගේ කාර්ය බහුලත්වය ඊට හරස් වූ නිසයි.

මීට පෙර අජිත් නිවාඩ් කබ්රාල්ට මෙන්ම ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිටද ඉහත සඟරාවෙන් B හා B+ මට්ටම් වල ශ්‍රේණිගත කිරීම් ලැබී තිබුණු අතර 2021 වසරේදී මහාචාර්ය ඩබ්ලියු ඩී ලක්ෂමන්ගේ කාර්ය සාධනය ඉදිරියේ සටහන් වුනේ C+ මට්ටමයි. මහ බැංකු අධිපති ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මුහුණ දුන් අභියෝග හා එම අභියෝග හමුවේ කටයුතු කළ ආකාරය අනුව කබ්රාල් හා කුමාරස්වාමි වැනි පෙර අධිපතිවරුන්ද ශ්‍රේණිගත කෙරුණු B+ මට්ටමට වඩා එක් කට්ටයක් ඉහළට අධිපති නන්දලාල් වීරසිංහව ඔසොවා තැබීම විශේෂ දෙයකට වඩා අනිවාර්යයෙන්ම සිදු විය යුතු දෙයක්. ඒ පිළිබඳව මෙන්ම වැඩ භාරගත් දින සිට ඔහුගේ කාර්ය සාධනය පිළිබඳවද ඔහුට ප්‍රමාද වී හෝ සුබ පතමින් මහ බැංකුව හා වෘත්තීය සමිති නියෝජිතයින් අතර පැවති සාකච්ඡාව වෙත අපගේ අවධානය යොමු කරමු.

මා පෞද්ගලිකව මහ බැංකු ස්වාධීනත්වය ඉතා වැදගත් සේ සලකනවා. මහ බැංකු ස්වාධීනත්වය යන්නෙන් සාමාන්‍යයෙන් අදහස් වන්නේ රටේ මුදල් ප්‍රතිපත්තිය රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තියෙන් ස්වාධීන වීමයි. එම සීමාවෙන් එහාට මහ බැංකුවට හෝ එහි ඉහළ නිලධාරීන්ට හිතුමතේ කටයුතු කළ හැකි බවක් එයින් අදහස් වන්නේ නැහැ.

මහ බැංකු ස්වාධීනත්වය ඉහළ යන තරමටම මහ බැංකුවක් රටේ ජනතාවට වගවීමද අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් මහ බැංකුවක කටයුතු පරීක්ෂාවට ලක්වන්නේ රටේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය හරහායි. එහෙත්, රාජ්‍යයේ එම කොටස් තුනම යම් සීමාවන් තුළ මහ බැංකු ස්වාධීනත්වයට ගරු කරන පසුබිමක රටක මහ බැංකුවද විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය තරමටම නොවුනත් රාජ්‍යයේ තවත් කොටසක් බවට පත් වෙනවා. ඒ නිසා, මහ බැංකුවක් විසින් රටේ ජනතාවටද සෘජුව වගවීම යම් තරමකින් හෝ සිදු විය යුතුයි.

කෙසේ වුවද, මහ බැංකුවක් විසින් රටේ ජනතාවට වගවීම යන්නෙන් හැම කොල්ලෙකුගේ හා බල්ලෙකුගේම විවේචන වලට සෘජුව ප්‍රතිචාර දැක්විය යුතු බවක් අදහස් වන්නේ නැහැ. මහ බැංකුවක් රටේ ජනතාවට විවෘත වීම සාමාන්‍යයෙන් සිදු වන්නේ මාධ්‍ය වෙත ප්‍රමාණවත් තරමින් නිරාවරණය වීම හරහායි. වගවීම අතින් ඉහළම මහ බැංකුවක් වුවත් ඒ සීමාව පැන සෘජුව ජනතාව වෙත ප්‍රවේශ වන්නේ නැහැ.

මෙම සන්දර්භය තුළ මහ බැංකුව හා වෘත්තීය සමිති නියෝජිතයින් අතර පැවති සාකච්ඡාව සුවිශේෂී අවස්ථාවක්. මෙය මහ බැංකුවක් විසින් සාමාන්‍යයෙන් තමන් වටා ඇඳ ගන්නා සීමා ඉර පැන යාමක්. ඉදිරි ආරක්ෂක වළල්ල ඉවත් කර ප්‍රතිවාදියාට සම්මුඛ වීමක්. මේ හරහා මහ බැංකුව (මහ බැංකු අධිපතිවරයා) අපේක්ෂා කළේ කුමක්ද යන්න හරියටම පැහැදිලි නැහැ.

පොදු අරමුණක් වෙනුවෙන් එක්ව සිටින කණ්ඩායම් හතළිහක පමණ එකතුවක් ලෙස තමන්ව හඳුන්වා ගන්නා මෙම පිරිස අපි වයි කණ්ඩායම ලෙස හඳුන්වමු. එය අපේ පහසුව වෙනුවෙන් පමණක්ම යොදා ගන්නා නාමකරණයක්. හරියටම නමක් නැති නිසාත්, එක්ස් අකුර ලංකාවේ දේශපාලනය තුළ කලින්ම පේටන්ට් කර ඇති නිසාත් අපි මොවුන්ව මේ නමින් හඳුන්වමු. කණ්ඩායමේ ක්‍රියාකාරකම් වල ස්වභාවය අනුව අවශ්‍යනම් මෙය Y කණ්ඩායම ලෙස නැතිව why කණ්ඩායම ලෙස කියවාගන්න වුනත් පුළුවන්. එසේ නැතුව Y වර්ණදේහය සමඟ සම්බන්ධ කර මේ නම කියවා ගත්තත් ප්‍රශ්නයක් නැහැ.

දැන් මුලින්ම සිදුවන්නේ මෙම වයි කණ්ඩායම විසින් සමාජ ජාලා හරහා මෙන්ම කොටුව දුම්රියපොළ ඉදිරියේදීද තමන්ට පිළිතුරු දෙන මෙන් මහ බැංකු අධිපතිවරයාට අභියෝග කිරීමයි. මෙවැනි විරෝධතාකරුවන් පිරිසක් විසින් මේ ආකාරයේ අභියෝගයක් යමෙකුට කරන්නේ එම අභියෝගය භාරගනු ඇතැයි යන අපේක්ෂාවෙන්ම නෙමෙයි. ඔවුන්ට බොහෝ විට අවශ්‍ය වන්නේ “අපේ ප්‍රශ්න වලට තවම පිළිතුරු ලැබී නැහැ” කියා දිගටම කියන්නට පමණයි. ඉලක්කය වන්නේම අදාළ තැනින් පිළිතුරු නොදීම බැවින් මෙවැනි කණ්ඩායමකට පිළිතුරු දී සතුටු කිරීම ප්‍රායෝගිකව ඉතාම අසීරු වැඩක්.

මෙම ඉල්ලීම හමුවේ මහ බැංකු අධිපතිවරයා විසින් කරන්නේ බොහෝ විට වයි කණ්ඩායම විසින් අපේක්ෂා නොකළ දෙයක්. ඔහු ඉල්ලූ සාකච්ඡාව වහාම ලබා දෙනවා. මහ බැංකුව පැත්තෙන් එවැන්නක් සිදු වූයේ ඇයිද යන්න සිතිය යුතු දෙයක්. සමාජ ජාලා වල ඇති තොරතුරු අනුව පෙනී යන පරිදි වයි කණ්ඩායම විසින් පිළිතුරු ඉල්ලා ඇති ප්‍රශ්න වලට කිට්ටුවෙන් යන ප්‍රශ්න ටිකක් ජවිපෙ/ජාජබ පක්ෂ වලට සම්බන්ධ පිරිස් විසින්ද ඉදිරිපත් කර ඇතත් වයි කණ්ඩායමට ලැබුණු අවස්ථාව තවමත් ඔවුන්ට ලැබී නොතිබීමද විශේෂත්වයක්.

මෙහිදී මහ බැංකුව විසින් කළේ සීමාවෙන් එළියට පැන අහක යන පන්දුවකට පහර දීමක්. මහ බැංකුවක් සාමාන්‍යයෙන් ආරක්ෂක ස්ථාවරයක සිටිනු මිස ප්‍රහාරක ස්ථාවරයකට යන්නේ නැහැ. පසුව මොනවා කිවුවත් මේ අනපේක්ෂිත ප්‍රහාරයෙන් වයි කණ්ඩායම අන්දමන්ද වෙනවා. ඔවුන් පසු බසිනවා. එහෙත්, මහ බැංකුව පැත්තෙන් එතැනින් වැඩේ නවතින්නේ නැහැ. සිදු වූ දෙය ගැන නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව විසින් කරන්නේ “ගනු කඩුව එනු සටනට” කියා පසු බැස ගිය සතුරාව සටනට කැඳවීමයි.

මේ වගේ තත්ත්වයක් යටතේ වයි කණ්ඩායමට අභියෝගය භාර නොගෙන සිටීමේ හැකියාවක් නැහැ. මහ බැංකුව තමන්ව සටනට කැඳවන්නේ තාක්ෂණික ආයුධ වලින් සන්නද්ධව බව ඔවුන් දන්නවා. ඒ නිසා, ඔවුන්ට “පණ බේරා ගැනීම” සඳහා වුවත් හැකි උපරිමයෙන් සූදානම් වෙන්නට සිදු වෙනවා. මගේ අදහස ඔවුන් අවශ්‍ය පමණ සූදානම්ව සිටි බවයි. ආයුධ රැස් කර ගැනීම සඳහා වයි කණ්ඩායමට ප්‍රමාණවත් කාලයක් ලැබුණා.

මීට සාපේක්ෂව මහ බැංකුව පැත්තෙන් අවශ්‍ය තරමේ සූදානමක් සිදුව ඇති බවක් පෙනෙන්නේ නැහැ. මහ බැංකුව තමන් ගැන අධි තක්සේරුවක සිට ඇති අතර ප්‍රතිවාදියාව අවතක්සේරු කර තිබෙනවා. ඒ නිසා, අවසාන වශයෙන් මේ හමුව හරහා මහ බැංකුව විසින් අපේක්ෂා කළ යමක් වී නම් එය ඉටු නොවූ බව මගේ අදහසයි. කෙසේ වුවත්, හමුව අවසන් වන්නේ දෙපාර්ශ්වයටම තමන් ජයගත් බව සිතන්නට ඉඩ සලසමිනුයි. හමුවෙන් පසුව දෙපාර්ශ්වයේම හැසිරීම් වලින් ඒ බව ප්‍රදර්ශනය වෙනවා.

මහ බැංකුවට සාමාන්‍යයෙන් සම්මුඛ වන්නේ බැංකුකරුවන්, අනෙකුත් මූල්‍ය ආයතන, රජයේ නිලධාරීන් හා දේශපාලනඥයින් යන අයයි. මේ අතරින් මුල් කණ්ඩායම් තුනේම ඉන්නේ එකම භාෂාව කතා කරන පිරිසක්. එමෙන්ම එම කණ්ඩායම් සමඟ සාකච්ඡා සිදුවන්නේ නිශ්චිත ආචාර ධාර්මික රාමුවක් තුළයි. දේශපාලනඥයින් සම්මුඛ වීමේදී මහ බැංකුවට තාක්ෂණික දැනුමේ වාසිය ප්‍රයෝජනයට ගැනීමට ඉඩ ලැබෙනවා. ඒ නිසා, ඒ එකදු කණ්ඩායමකින් හෝ මහ බැංකුවට ලොකු අභියෝගයක් එන්නේ නැහැ. හිටපු ජනාධිපතිවරයා මහ බැංකුවට පැමිණි අවස්ථාව එසේ නොවූ සුවිශේෂී අවස්ථාවක්.

මේ හැරුණු විට මහ බැංකුව ප්‍රශ්න කරන අනෙක් පිරිස වන්නේ මාධ්‍යවේදීන්. එහෙත් ලංකාවේ මාධ්‍යවේදීන් මහ බැංකුවෙන් වයි කණ්ඩායම විසින් ඇසූ ආකාරයේ “බරපතල” ප්‍රශ්න අහන්නේ නැහැ. ඇහුවත් අහන්නේ නිශ්චිත ආචාර ධාර්මික රාමුවක් තුළ සිටයි. මේ අනුව, මහ බැංකුවේ පැත්තෙන් බැලූ විට වයි කණ්ඩායමේ හැසිරීම බරපතල කම්පනයක්.

එහෙත් මෙවැනි පිරිසක් සටනට කැඳවීමට පෙර මහ බැංකුව විසින් මේ තත්ත්වය අපේක්ෂා කළ යුතුව තිබුණා. වයි කණ්ඩායමේ පැත්තෙන් බැලූ විට ඔවුන්ට සාපේක්ෂව ඔවුන් ආචාර ධාර්මික සීමාවන් බිඳින්නේ නැහැ. වෘත්තීය සමිති හා හාම්පුතුන් අතර සිදුවන සාකච්ඡාවක් මෙවැනි ස්වරූපයක් ගැනීම අමුතු දෙයක් නෙමෙයි. තමන්ගේ නියෝජිතයින් කේක් කෑල්ලක් කා, කිරි තේකක් බී, පූස් පැටවුන් මෙන් හාම්පුතුන් කියන දේ අහගෙන ආපසු ආවොත් ඔවුන්ව තවදුරටත් තමන්ගේ නියෝජිතයින් සේ තියා ගන්නට කිසිවකු කැමති වෙන්නේ නැහැ.

මේ සාකච්ඡාව තනිකරම බොරු සාකච්ඡාවක් බවත්, එයින් මෙලෝ වැඩක් සිදු නොවන බවත් දෙපාර්ශ්වයම පැහැදිලිව දන්නවා. සාකච්ඡාව පැවැත්වෙන විටද බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය අධිකරණ අනුමැතිය ලැබී අවසන්ව තිබුණු අතර පාර්ලිමේන්තුවේ පැවති බල තුලනය අනුව එහිදී සිදු වන දෙය පිළිබඳව සැක කරන්නට කිසිදු හේතුවක් තිබුණේ නැහැ. මේ අනුව, විශ්‍රාම පාරිතෝෂික අරමුදල් සතු බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කෙරෙනු ඇති අතර එහි ප්‍රතිඵල ඉදිරි සතිය තුළ දැනගන්නට ලැබීමට නියමිතයි. මහ බැංකුව හා වයි කණ්ඩායම අතර සාකච්ඡාවේ ප්‍රතිඵලය කුමක් වුවත් ඉහත තත්ත්වය වෙනස් වීමේ කිසිදු ඉඩක් තිබුණේ නැහැ.

වයි කණ්ඩායමට අවශ්‍යව තිබුණේ අවධානයයි. එය දේශපාලන ක්‍රියාකාරිකයින්ට බොහෝ සේ වටිනවා. මහ බැංකුව මැදිහත් වී කළේ එම අවශ්‍ය අවධානය වයි කණ්ඩායමට ලබා දීමයි. අනිවාර්ය ප්‍රතිඵලය වයි කණ්ඩායමට ඔවුන් සොයන අවධානය ලැබීම බව දැන දැනම මහ බැංකුව විසින් මෙවැනි හමුවක් කරා ඔවුන්ව තල්ලු කරනු ලැබුවේ එක්කෝ ඔවුන්ව පරාජය කර නැති කර දැමීමේ අපේක්ෂාවෙන් විය යුතුයි. එසේ නැත්නම් වෙනත් සැඟවුණු අරමුණකින් විය යුතුයි. අරමුණ පළමුවැන්න වීනම් මහ බැංකුවේ සූදානම මීට වඩා ඉහළ මට්ටමක තිබිය යුතුයි. එහෙත්, මහ බැංකුවට වයි කණ්ඩායම තලා පෙළා දැමීමේ උවමනාවක් තිබුණු බවක් පැහැදිලිව පෙනෙන්න තිබුණේ නැහැ. යම් හෙයකින් එවැනි උවමනාවක් වීනම් ඒ වෙනුවට ඇත්තටම සිදු වුනේ මහ බැංකුව විසින් ඉල්ලන් කෑමක් පමණයි.

මෙම හමුවේදී කුමක් සිදු වුවද වයි කණ්ඩායමේ පැත්තෙන් එය ඔවුන්ගේ ජයග්‍රහණයක්. ඒ නිසා, අදාළ රැස්වීම සඳහා ඔවුන් යන විටම ඔවුන් ජයග්‍රාහකයින් වී අවසානයි. ඔවුන් දෙස බලාගෙන සිටින, ඔවුන්ට වැදගත් පිරිසට තාක්ෂණික පැහැදිලි කිරීම් තේරෙන්නේ නැහැ. ඔවුන් බලා සිටින්නේ තමන්ගේ නියෝජිතයින් බය නැතුව මහ බැංකුවෙන් ගේම ඉල්ලුවාද කියන එක පමණයි. දැන් මේ කණ්ඩායම අදාළ සාකච්ඡාවේ තමන්ට අවශ්‍ය කොටස් පෙන්වමින් සිටින්නේ මෙම ඉලක්ක කණ්ඩායමටයි. වයි කණ්ඩායම මහ බැංකුවට යන්නේ තමන්ගේ ප්‍රශ්න වලට මහ බැංකුවට පිළිතුරු නැති බව ඔවුන්ගේ ඉලක්ක කණ්ඩායමට පෙන්වීමේ අරමුණින් මිසක් එම ප්‍රශ්න වලට ඇත්තටම මහ බැංකුවෙන් උත්තර ලබා ගැනීමේ අරමුණෙන් නෙමෙයි.

අනෙක් පැත්තෙන් මහ බැංකුව මේ පිරිසට ආරාධනා කරන්නේ ඔවුන් තමන් කියන දේ අහගෙන පූස් පැටවු මෙන් කරබාගෙන ආපසු යයි කියා හිතාගෙන වෙන්න බැහැ. මහ බැංකු අධිපතිවරයා ඒ තරම්ම නොදරුවෙක් වෙන්න විදිහක් නැහැ. මහ බැංකුව වයි කණ්ඩායමට මහ බැංකුවට ආරාධනා කරන්නේ තමන් බය නැතුව ඔවුන්ට සම්මුඛ වූ බව පෙන්වන්න. හැබැයි එහෙම පෙන්නන්න යන්නේ වයි කණ්ඩායමේ ඉලක්ක පිරිසට නෙමෙයි. වෙනම පිරිසකට. ප්‍රශ්නය තියෙන්නේ මහ බැංකුවට ඒ වැඩේවත් හරියට කරගන්න පුළුවන් වුනාද කියන එකයි. මහ බැංකුව විසින් අදාළ රැස්වීමේ තමන්ට අවශ්‍ය කොටස් නැවත ප්‍රචාරය කරන විදිහෙන් පෙනෙන්නේ මහ බැංකුව විසින් මේ රැස්වීම තමන්ගේ ජයග්‍රහණයක් සේ සලකන බවයි. මහ බැංකුව විසින් වැඩේ වරද්දාගත් බව මහ බැංකුව තවමත් හරියටම තේරුම් අරගෙන නැහැ.

මහ බැංකුව කළේ වවුලාගේ මගුල් ගෙදර යාම කෙසේ වුවත් වවුලාට තමන්ගේ මගුල් ගෙදරට ආරාධනා කරන එකයි. වවුල්ලු මගුල් ගෙදර ඇවිත් වහලේ එල්ලී සිටිනවා මිසක් මේසෙට වාඩි වෙන්නේ නැහැ. ඒක කලින් තේරුම් ගන්න බැරි වුන එක මහ බැංකුවේ ප්‍රශ්නයක් මිසක් වයි කණ්ඩායමේ ප්‍රශ්නයක් නෙමෙයි. වයි කණ්ඩායම මහ බැංකුවේ සම්මත අනුව පිළිවෙලකට හැසිරෙන්නේ නැහැ. නමුත්, සභාව හරියට පාලනය කර ගත නොහැකි වීමත් මහ බැංකුවේම අඩුපාඩුවක්.

කණ්ඩායම විශාල වීම නිදහසට කාරණයක් නෙමෙයි. මහ බැංකුව පැත්තෙත් ඒ තරමේම කණ්ඩායමක් ඉන්නවා. නමුත්, ඒ අය අතරින් කටක් අරින්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරිය පමණයි. එය ආයතනික ධුරාවරියක් ඇතුළේ ඉන්න පිරිසක් හා කණ්ඩායමක් අතර සාකච්ඡාවකදී ඇති විය හැකි තත්ත්වයක්. වයි කණ්ඩායමේ හැමෝම සමානයි. ස්වාධීනයි. මහ බැංකු කණ්ඩායම එහෙම එකක් නෙමෙයි.

වයි කණ්ඩායමේ පිරිස සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ද කියා ඇසීමෙන් මහ බැංකු අධිපති වැඩේ පටන් ගනිද්දීම අවුලක් හදාගන්නවා. හැබැයි දෙපාර්ශ්වය අතර මුලින්ම ආතතියක් ඇති වෙන්නේ මුලින්ම තමන්ව හඳුන්වා දුන් නීතිඥවරියගේ ප්‍රකාශයක් නිසා. ඇය තමන්ගේ පාර්ශ්වයට වාසිදායක බොරුවක් කියලා මහ බැංකු අධිපති එම බොරුව පෙන්වා දෙන්න යද්දී ස්ථාවර දෙකක වෙනසක් ලෙස හඳුන්වමින් එම බොරුව යට ගහන්න හදනවා. මෙය වාමාංශික කණ්ඩායම් වල සාමාන්‍ය උපක්‍රමයක්.

“හරකෙකුට කකුල් හතරක් තියෙනවා” කියන එකත් “හරකෙකුට තියෙන්නේ කකුල් තුනයි” කියන එකත් එකම සංසිද්ධිය දැකිය හැකි වෙනස් ආකාර දෙකක් නෙමෙයි. කකුලක් කැඩුණු හරකෙක්ව පෙන්නන්න පුළුවන් වුනා කියලා දෙවැනි ප්‍රවාදය පළමු ප්‍රවාදය තරමටම නිවැරදි එකක් වෙන්නේ නැහැ. නමුත්, වාමාංශික අදහස් දරන ඇතැම් අය වෙළඳපොළ වැනි දේ ගැන කතා කරද්දී පෙන්වන්න හදන්නේ කකුල් තුනේ හරක් කියන එකත් කකුල් හතරේ හරක් වගේම එක සමාන විය හැකියාවක් කියලා. සමහර වෙලාවට ඔය කතාව දාර්ශනික විදිහට කියනවා. “පරිණාමයේදී හරක් කකුල් හතරක් නැතිව කකුල් තුනක් තියෙන සත්තු විදිහට පරිණාමය විය හැකිව තිබුණා” වගේ කතා.

මෙතැනදීත් වෙන්නේ ඔය වගේ දෙයක්. මහ බැංකුවට කතා කරලා පස් දෙනෙක්ට එන්න ඉල්ලලා තියෙනවා. මහ බැංකුව ඊට අවස්ථාව දුන් පසු එය ප්‍රතික්ෂේප කර තියෙනවා. මහ බැංකුවට එන දුරකථන ඇමතුම් සියල්ල පටිගත වෙනවා. මහ බැංකු අධිපති කතා කළේ සාක්කි අතේ තියාගෙන. පසුව වයි කණ්ඩායමේ අදාළ දුරකථන ඇමතුම දුන් පුද්ගලයා මහ බැංකු අධිපති නිවැරදි බව තහවුරු කළා.

කොහොම වුනත්, ඉන් පසුව වැඩේ ඇනුවේ මහ බැංකු අධිපතිවරයා. සාකච්ඡාව අර්ථසාධක අරමුදල ගැන නිසා එයට සහභාගී විය යුත්තේ අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් නියෝජනය කරන පිරිසක්. එවැන්නෙක් එක්කෝ අරමුදලේ සාමාජිකයෙක් විය යුතුයි. එහෙම නැත්නම් අරමුදලේ සාමාජිකයින්ගේ නියෝජිතයෙක් විය යුතුයි. ඔය දෙකම වෙන්න අවශ්‍ය නැහැ. මහ බැංකු අධිපති විසින් ඇසිය යුතුව තිබුණු නිවැරදි ප්‍රශ්නය “ඔබ මෙහි ඇවිත් තියෙන්නේ අරමුදලේ සාමාජිකයෙක් ලෙසද නැත්නම් ඔවුන්ගේ නියෝජිතයෙක් ලෙසද?” කියන එකයි. ඇවිත් තියෙන්නේ නියෝජිතයෙක් විදිහටනම් සාමාජිකයෙක්ද නැද්ද කියන එක අදාළ නැහැ. අනෙක් අතට මේක ප්‍රශ්නයක්නම් ඒ ගැන පරීක්ෂා කළ යුතුව තිබුණේ රැස්වීමට කලින් නම් ලැයිස්තුව අරගෙන ආරාධනා කරන්න කලින්. ආරාධනා කරලා රැස්වීමට ආවට පස්සේ ඔය වගේ ප්‍රශ්නයක් අහන එක ආචාර ධාර්මිකව වුනත් නිවැරදි නැහැ.

ඇත්තටම හඳුන්වා දීමේදී ඔය වගේ දෙයක් අහපු එකේ වුනත් විශාල වැරැද්දක් නැහැ. වැරැද්ද මේ ප්‍රශ්නයට පිළිතුරු දීමේදී යම් ආතතියක් ඇති වීමෙන් පසුවද දිගින් දිගටම ඔය පස්සේ පන්නපු එක.

ඊට පස්සේ වුනත් මහ බැංකු අධිපතිවරයා විසින් තමන් විසින්ම යෝජනා කළ නීති කඩනවා. වයි කණ්ඩායමට මුලින්ම දෙන්න පොරොන්දු වූ මිනිත්තු පහළොව ගන්න ඔවුන්ට ඉඩ ලැබෙන්නේ නැහැ. ඒ කාලය අරගෙන ඔවුන් කතා කරන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල් බව ඇත්ත. නමුත් ඒක ඔවුන්ගේ ප්‍රශ්නයක්. කියන මගුලක් කියන්න දීලා ඉවසිල්ලෙන් බලා ඉඳලා තමන්ගේ මිනිත්තු පහළොව ගත්තානම් අවුලක් වෙන්නේ නැහැ. ඊටත් වඩා සාර්ථක මහ බැංකුව විසින් කලින්ම කෙටි ප්‍රසන්ටේෂන් එකක් කරලා ඊට පස්සේ ප්‍රශ්න අහන්න ඉඩ දුන්නානම්. රැස්වීම මාළු කඩයක් කළේ වයි කණ්ඩායම වුනත් එය එහෙම වීමට මහ බැංකු අධිපතිවරයාගේ හැසිරීමත් හේතු වුනා.

මහ බැංකු අධිපතිවරයා විසින් වයි කණ්ඩායම විසින් ඇසූ ප්‍රශ්න බොහොමයකට පිළිතුරු දුන්නා. වයි කණ්ඩායම රැස්වීම එක ගාලගෝට්ටියක් කරන අවු අස්සේ “මතු ප්‍රයෝජනය” ගැන හිතලා තමන්ට කියන්න අවශ්‍ය දේවල් ටික මහ බැංකු අධිපතිවරයා විසින් කොහෙන් හෝ ඔබා ගත්තත් ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු දුන්නේ අහුකොන් ඉතුරු කරලා. පහසුවෙන් පිළිතුරු දිය හැකිව තිබුණු ප්‍රශ්න ඒ විදිහට මග හැරියේ ඇයි කියන එක පැහැදිලි නැහැ.

වයි කණ්ඩායම විසින් දිගින් දිගටම අහපු ප්‍රධානම ප්‍රශ්නයක් වුනේ සේවක අර්ථසාධක අරමුදලට සිදුවෙන පාඩුව හරියටම කීයද කියන එක. වයි කණ්ඩායමට අවශ්‍ය වුනේ කුමක් හෝ පිළිතුරක්. ඒ පිළිතුර කීය වුනත් පිළිතුර ලැබෙන විටම වයි කණ්ඩායම දිනලා. ඊට පස්සේ ඔවුන්ගේ සටන් පාඨය වෙන්නේ “මහ බැංකු අධිපති කියන විදිහටම EPF එකේ පාඩුව _ක්” කියන එක. මම හිතන්නේ මහ බැංකු අධිපතිවරයා විසින් පිළිතුරක් නොදී දිගින් දිගටම මග හැරියේ මේ හේතුව නිසා.

රැස්වීම දෙන කොටම ඔය ප්‍රශ්නය අනිවාර්ය ප්‍රශ්නයක් වන බව මහ බැංකු අධිපතිවරයා දැනගන්න ඕනෑ. සේවක අර්ථසාධක අරමුදලට පාඩුවක් වෙන බව මේ වෙද්දී කවුරුත් දන්නා දෙයක්. හරියටම නොදන්නේ ගාණ කීයද කියන එකයි. මේ සම්බන්ධව මහ බැංකුවේ ඇස්තමේන්තුවක් තිබෙනවා. නමුත්, මහ බැංකු අධිපතිවරයා කෙලින් කට ඇරලා ඒ ගණන කිවුවේ නැහැ. ඊට පස්සේ හර්ෂ ද සිල්වා ඔය ප්‍රශ්නයම අහද්දීනම් පිළිතුරු දී තිබෙනවා.

සේවක අර්ථසාධක අරමුදලට වෙන පාඩුව වයි කණ්ඩායමේ ප්‍රශ්නයක් පමණක් නෙමෙයි. ඔවුන් විසින් නියෝජනය කරන හා නොකරන විශාල පිරිසකගේ ප්‍රශ්නයක්. ඒ පිරිස අතර ප්‍රධාන විපක්ෂ කණ්ඩායම් දෙක වන සජබ හා ජාජබ පිරිස් වගේම පක්ෂයකට ලොකු බැඳීමක් නැති අයත් ඉන්නවා. මහ බැංකු අධිපතිට ඒ සියල්ලන් වෙනුවෙන් කෙළින් පිළිතුරක් දිය හැකිව තිබුණා.

දැන්නම් මේ පිළිතුර ඒ තරම් වැදගත් නැහැ. තව වැඩිම වුනොත් සති දෙකක් යද්දී ප්‍රශ්නයට පිළිතුර වෙළඳපොළ විසින්ම ලබා දෙයි. එම ඇස්තමේන්තුව කිසිසේත්ම වෙරිටේ රිසර්ච් එකේ 37% හෝ 47% තරමේ එකක් විය නොහැකි වුවත් මහ බැංකුවේ 4.8% ඉක්මවන එකක් වෙන්න බැරිකමක් නැහැ. ඒ එක්කම දදේනියෙන් 0.5% ප්‍රශ්නයටත් පිළිතුරු ලැබෙනවා. මම හිතන්නේ ඒ ප්‍රශ්නයනම් අඩු වශයෙන් මහ බැංකු අධිපතිවරයා විසින් තේරුම් ගත්තේවත් නැහැ. ප්‍රශ්නය හෝ තේරුම් ගන්නනම් මහ බැංකුව විසින් වයි කණ්ඩායමේ ෆේස්බුක් පෝස්ට් කලින් බලලා කියන දේ ගැන තේරුම් ගත යුතුව තිබුණා. වයි කණ්ඩායමට අවශ්‍ය වුනේ තමන්ට අවශ්‍ය පිළිතුර ලබා ගන්න මිසක් ප්‍රශ්නය පැහැදිලි කරන්න නොවූ නිසා ඔවුන් ඒ සඳහා මහන්සි වුනේ නැහැ. ඒකත් මහ බැංකුවේ ප්‍රශ්නයක් මිසක් ඔවුන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. එන්නේ මොකාටද කියන එක මහ බැංකුව විසින් තේරුම් ගත යුතුව තිබුණා.

මිස් ඉන්වොයිසින් කතාවටනම් මහ බැංකු අධිපතිවරයා සෘජුව හා නිරවුල්ව පිළිතුරු දුන්නා. ඒ සඳහා ඔහු කලින් සූදානම් වෙලයි සිටියේ. නමුත් මේ ප්‍රශ්නය වයි කණ්ඩායමේ එක් සාමාජිකයෙකුගේ ප්‍රශ්නයක් මිසක් කණ්ඩායමේ පොදු ප්‍රශ්නයක් බව පෙනෙන්න තිබුණේ නැහැ. හැබැයි ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙද්දී වුනත් පහසුවෙන් පිළිතුරු දිය හැකි වූ පොඩි කොණක් ඉතිරි කරගත්තා.

රටක මහ බැංකු අධිපතිවරයෙක් කිසිසේත්ම මේ විදිහට මේ වගේ කණ්ඩායමක් හමු විය යුතු නැහැ. නමුත් ඒ මහ බැංකු අධිපතිවරයා රටේ මුදල් ප්‍රතිපත්ති තීරකයා පමණක් ලෙස සැලකුවොත්. ලංකාවේ මහ බැංකු අධිපතිවරයා ඊට අමතරව සේවක අර්ථසාධක අරමුදලේද භාරකරුවෙක්. සේවක අර්ථසාධක අරමුදලේ භාරකරුවෙකුට මේ වගේ අවස්ථාවක එහි සාමාජිකයින්ගෙන් එන මේ වගේ ඉල්ලීමක් අහක දමන්න බැහැ. ඔය ඔලු දෙකේ ප්‍රශ්නය නිසාම, මහ බැංකු අධිපතිවරයාට මේ කණ්ඩායම මග හරින්න පුළුවන්කමක් තිබුණේ නැහැ.

සේවක අර්ථසාධක අරමුදලේ භාරකරු මහ බැංකුවට සම්බන්ධ නැති වෙනම පුද්ගලයෙක්නම් මේ වගේ වෙලාවක කරන්න වෙන දෙය ඉතාම පැහැදිලියි. 30% බද්ද ගෙවන එක සාමාජිකයින්ට පාඩුයි. ණය ප්‍රතිව්‍යුහගත කරන එක ඊට වඩා ලාබයි. ඒ අනුව, මහ බැංකු අධිපතිගේ පිළිතුර නිවැරදියි සහ පැහැදිලියි. නමුත් මෙහි තියෙන අවුල සේවක අර්ථසාධක අරමුදලේ භාරකරුට තවත් ඔලුවක් තිබීම. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම හදන්න ඒ අනෙක් ඔලුව සම්බන්ධ වෙනවා. වයි කණ්ඩායමේ වගේම තවත් අයගේ ප්‍රශ්නය තිබෙන්නේ මෙතැන. මම හිතන්නේ වයි කණ්ඩායමෙන් පිටත වෙනත් කණ්ඩායම් මේ ප්‍රශ්නය වඩා නිරවුල්ව අහනවා. එහෙත් මේ ප්‍රශ්නයට මහ බැංකුව විසින් නිසි පිළිතුරක් දී නැහැ. සමහර විට අධිකරණයට කළ කරුණු ඉදිරිපත් කිරීම් වල අවශ්‍ය පිළිතුර තිබෙනවා වෙන්න පුළුවන්.

නොගෙවූ බදු වගේ අනෙකුත් දේවල්නම් කිසිසේත්ම මහ බැංකුවට අදාළ නැති දේවල්. වයි කණ්ඩායමට මේ අවස්ථාව ලබා දීම හරහා මහ බැංකු අධිපති විසින් උත්සාහ කළේ මහ බැංකුවට අදාළ නොවන වෙනත් දේවල් එම කණ්ඩායමේ උදවුවෙන් උලුප්පවන එකද?

මහ බැංකු අධිපතිට තව වසර පහක පමණ කාලයක් තියෙනවා. නමුත්, ඊට කලින්, ඉතා ඉක්මණින් ප්‍රධාන මැතිවරණ එනවා. වයි කණ්ඩායම ඇතුළේ පෙසප නියෝජනය වුනත් වයි කණ්ඩායම පෙසප නෙමෙයි. ඒ වගේම පෙසප මැතිවරණයකදී ආණ්ඩු බලය ගන්නෙත් නැහැ. ආණ්ඩු බලය හා හැක්කේ පොහොට්ටු-එජාප, සජබ හෝ ජවිපෙ/ජාජබ යන කඳුවුරු තුනෙන් එකකට. යම් හෙයකින් ආණ්ඩුව මාරු වුනොත්, දැන් ආණ්ඩුවේ හා විපක්ෂයේ භූමිකාත් මාරු වෙනවා. පත්වන කවර හෝ ආණ්ඩුවකට ආර්ථිකය ස්ථායීව පවත්වා ගැනීමේ බරට කර ගහන්න වෙනවා. එවිට මහ බැංකුවට හිටගන්න වෙන්නේ කවුරු හෝ බලයේ ඉන්න ආණ්ඩුවේ පැත්තේ. ආණ්ඩුව වෙනස් වී වෙනත් කණ්ඩායමක් බලයට ආවොත් දැන් විපක්ෂයේ ඉඳිමින් ආණ්ඩුවට කරන්න කියන දේවල් කිරීමේ බර වැටෙන්නේ එම කණ්ඩායම මත. ඒ වෙනුවෙන් දිගටම පීඩනයක් එල්ල කිරීමේ හැකියාවක් තියෙන්නේ වයි කණ්ඩායම වගේ කණ්ඩායම් වලට.

මහ බැංකු අධිපති විසින් ගොඩක් දුර බලා ගේමක් ගැහුවාද? එහෙම නැත්නම් දුර නොබලා ගේමක් ගසා ඇන ගත්තාද? පසුගිය කාලයේ ඔහුගේ කාර්ය සාධනය අනුව, A- එකක් නොව A එකක්ම ලබන්නට වුවත් ඔහු සුදුසුයි. එහෙත්, මහ බැංකු අධිපතිට එසේ හොඳින් ක්‍රීඩා කළ හැක්කේ තමන්ගේ පිට්ටනිය තුළයි. පිට්ටනියේ සීමාවෙන් ඔබ්බේදී තමන්ට විශේෂ වාසියක් නැති බව ඔහු අමතක නොකළ යුතුයි.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan