කලින්ම හිතාගත හැකි වූ පරිදිම, භාණ්ඩාගාර බැඳුම්කර හුවමාරු කර ගැනීම සඳහා අයැදුම් කර තිබෙන්නේ විශ්‍රාම පාරිතෝෂික අරමුදල් බව පෙනී යනවා. අනෙකුත් ආයතන විසින් අයදුම් කර ඇත්නම් එම ප්‍රමාණය ඉතාම සුළු ප්‍රමාණයක් විය යුතුයි. විශ්‍රාම පාරිතෝෂික අරමුදල් මේ සඳහා පෙළැඹී තිබෙන්නේ 14% බදු සහනය වෙනුවෙන් බවද පෙනී යනවා. කෙසේ වුවත්, ණය හුවමාරුවට අයැදුම් කළ ආයතන සම්බන්ධ නිශ්චිත තොරතුරු තවමත් ප්‍රසිද්ධ කර නැහැ.
මේ සමඟ පළ කෙරෙන ප්‍රස්ථාරයෙන් පෙන්නුම් කර තිබෙන්නේ හුවමාරුවට පෙර හා හුවමාරුවෙන් පසු අදාළ මුදල ආපසු ලැබෙන ආකාරයයි. මෙහිදී ණය කප්පාදුවක් සිදු වී නැති නිසා, රුපියල් බිලියන 3,204.5ක් වන හුවමාරු කළ බැඳුම්කර වෙනුවෙන් ලැබිය යුතු මුදල සතයක්වත් අඩු නැතුව ආපසු ලැබෙන නමුත් එසේ ලැබෙන්නේ මුලින් මුදල් ආපසු ලැබිය යුතුව තිබුණු දවස් වලදීම නෙමෙයි.
බැඳුම්කර හුවමාරුව සිදු නොවුනානම්, 2025-2028 වසර වලදී රජයට විශාල මුදලක් ආපසු ගෙවන්නට සිදු වෙනවා. පැවති තත්ත්වය තුළ රජයට එම මුදල් ආපසු ගෙවාගත නොහැකි වී ණය පැහැර හරින්නට සිදු වීමේ අවදානමක් තිබුණා. ණය තිරසාරත්වය නැති වීම යන්නෙන් අදහස් වන්නේ එයයි. එසේ වීනම්, මේ වන විට සිය බැඳුම්කර හුවමාරු කරගැනීම සඳහා ඉල්ලා ඇති අයට මෙන්ම අනෙකුත් අයටද තමන්ගේ මුදල් ආපසු නොලැබිය හැකිව තිබුණා.
හුවමාරුව සිදු වීමෙන් පසුව එක් එක් වසර තුළ රජයට ආපසු ගෙවන්නට සිදු වන්නේ දරාගත හැකි ණය ප්‍රමාණයක්. ඒ වගේම, එසේ ණය ආපසු ගෙවීම සඳහා අරමුදල් සොයා ගැනීමට ප්‍රමාණවත් කාලයක් රජයට ලැබෙනවා. මෙම කාලයේ වාසිය අරගෙන පැහැර හැරි බදු අය කර ගැනීම, හොරකම් කළ සල්ලි එකතු කර ගැනීම, පාඩු ලබන රාජ්‍ය ආයතන ලාබ ලබන ආයතන බවට පත් කිරීම, එම ආයතන විකිණීම වැනි මේ ආණ්ඩුවේ හා ඉදිරි ආණ්ඩු වල ප්‍රතිපත්ති වලට ගැලපෙන ඕනෑම දෙයක් කරන්න පුළුවන්.
~ ඉකොනොමැට්ටා
RN