“දේශපාලන ජීවිතයක් යනු අභියෝග පිරුණු ජීවිතයක්.සතුට මෙන්ම දුක තියෙනවා. හොඳ මෙන්ම නරක තිබෙනවා” – ජනපති අවසන් රැලි අමතයි!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ (LNW):

අද (18)දින ගාල්ලේ අවසන් ජනපතිවරණ ජනරැලි අමතමින් තමා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ රට වෙනුවෙන් වන මූලික යුතුකම් ඉටු කිරීමෙන් අනතුරුව රට මුහුණ දී තිබූ බංකොලොත් බවින් මුදා ගැනීමේ පළමු පියවර තබා යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාව බංකොලොත් බවින් මුදා ගැනීමේ තුන්වෙනි කණ්ඩායම වන පුද්ගලික බැඳුම්කරුවන් සමග ගිවිසුම හෙට (19) අත්සන් කරන බව කී ජනාධිපතිවරයා ලංකාව බංකොලොත් බවින් මිදීම පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශ කිරීම සඳහා ඡන්දය අවසන් වී සති දෙකක් ඇතුළත මූල්‍ය අරමුදල ලංකාවට පැමිණෙන බවද සඳහන් කළා.

අවසන් ජනරැළි අමතමින් වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

“මම වසර දෙකකට පෙර මේ රටේ වගකීම බාර ගත්තේ රටේ තිබෙන ආර්ථික අර්බුදය විසඳන්නයි.2022 මැයි මාසයේ කවුරුත් රටේ වගකීම බාර ගැනීම ප්‍රතික්ෂේප කළා.අගමැතිකම භාරගන්න කියන කොට දිව්වා.ජුනි මාසයේ ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වූ විට මම ජනාධිපතිකම බාරගත්තා.එදා ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබුණා. අප රට බංකොලොත් යැයි ප්‍රකාශ කළා.

අපට විදේශ විනිමය තිබුණේ නැහැ. ඒ යුගය ගැන අලුතෙන් කිව යුතු නැහැ.මෙතන සිටින අනෙක් අය මට වඩා හොඳින් ඒ ගැන කියාවි.පෝලිමේ හිටපු නැති ගෙයක් හොයන එක කිසා ගෝතමිය අබ මිටක් හෙව්වාට වඩා අමාරු වේවි. බංකොලොත් බවින් මිදීමේ පළමු අදියර මම අවසන් කර තිබෙනවා.මම මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියා සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා කොට අපගේ ණය තිරසර බවකට පත් කර ලංකාව මධ්‍යම ආදායම් රටකට සුදුසු පියවරකට පැමිණියා.

එමෙන්ම අපට ණය දුන් රටවල් දාහතක් සමගත් චීනය සමගත් වැඩසටහනක් ඇරඹුවා. අදාල කණ්ඩායම් තුනෙන් දෙකක් සමඟ වැඩසටහන ඇරඹුවා.ණය බංකොලොත් බව නැති කරන්න තුන්වෙනි කණ්ඩායම වන පුද්ගලික බැඳුම්කරුවන් සමගත් ගිවිසුමකට එන්න තිබෙනවා.ඒ ගිවිසුමත් හෙට වන විට අවසන් කරන බව කිව යුතුයි.මම මේ චන්දෙට එන්නේ මූලික යුතුකම් ඉටුකර මේ රටේ බංකොලොත් බව නිල වශයෙන් නැතිකර තිබෙන තත්ත්වයක් යටතේයි.

මම ආර්ථිකය ස්ථාවර කළත් එය තහවුරු කළ යුතුව තිබෙනවා. ඒ සඳහා තව වසර දෙක තුනක් අවශ්‍යයි .නැතිනම් ආර්ථිකය නාය යනවා. අලුත් ආර්ථිකයක් නිර්මාණය කළේ නැතිනම් ණය ගෙන නැවත රට වැටෙනවා. සැප්තැම්බර් 21 වැනිදා මා ඔබෙන් ඉල්ලන්නේ ඒ වැඩ කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා වරමක්. අපි මේ ගිවිසුම් පිළිගන්නවාද? නැතිනම් ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය කියන අයුරින් නැවත ගිවිසුම වෙනස් කරනවාද? ගිවිසුම අලුත් කරනවා නම් අපට ලැබෙන මුදල් නතර වෙනවා .එවිට අප බංකොලොත් භාවයෙන් මුදා ගත්තා කියා ප්‍රකාශ කෙරෙන්නේ නැහැ. අප සති දෙකකින් මූල්‍ය අරමුදලට පිළිතුරු දිය යුතුයි. ඒ පිළිතුර ලබා දෙනවාද?නැද්ද? යන කාරණය ලබන විසි එක් වෙනිදා ලබාදිය යුතුයි.

වසර දෙකකට පෙර අප බාර ගත්තේ අලුත් අත්දැකීමක්.ජනතාව ඡන්දය දී පත්කර ගත් නායකයන්ට ,ජන වරම තිබූ අයට ප්‍රශ්නය විසඳගන්න බැරි වුණා. සජබෙ දිව්වා.ජාතික ජන බලවේගය හොයා ගන්න බැරි වුණා.එහෙම අවස්ථාවක මට රට බාරගන්න සිදුවුණා.මම මේ ගැන ගොඩක් සිතුවා.දේශපාලන ජීවිතයක් යනු අභියෝග පිරුණු ජීවිතයක්.සතුට මෙන්ම දුක තියෙනවා. හොඳ මෙන්ම නරක තිබෙනවා.ප්‍රසිද්ධිය ලබනවා. මේ සියල්ල දේශපාලනයේ කොටසක්. ඒ ගැන මට හිතන්න තිබුණා.නමුත් ජනතාව වෙනුවෙන් මා රට බාර ගත්තා.

ජනතාව මා කෙරෙහි විශ්වාසය නොතැබුවත් මා ජනතාව කෙරෙහි විශ්වාසය තබා මේ අභියෝගය භාර ගත්තා. ලංකාව තිබුණේ ටයිටැනික් නැව වගේ ගිලෙන්න යන අවස්ථාවක. හැමතැනම හිල්. විදුලි බලය නැහැ. කපිතාල්ලා නැහැ.කොහොම හරි මම රට භාර ගත්තා .නැවේ හිටපු කීපදෙනෙක් සමග මා ඉදිරියට ගියා. දැන් කෙසේ හෝ අප හොඳ තැනකට ගෙනවිත් තිබෙනවා.නමුත් නැව තාම වරායට ගිහින් නැහැ.නැව වරායට ගෙන යෑම සඳහා අප මේ වරම ඉල්ලනවා.වසර දෙකක් මේ වැඩකටයුතු අමාරුවෙන් කළා. රට වෙනුවෙන් තීරණ ගන්න සිදුවුණා. ඒ තීරණ අර ගත්තේ අනාගතයේ දෙස බලලා .මා ගත්ත තීරණ එකක්වත් ජනප්‍රිය තීරණ නොවේ . බදු වැඩි කරන්නට සිදුවුණා.

ණය ගන්න බැරි නම් ,මුදල් අච්චු ගහන්න බැරි නම්, බැංකුවෙන් මුදල් ගන්න බැරි නම් රට ගෙනියන්නේ කොහොමද? රුපියල ශක්තිමත් කරන්න ආදායම හොයාගත යුතුයි. සැමට ප්‍රශ්න තිබුණා .බඩු මිල දෙගුණයක් වූ අවස්ථාවේදී බදු ගහන්න සිදුවුණා .ගෙවල්වල එක වේලක් කන අය හිටියා. දරුවන්ගේ ටියුෂන් මුදල ගෙවන්නේ කොහොමද කියා සිතා බැලුවා.අවසානයේ රුපියල ශක්තිමත් කරන්නට අපට හැකි වුණා .එවිට බඩු මිල යම් පමණකට අඩු වුණා අස්වැසුම ලබා දුන්නා. සමෘද්ධිය වගේ තුන් ගුණයක දීමනාවක් ලබා දුන්නා. දැන් රජයේ සේවකයන්ගේ මෙන්ම පෞද්ගලික අංශයේ පඩි වැඩි කරනවා .එමෙන්ම මේ පැති වලට සංචාරකයන් එනවා. ටිකෙන් ටික ආර්ථිකය දියුණු වෙනවා.

නමුත් ආදායම සහ වියදම අතර තවමත් ප්‍රශ්නයක් තිබෙනවා .එන වසර වන විට ඔබේ ජීවන වියදම තවත් සැහැල්ලු කරනවා.මෙය නොකර හිටියා නම් රටේ ආර්ථිකය කඩා වැටී අමාරුවේ ඉන්න තිබුණා. අප කාටත් තිත්ත බෙහෙත් ගන්න අවස්ථා තිබෙනවා. මා කළේ එයයි .එයින් රට ශක්තිමත් වුණා” ලෙස ජනාධිපතිවරයා කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...