වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW :

ශ්‍රී ලංකාවට යටින් ගැඹුරු භූ අභ්‍යන්තරයේ පිහිටි විශාල පැරණි පාෂාණමය ව්‍යුහයක් සොයාගෙන ඇති අතර, එමගින් වසර මිලියන 500 කට පෙර පැවැති දිවයිනේ භූ විද්‍යාත්මක ඉතිහාසය පිළිබඳ නව තොරතුරු අනාවරණය කරගැනීමට විද්‍යාඥයින් සමත්ව සිටිති.

පැරිස් පෘථිවි භෞතික විද්‍යා ආයතනයේ (Paris Institute of Earth Physics) ගාඕෂාන් ගුඕ (Gaoshan Guo), චීන විද්‍යා ඇකඩමියේ ලිතෝස්ෆියර් පරිණාමය පිළිබඳ රාජ්‍ය ප්‍රධාන රසායනාගාරයේ හයිකියැං ලෑන් (Haiqiang Lan), චීන විද්‍යා ඇකඩමියේ භූ විද්‍යා හා භූ භෞතික විද්‍යා ආයතනයේ ලෙයි ෂාඕ (Lei Zhao) සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සංජීව පී. කේ. මලවියාරච්චි යන පර්යේෂකයින් විසින් මෙම පර්යේෂණය මෙහෙයවා ඇත.

භූකම්පන මාන සටහන් ස්ථාන 33 කින් ලබාගත් දත්ත විශ්ලේෂණය කිරීමේදී, මධ්‍යම ශ්‍රී ලංකාවට යටින් කිලෝමීටර 100 ත් 200 ත් අතර ගැඹුරකින් පිහිටි අධික බෑවුම් සහිත පාෂාණමය ව්‍යුහයක් පර්යේෂකයින් විසින් හඳුනාගෙන තිබේ.

ඔවුන් විශ්වාස කරන්නේ මෙම ව්‍යුහය, ‘ගිලීයාමේ ක්‍රියාවලිය’ (subduction) ලෙස හඳුන්වන සිදුවීම හරහා පෘථිවි අභ්‍යන්තරයට තල්ලු වී ගිය අතීත සාගර තලයක (oceanic plate) ශේෂයක් බවයි.

එමෙන්ම මෙම ව්‍යුහයට ඉහළින් අඩු ප්‍රවේග කලාපයක් (low-velocity zone) පැවැත්ම හඳුනාගෙන ඇති අතර, එය එම අතීත ක්‍රියාවලියේදී නිර්මාණය වූ පාෂාණවල ශේෂයන් විය හැකි බවට අනුමාන කෙරේ.

විවිධ ගොඩබිම් එකිනෙක ගැටී එකට සම්බන්ධ වීමට පෙර, අතීත සාගර තලයක් මෙම කලාපයට යටින් බටහිර දෙසට තල්ලු වී ඇති බව මෙම සොයාගැනීම්වලින් යෝජනා වේ.

මීට අමතරව, මෙම භූ විද්‍යාත්මක සිදුවීම් වසර මිලියන ගණනාවකට පෙර පැවැති ‘ගොන්ඩ්වානා’ (Gondwana) නමැති දැවැන්ත අතීත මහාද්වීපය නිර්මාණය වීමේ ක්‍රියාවලියේ කොටසක් වී ඇත. පසුකාලීනව අප්‍රිකාව, දකුණු ඇමරිකාව, ඉන්දියාව, ඇන්ටාක්ටිකාව සහ ඕස්ට්‍රේලියාව බවට පත් වූ ගොඩබිම් කොටස් එකට එකතු වී තිබුණේ මෙම ගොන්ඩ්වානා මහාද්වීපය තුළයි.

ගොඩබිම් එකිනෙක ගැටීමේදී මෙම අතීත සාගර තලය (ancient slab) කඩ වී ගියද, එය ශ්‍රී ලංකාවට යටින් ගැඹුරු භූ අභ්‍යන්තරයේ ආරක්ෂිතව පැවතුණු බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

පෘථිවියේ ටෙක්ටොනික් තලවල (tectonic plates) අතීත චලනයන් පිළිබඳ නව සාක්ෂි සපයන මෙම සොයාගැනීම, ශ්‍රී ලංකාව ගොන්ඩ්වානා මහාද්වීපයේ කොටසක් බවට පත් වූයේ කෙසේද යන්න පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ලබාගැනීමට විද්‍යාඥයන්ට උපකාරී වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...