ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි කාරණා නොවේ. එය මේ දිනවල අපට ඉතා සමීපව නිරීක්ෂණය කළ හැකිය. ඒ, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කතාබහත් සමඟය. රාජ්‍යයේ ප්‍රධාන කුළුණු ත්‍රිත්වය වන විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන අංශ තුනේම ක්‍රියාවලිය හුදෙක් වෙන්වෙන්ව නොව එකම හුයකින් බැඳී පවතින්නකි. එකක හෝ බිඳ වැටීමක් රාජ්‍යයේ ස්ථාවර පැවත්මට බාධාවක් වන්නේ එහෙයිනි. එම නිසා සමස්තයක් ලෙස දේශපාලන අර්ථයෙන් ගත්කළ විධයකය හා ව්‍යවස්ථාදායකය යන සෘජු දේශපාලන ක්‍රියාවලියෙන් බැහැරව අධිකරණය දෙස බැලිය නොහැකිය. එය මේ දිනවල තහවුරු වෙමින් පවතින කාරණයකි.

22 වනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ක්‍රියාවලිය හුදෙක් ආණ්ඩුවේ ප්‍රකාශනය අනුව අධිකරණය ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කරමින් ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ සේවය, අත්දැකීම්, දැනුම, පරිචය අධිකරණ ක්‍රියාවලියට උකහා ගැනීම වෙනුවෙන් සද්භාවයෙන් ගෙන එන ලද්දකි. ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ කියවීම අනුව නම් එකී සංශෝධනය අධිකරණය සම්බන්ධයෙන් රජය බලය තහවුරු කරගැනීමකි. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ඒකාධිපති බලය කරා රාජ්‍ය පාලනය මෙහෙයවීමකි.

මෙවැනි කාරණා සංවාදයට විවෘත අතර විවිධ මත, අදහස්, විවේචනයක් ඉදිරිපත් වීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. එම සංවාදයන් තුළ තවදුරටත් මෙකී පද්ධතිය පිළිබඳ හරවත් කියවා ගැනීමකට අවශ්‍ය පොළඹවා ලීම සිදුකරයි. ඉතිහාසයේ පටන් වරින් වර මෙවැනි සංවාද මතුව තිබෙන අතර දේශපාලනය ඉදිරියට තල්ලුවෙමින් යන්නේ මෙවැනි කාරණා හරහාය. රාජ්‍ය සහ අධිකරණය යනු එක පැත්තකින් ජන ජීවිතය සම්බන්ධයෙන් තීරණාත්මක සාධකය. මේවායෙහි හැසිරීම සෘජුවම ජනතාව වෙනුවෙන් බලපාන්නකි. රටක ස්ථාවරභාවයට එමඟින් ලැබෙන පණිවිඩය සුළුපටු නැත. අනික් පැත්තෙන් අධිකරණය බලයට රාජ්‍ය බලයද යටත්ය. අධිකරණයේ ස්වාධීනත්වය රැකගන්නේ එතැනිනි. එහෙයින් අධිකරණයේ හැසිරීම යනු ජනතාවට රාජ්‍ය පාලනයේ ස්වරූපය පිළිබඳ චිත්‍රය ඇඳ දෙන්නකි. රාජ්‍ය පාලනය කළුද සුදුද යන්න අධිකරණයේ හැසිරීම තුළින් මනාව දිස්වන අතර මෙය සංවාදයට විවෘත කාරණයකි.

මේ අතර අධිකරණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මේ මොහොතේ තවදුරටත් අවධානය යොමුකරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාට එරෙහිව ජාතික ජන බලවේග රජය විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සුදානම් වන බව පසුගිය වසරේ ජනවාරියේ පුවත් පත් වාර්තා පලවී තිබුණු අතර එයට පෙර ඒ මහතා ඔහු ඉල්ලා අස්වීමට ඉඩ ඇතැයිද වාර්තා කර තිබුණි. රාජ්‍ය සහ අධිකරණයේ ගැටීම සිදුවන තවත් ආකාරයකි ඒ. මෙය අද පමණක් නොව ඉතිහාසය තුළත් මතු වූ කාරණාය.

ජේ.ආර්ගේ ගේම් එක – නෙවිල් සමරකෝන් ආපසු හරවයි

මෙයට කදිම නිදසුනක් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති සමයේ සපයා තිබේ. නිදහස්, නිවහල්, ධර්මිෂ්ඨ සමාජයක් බිහි කරන බවට මැතිවරණ පොරොන්දු දෙමින් 1977දී බලයට පැමිණි ජේ. ආර්. ජයවර්ධන පාලන සමය යනු ඉතා විවාදාත්මක, විවේචනාත්මක දේශපාලන ඉතිහාසයක් රටට එක් කළ සමයකි.
අධිකරණ ක්‍රියාවලිය සිය පාලන බලය යටතේ පවත්වාගැනීමේ උත්සාහයන් පිළිබඳ මෙරට දේශපාලන ඉතිහාස තුළ ජේ. ආර්. පාලන සමය විවේචනයට පාත්‍ර වී තිබේ. එහි එක් සිදුවීමක් ලෙස හිටපු අගවිනිසුරුවරයෙකු වූ නෙවිල් සමරකෝන්ට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත්කිරීම පෙන්වා දිය හැකියි.

ඒ අනුව 1984 ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේ එවකට හිටපු අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහාතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද දෝෂාභියෝග යෝජනාව සහ ඊට පාදක කරගත් සිද්ධියත් එසේ වීමට නෙවිල් සමරකෝන් මහතාගේ රාජකාරීමය ක්‍රියාකලාපයත් දෙස බලන විට රාජ්‍ය විසින් අධිකරණයට කරන ලද මැදිහත්වීම කෙබඳුද යන්න පැහැදිලි කරගත හැකිය. පක්ෂ විපක්ෂවලට බෙදී අධිකරණ ස්වාධීනත්වය ගැන කොතෙක් වාද විවාද කළද මෙරට දේශපාලන සන්දර්භය තුළ අධිකරණයේ හැසිරීම රාජ්‍ය පාලනයට සෘජුවම මෙන්ම වක්‍රවද බලපෑම් කරකයකි.

ඒ අනුව එදා එක්සත් ජාතික පක්ෂ රජය නෙවිල් සමරකෝන් මහාතාව ඉවත් කිරීමට දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට උත්සාහ කරද්දී අගවිනිසුරුවරයා විශ්‍රාම ගනු ලැබීය.

ජේ .ආර්. ජයවර්ධන මහතා පළමු විධායක ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු මෙරට 36 වැනි අගවිනිසුරුවරයා ලෙස නෙවිල් සමරකෝන් මහතා පත්වීම් ලැබුවේද ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා පූර්ව සැලැස්මක් සහිතව බවට ඉතිහාසය තුළ කියවෙයි. එවකට සමඟි පෙරමුණු රජය තුළ සේවයේ නිරතව සිටි ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් ගැන ජයවර්ධන ජනාධිපතිවරයාගේ විශ්වාසයක් නොතිබි ඇති අතර නෙවිල් සමරකෝන් මහතා ඒ වනවිට නීති කේෂ්ත්‍රයේ සිටි ජ්‍යෙෂ්ඨතම මෙන්ම ගෞරවාන්විත නීතිඥවරයකු ලෙස නමක් දිනා සිටි නිසාත් එමෙන්ම ජනාධිපතිවරයාගේ සමීපතම හිතවතකු වීමත් ඔහුගේ පෞද්ගලික නීතිඥයා වීමත් මත ජයවර්ධන ජනාධිපතිවායාගේ තේරීම නෙවිල් සමරකෝන් විය. ඒ වනවිටත් ඔහු විනිසුරුවරයෙක් නොවුණු අතර පෞද්ගලික නීතිඥවරයෙක් ලෙස කටයුතු කරමින් සිටි අතර නිල නොවන මණ්ඩලයේ නීතිඥවරයෙක් විය.

ඒ අනුව අගවිනිසුරු ධූරය වෙනුවෙන් පිටතින් පුද්ගලයෙක් ගෙන එම තුළ ජනාධිපති ජයවර්ධන තුළ පැවති අපේක්ෂාව හඳුනාගත හැකිය.

ඒ අනුව ඔහු තමන්ට අවැසි පරිදි කීකරුව අගවිනිසුරු ධූරයේ කටයුතු කරනු ඇතැයි යන පූර්ව නිගමනය මත පිහිටා එකී පත්වීම සිදුකළ අතර ආරම්භයේ ජනාධිපති ජයවර්ධනට අවශ්‍ය පරිදි කටයුතු අකරණ ආකාරය පෙනෙන්නට තිබුණි. ජනාධිපතිවරයාගේ හයෙන් පහක බලය හමුවේ අවශ්‍ය පරිදි සංශෝධන ගෙන ඒමට මෙන්ම ඒවා සම්මත කර ගැනීමට අවශ්‍ය පසුබිම සකසමින් සමරකෝන් මතද කටයුතු කර තිබේ. එහෙත් සමරකෝන් මහතා සහ ජනාධිපතිවරයා අතර විරසකය හට ගන්නේ ජාන්ධිපති ජයවර්ධන නොසිතු අයුරිනි.

ජයවර්ධන ජනාධිපතිවරයා බලාපොරොත්තු නොවූ ආකාරයට සමරකොන් මහතා ස්වාධීනව කටයුතු කිරීම හමුවේ ජයවර්ධන පාලනයට ඔහුව එම ධුරයෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාව මතුව තිබුණි. ඒ අනුව ඔහුව එම ධුරයෙන් ඉවත් කිරීමට අවස්ථාවක් සොයමින් සිටි ජයවර්ධන පාලනයට සමරකෝන් මහතා විසින් පෞද්ගලික උත්සව සභාවක කරන ලද කතාවක් පාදක කරගනිමින් ඔහු විසින් රජයට බලපෑම් කිරීමේ චෝදනාව මත දෝශාභියෝග යෝජනාව ඉදිරිපත් කර තිබුණි.

දේශපාලකයෝ අත පුච්චා ගන්නා තැන

මෙහිදී කිව යුතු වන්නේ නෙවිල් සමරකෝන් මහතා ජයවර්ධන ජනාධිපතිවරයාගේ හිතවතෙක් වුවද ඔහු සිය රාජකාරීමය වපසරිය තුළ සිය ජ්‍යෙෂ්ඨත්වය මෙන්ම සිය රාජකාරීමය අවංකභාවය රැකගැනීමට පසුව කටයුතු කළ බවයි. නීතියේ හිදැස් වලින් රිංගීමට එජාප ආණ්ඩුව දැරූ උත්සාහයන් අගවිනිසුරුවරයා විසින් විවේචනය කර තිබුණි. මෙම තත්වය වඩාත් උද්වේගකර වන්නේ කාන්තා දින රැස්වීමක් පැවැත්වූ විවියන් ගුණවර්ධන මහත්මිය ඇතුළු කාන්තාවන්ට එජාප මැරයන් කණ්ඩායමක් පහරදීමත් සමගය. මෙම පහරදීමට සම්බන්ධ මැරයන් අධිකරණයේදී සිරගත කෙරුණු අතර එම තීන්දුව දුන් විනිශ්චයකාරවරුන්ගේ නිවෙසක් අසල උද්ඝෝෂණය කිරීමට හා විනිසුරුවරුන්ට එරෙහිව පෝස්ටර් ඇලවීමට තවත් මැර පිරිසක් පියවර ගත්හ. එකී සියලු කටයුතු සිදුවූයේ රාජ්‍ය අනුග්‍රහය මත බව යන්න රටට රහසක් නොවීය. එමෙන්ම කලවාන අතුරු මැතිවරණයෙන් ජයගත් කොමියුනිස්ට් පක්ෂයේ සරත් මුත්තෙට්ටුවේගම මහතාට එම තනතුර ලබානොදී එජාපයෙන් තරග වැදී පරාජය වූ අබේරත්න පිලිපිටිය මහතාට එම තනතුර ලබාදීම සඳහා නීතියේ හිල් සොයමින් සිටි ජයවර්ධන ජනාධිපතිවරයාගේ වෑයම ව්‍යර්ථ කිරීමටද අගවිනිසුරුවරයා කටයුතු අකර තිබුණි. අනතුරුව අගවිනිසුරුවරයා තනතුරෙන් ඉවත් කළ යුතු බවට ජයවර්ධන පාලනයට තීරණයකට පැමිණ තිබුණි.

මෙහිදී අගවිනිසුරුවරයා ඉවත් කිරීම වෙනුවෙන් මාන බලමින් සිටියදී ඔහු විසින් පෞද්ගලික අධ්‍යාපන ආයතනයක උත්සව සභාවක් අමතා කළ කතාවක් මහත් ආන්දෝලනයට තුඩු දෙන ලදී. ඒ ආණූආ එම කතාව හරහා රජය අපකීර්තියට පත් කිරීම මත අගවිනිසුරුවයා ඉවත් කිරීම වෙනුවෙන් වූ පියවරට එළඹ තිබුණි.

එහිදී අගවිනිසුරුවරයා කර තිබුණේ මෙවන් කතාවකි. ‘‘පසුගිය වසර තුළ සිංහල සහ දෙමළ ඉංග්‍රීසි ලිපිකරු ලඝු ලේඛන යතුරු ලේඛක හා පොත් බඳින්නන්ගේ තනතුරු පුරප්පාඩු 492ක් පිරැවීමට අපි හැකි සෑම ප්‍රයත්නයක්ම දැරුවා. සේවකයන් බඳවා ගත යුත්තේ රැකියා බැංකුව නමින් හැඳින්වෙන තැනකින් යැයි නියෝගයක් පසුගිය වසරේ දෙසැම්බර් මාසය දක්වා අපට පනවා තිබුණා. එහෙත් ඔවුන්ගේ අඩක් පමණ ලියන්නට හෝ ටයිප් කරන්නට හෝ නොදත් තමන් ඉල්ලුම් කළ තනතුරුවලට නුසුදුස්සෝයි. ඔවුන්ගෙන් සමහරු මන්ත්‍රීවරුන්ගෙන් ලියුම් රැගෙන ආවා. එම ලියුම් කුණු කූඩයට ගියා. මේ ක්‍රමය අධිකරණයට නුසුදුසු බවත් සුදුස්සන් බඳවා ගැනීමට අධිකරණ සේවා කොමිසමට අවසර තිබිය යුතු බවත් ආණ්ඩුවට කියන්නට මට සිදුවුණා. රැකියා බැංකුව මේ රටේ තරුණයන්ට කළ ප්‍රෝඩාවකි. එය ලේ බැංකුව වැනි විය. පරිත්‍යාගශීලීන් එනතුරු අප බලා සිටිය යුතුය.

පඩි අඩු නිසා සුදුස්සන් මෙවැනි රැකියාවලට එන්නේ නැත. රටේ ජීවන වියදම ඉහළ යමින් තිබෙනවා. ඔක්තෝබර් මාසයේ මා ඕස්ට්‍රේලියාවට යනවිට පොල් ගෙඩියක මිල රුපියල් එකයි විසිපහක් වුණා. ජනවාරි මාසයේ මා ආපසු පැමිණෙන විට පොල් ගෙඩියක් රුපියල් හයකි. 1977 ශත 60ක් වූ පාන් රාත්තලක මිල අද රුපියල් තුනයි ශත විසිපහකි. රුපියල් දෙකට තිබූ හාල් සේරුව රුපියල් අට හෝ නවය දක්වා නැග තිබේ. අද පිළිවෙළකට ජීවත් විය හැක්කේ පොහොසතුන්ට හා මන්ත්‍රීවරුන්ට පමණයි. තමාට ලැබෙන්නේ හිඟන වැටුපකැයි ජනාධිපති පැවසූ බවත් මම පුවත්පතක දුටුවා. ජනාධිපති මහජන ඡන්දයෙන් තේරී පත්වූ නියෝජිතයෙකි. ඔහුට කාර් සහ මන්දිර ආදියද ඇත. ඔහු එම හිඟන වැටුප මත නඩත්තු කිරීම සඳහා රටට විශාල මුදලක් වැය කිරීමට සිදුවී තිබේ. මා දැන් කතා කළා ඇතැයි මට සිතේ. මා නීතිඥයකුව සිටියදී පුරුදුවී සිටියේ කතා කිරීමටයි. ඒ දිනවල කතා කළ ප්‍රමාණයට මුදල් ලැබුණි. එහෙත් අද මට මුදල් ලැබෙන්නේ කට වහගෙන සිටින විටයි. එහෙත් විනිශ්චය කාරයන්ටද මේවා බලපාන බැවින් ඇතැම් අවස්ථාවලදී අපට කතා කිරීමට සිදුවනවා.”

පැහැදිලි ලෙසම එවකට පැවති තත්ත්වය ජයවර්ධන ජනාධිපතිවරයාගේ හිත මිතුරෙක් වූ සමරකෝන් මහතා විසින් ප්‍රකාශයට පත් කර තිබුණි. රට පොහොසතුන්ගේ රාජ්‍යයක් බවට පත්කිරීමේ ක්‍රියාවලිය අගවිනිසුරුවායා විසින් විවේචනයට පාත්‍ර කර තිබුණි. එය එක අතකින් ජයවර්ධන පාලනයට ගැසූ ප්‍රබල කනේ පහරකි. එලෙස පවසන්නේ විපක්ෂයේ දේශපාලන නියෝජිතයෙක් නොව රටේ අගවිනිසුරුවරයා වීම විශේෂත්වයයි. මෙහි රටට දැනෙන කොටස වන්නේ එයයි. ඒ අනුව සමරකෝන් මහතෙග් කතාව දේශපාලන කතාවක් බවටත් එහෙයින් වහාම ඔහු සම්බන්ධයෙන් පියවර ගත යුතු බවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී රැස්වීමකදී අවධාරණය වී තිබේ.

මෙහිදී රජය විසින් සැලසුම් කර ඇත්තේ අගවිනිසුරුවරයා අපකීර්තිමත් ලෙස ධූරයෙන් ඉවත් කරවීමය. ඒ අනුව 1984 සැප්තැම්බරයේ අදාළ විශ්වාසභංග යෝජනාව මන්ත්‍රීවරු 57 දෙනෙකුගේ අත්සනින් යුතුව පාර්ලිමේන්තුවට භාර දීමට කටයුතු කර තිබුණි. මේ අතර ඔක්තෝම්බර් මාසයේ තමන් විශ්‍රාම යන බව සමරකෝන් මහතා විසින් ප්‍රකාශයට පත් කර තිබුණි. මෙහිදී විශ්වාසභංග යෝජනාවේ කරුණු විමසීම වෙනුවෙන් ජාතික ආරක්ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පත් කිරීමට කතානායක ඊ.ඇල්. සේනානායක මහතා පියවර ගත්තේය. සෞඛ්‍ය ඇමැති දොස්තර රංජිත් අතපත්තු, පෙස්ටස් පෙරේරා, සී. රාජදොරෙයි, අබ්දුල් මජීඩ්, විපක්ෂ නායක අනුර බණ්ඩාරනායක, සරත් මුත්තෙට්ටුවේගම, පෝල් පෙරේරා, හා දිනේෂ් ගුණවර්ධන යන මැති ඇමැතිවරුන් ආණ්ඩු පක්ෂය හා විපක්ෂය වෙනුවෙන් එම කමිටුවට පත්කර තිබුණු අතර අගවිනිසුරුවරයාට එරෙහිව මන්ත්‍රීවරුන් 57 දෙනා නගනා චෝදනා අනුව විෂමාචාර ක්‍රියාවක් සිදුව ඇත්ද යන්න විමසීම කමිටුවට වගකීම ලෙස පවරා ඇත. කමිටු වාර්තාව මාසයක කාලයකින් ලබා දීමට උපදෙස් ලබා දී තිබේ. කමිටුවේදී ආණ්ඩු පක්ෂයෙන් පත්කළ නියෝජිතයන් තීන්දු කර තිබුණේ අගවිනිසුරුවරයාගේ කතාව ඔහු දරන තනතුරුට නොසුදුසු බවයි. එහෙත් කමිටුවේ සිටි විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනාගේ තීන්දුව වී තිබුණේ එම කතාව නිසා පදවියට කිසිම හානියක් සිදුවී නොමැති බවය. කෙසේවෙතත් මෙම කමිටු වාර්තාව එන විට ඔක්තෝම්බර් මාසය වී තිබුන අතර අගවිනිසුරුවරයා ඔක්තෝම්බර් මාසයේ විශ්‍රාම යන බවට නිවේදනය කිරීමත් හෙතුවෙහ් විශ්වාසභංග යෝජනාවකින් ඔහුව ඉවත් කිරීමේ ආණ්ඩුවේ සැලසුම හකුළා ගැනීමට කටයුතු කර තිබුණි.

ආණ්ඩුව අගවිනිසුරුවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කුණු කූඩයට විසිකරද්දී 1984 ඔක්තෝබර් 22 වැනිදා ඔහු විශ්‍රාම ගැනීම සිදුවිය. ඔහුගේ විශ්‍රාමය නිමිත්තෙන් අලුත්කඩේ අධිකරණ ශාලාවේ සමුගැනීමේ නිල උත්සවයක් පැවති අතර එහිදීද ඔහු සිය ස්ථාවරය ප්‍රකාශයට පත්කර තිබුණි. අගවිනිසුරුවරයා පැවසුවේ මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා විනිශ්චයකාරවරුන්ට බරපතල බාධකවලට මුහුණ දීමට සිදුවූ බවයි. ශ්‍රේෂ්ඨාධිකරණය මතුවටත් එසේ කරන බවට තමාට සැකයක් නැතැයිද අගවිනිසුරුවරයා එහිදී පවසා තිබුණි.

සමරකෝන් මහතා පවසා තිබූ පරිදි නීතිය ක්‍රියාත්මක කර යුක්තිය ඉටුකිරීමේ අධිකරණ ක්‍රියාවලිය සුළුපටු මෙන්ම ලෙහෙසි කාරණයක් නොවේ. දේශපාලන බලාධිකාරය විසින් සෘජුව හෝ වක්‍රව ඊට සිදුකරන බලපෑම විසින් තීන්දු කරන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයේ ස්වාධීනත්වයයි. අත්පත්කරගත් බලය පවත්වාගෙන යාමේදී රාජ්‍ය බලය විසින් අධිකරණය වෙත සිදුකරන ලද බලපෑම් තවත් මෙරට ඉතිහාසයේ සනිටුහන් වී තිබෙන අතර එය පාලකයින් විසින් ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීමට කොතෙක් දුරට වූ මැදිහත්විමක්ද යන්න සහතික කර තිබේ. දේශපාලන අධිකාරිය විසින් අධිකරණය ක්‍රියාවලියට අතපෙවීම යනු එය අත පුළුස්සා ගැනීමක් ලෙස ප්‍රචලිතය. එහෙත් රටට අධිකරණ ක්‍රියාවලිය ජනතා විශ්වාසයට පාත්‍ර විය යුතුය. නීතිය නිසිලෙස ක්‍රියාත්මක වනවා යන සංඥාව එම පද්ධතිය තුළින්ම සමාජ ගත විය යුතුය. පැහැදිලි ලෙසම ඊට බාධාවක් වන්නේ නම් ඒ දේශපාලන අධිකාරියෙන්ම මිස ජනතාවගේ පාර්ශවයෙන් නොවේ. එහෙයින් ව්‍යවස්ථා සංශෝධන හමුවේ මෙන්ම විනිසුරුවරුන්, අගවිනිසුරුවරුන් සම්බන්ධයෙන් ගනු ලබන තීරණද දේශපාලන ධාරාවේ ඇත්ත පැත්ත නිරාවරණය වීමකි.

මෙකී තත්ත්වයන් මත 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන විවේචනයන්ගේ හරයද මැන ගැනීමට දැන් අවස්ථාව එළඹ තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

සලේ 28 තෙක් රෝහලේ: වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : හිටපු රාජ්‍ය බුද්ධි...