අපට ලැබෙන්නේ ඉතාමත් අභියෝගාත්මක රටක් – නව ජනපති අනුර

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ (LNW):

"අපට ලැබෙන්නේ ඉතාමත් අභියෝගාත්මක රටක් බව අපි ඉතා ගැඹුරින් තේරුම් ගෙන සිටිනවා. අපේ රටේ දේශපාලනය මීට වඩා පිරිසිදු විය යුතුයි. ජනතාව විශාල ලෙස අපේක්ෂා කරන යහපත් දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාවය තිබෙනවා. අප ඒ වෙනුවෙන් කැපවෙන්න සූදානම්. අපේ රටේ දේශපාලකයාත්, දේශපාලනයත් පිළිබඳව පොදු පුරවැසියන්ගේ තිබෙන්නේ අයහපත් අදහසක්. දේශපාලනය සුදුසු නැති දෙයක් වගේ අදහසක් තිබෙනවා. ඒ නිසා අපේ උපරිම කැපවීමෙන් නැවත දේශපාලනය කෙරෙහිත් දේශපාලකයා කෙරෙහිත් මහජනයාගේ ගෞරවය, මහජනයාගේ විශ්වාසය, තහවුරු කිරීමට අපගේ පාර්ශ්වයෙන් කළ හැකි සියල්ල සිදුකරනවා." නව ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජාතිය අමතා සිදුකළ කතාව :

අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්ම ලක්ෂණය ජනතාව විසින් තම පාලනය සඳහා පාලකයෙක් තෝරා පත්කර ගැනීමයි. නමුත් මැතිවරණයකට ඡන්දය ප්‍රකාශ කිරීම හා පාලකයෙක් තෝරා පත්කර ගැනීමෙන් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වෙන්නේ නැහැ. එය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක් වුවත් අපේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ව්‍යුහයන්ගේ ශක්තිමත්භාවය වගේම නීතිමය ශක්තිමත්භාවයක් අවශ්‍යයි. ඒ නිසා මා ප්‍රථම කොටම අපේ රටේ ජනතාව දැනුවත් කරන්න කැමතියි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මාගේ උපරිම කැපවීම මාගේ ධුර කාලය තුළ තහවුරු කරන්න සූදානම්. ඒ වගේම අපේ රටේ මැතිවරණයකින් බලය හුවමාරු කිරීමේදී ප්‍රජාතාන්ත්‍රික ලෙස සිදුවුණු ඉතිහාසයක් තිබෙනවා, කිසිදු විටෙක මැතිවරණයකදී සිදුවූ බල හුවමාරුවක්, කිසිදු නායකයෙක් ප්‍රතික්ෂේප කොට නැහැ. ඒ අනුව යමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගේ ජන වරම සුහදව පිළිගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී බල හුවමාරුව වෙනුවෙන් එතුමාගේ කැපවීම, එතුමාගේ ආදර්ශය ලබාදීමට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.

අපට ලැබෙන්නේ ඉතාමත් අභියෝගාත්මක රටක් බව අපි ඉතා ගැඹුරින් තේරුම් ගෙන සිටිනවා. අපේ රටේ දේශපාලනය මීට වඩා පිරිසිදු විය යුතුයි. ජනතාව විශාල ලෙස අපේක්ෂා කරන යහපත් දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාවය තිබෙනවා. අප ඒ වෙනුවෙන් කැපවෙන්න සූදානම්. අපේ රටේ දේශපාලකයාත්, දේශපාලනයත් පිළිබඳව පොදු පුරවැසියන්ගේ තිබෙන්නේ අයහපත් අදහසක්. දේශපාලනය සුදුසු නැති දෙයක් වගේ අදහසක් තිබෙනවා. ඒ නිසා අපේ උපරිම කැපවීමෙන් නැවත දේශපාලනය කෙරෙහිත් දේශපාලකයා කෙරෙහිත් මහජනයාගේ ගෞරවය, මහජනයාගේ විශ්වාසය, තහවුරු කිරීමට අපගේ පාර්ශ්වයෙන් කළ හැකි සියල්ල සිදුකරනවා. ඒ වගේම අප හමුවේ තිබෙන ගැඹුරුතම අර්බුදය හුදු ආණ්ඩුවකට, හුදු දේශපාලන පක්ෂයකට හුදු පුද්ගලයෙකුට පමණක් පියමං කළ හැකි දෙයක් බව අපි විශ්වාස කරන්නේ නැහැ. මෙයට පෙරත් මම ප්‍රකාශ කර ඇති පරිදි මා ඉන්ද්‍රජාලිකයෙකු හෝ මැජික්කරුවෙකු නොවෙයි. මා මේ රටේ ඉපදුණු සාමාන්‍ය පුරවැසියෙක්. හැකියාවන් තිබෙනවා. නොහැකියාවන් තිබෙනවා. දන්න දේවල් තිබෙනවා. නොදන්න දේවල් තිබෙනවා. හැබැයි මගේ ප්‍රමුඛතම කාර්යය හැකියාවන් උරාගෙන, දන්න දේ එක්රැස්කරගෙන වඩාත් හොඳ තීන්දු තීරණ අරගෙන ක්‍රියාකිරීමයි.

ඒ නිසා ඒ සාමූහික මැදිහත් වීමේ පංගුකරුවෙකු ලෙස පත්වීම මගේ වගකීමයි. ඒ වෙනුවෙන් සාමූහිකව මැදිහත් වීමේ කොටස්කරුවෙකු හැටියට මා පත්වෙනවා. මේ අර්බුදය නිමා කිරීමේදී පොදු පුරවැසියන්ටත්, සියලු ක්ෂේත්‍රවල අයටත් විශාල වගකීමක් තිබෙනවා. ඒ වගකීම ඉටුකිරීම වෙනුවෙන් මා හැමදෙනාගේම සහයෝගය අපේක්ෂා කරනවා. නමුත් රටේ ජනාධිපතිවරයා ලෙස මේ කාර්යය මෙහෙයවීමේ ප්‍රමුඛතම හා ප්‍රධානතම වගකීමත් මා වෙත තිබෙන බව තේරුම් ගෙන තිබෙනවා. ඒ නිසා ක්‍රියාවෙන්ම හැම අවස්ථාවකදීම මේ අභියෝගය පියමං කිරීම සඳහා මා වෙත පැවරී තිබෙන වැඩකොටස මා නිසි පරිදි ඉටුකරන බව මේ මේ රටේ පුරවැසියන්ට, සමාජයට ඒත්තු ගන්වන්න මම සූදානම්.

ඒ වගේම අපේ රටට ජාත්‍යන්තර සහයෝගය අවශ්‍යයි. ලෝකයේ කවර බල බෙදීමකදී වුවත් අපට වඩාත් වාසි සහගත ලෙස අපි අපේ විදේශ ප්‍රතිපත්තිය පවත්වාගෙන යනවා. අපට අවශ්‍ය ලෝකයේ හුදකලා රාජ්‍යයක් නොවෙයි; ලෝකයත් සමග සාමූහිකව, ඒකාබද්ධව ඉදිරියට යා යුතු රාජ්‍යයක්. ඒ වෙනුවෙන් අවශ්‍ය තීන්දු තීරණ ගන්න අපි කිසිසේත්ම පැකිළෙන්නේ නැහැ. අපේ රට ගොඩනැගීමේදී කර්මාන්තකරුවන්ට හා ව්‍යවසායකයන්ට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. ඔවුන් වඩා ශක්තිමත්ව අපේ රට ගොඩනැගීම සඳහා රජයේ ක්‍රියාවලියට සහයෝගය දේවි, උදව් කරාවි කියා බලාපොරොත්තු වෙනවා.

අවසන් වශයෙන් මම කියන්නේ, අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් තුළින් මාව ජනාධිපති ලෙස තෝරා පත්කරගෙන සිටිනවා. ඒ තෝරා පත්කර ගැනීම සඳහා ජනතාව මා වෙත ඡන්දය ලබාදී තිබෙනවා. මට ලබා නොදුන් ඡන්ද ප්‍රමාණයකුත් තිබෙනවා. ඒ නිසා ජයග්‍රහණයේ සංයුතිය සහ ප්‍රමාණය පිළිබඳව අපට ඉතා හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ නිසා මාගේ පාලන කාලය තුළ මට පැවරී තිබෙන කාර්යභාරය, අපට ඡන්දය නොදුන්, අපව විශ්වාස නොකරන අයගේ සහයෝගය ලබා ගැනීම සහ විශ්වාසය දිනා ගැනීම සාර්ථකව සිදුකළ හැකියි කියන විශ්වාසය අපට තිබෙනවා. ඉදිරියේදී මේ සියල්ල ප්‍රායෝගිකවත් අත්විඳින්න හැකිවේවි. ඒ සඳහා සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරනවා” ලෙස අභිනව ජනාධිපතිවරයා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...