ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට ජනපති එක් වෙයි!

Date:

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවැත් වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ මැදිහත්වීමෙන් සහ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවන ලද “ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාවේ” සමාරම්භය සනිටුහන් කරමින් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වෙත ප්‍රථම මල් පූජාව සිදු කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් අද (04) පස්වරුවේ සිදු විය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා උපන් ගම් ප්‍රදේශය වන ගුජරාට්හි අරවල්ලි දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික දෙව්නි මෝරි පුරාවිද්‍යාත්මක ස්ථානයේ 60 දශකයේදී බෞද්ධ ආරාම සංකීර්ණයක ස්තූපයක් ආශ්‍රිතව සිදුකරන ලද පුරාවිද්‍යාත්මක කැණීමකින් මෙම ධාතුන් වහන්සේ සොයා ගන්නා ලදී. මෙම ස්ථානයෙන් ධාතු කරඬු දෙකක් හමු වූ අතර, ඉන් එක් ධාතු කරඩුවක තිබි මෙම සර්වඥ ධාතුන් වහන්සේ හමු වී තිබේ. එහි තිබී හමු වූ මංජුසාවේ සටහන් ‘දස බලධාරී බුදුන් වහන්සේගේ ධාතු නිධන් කළ ස්ථානය’ යන වැකිය මෙම ධාතුන් වහන්සේගේ පූජනීයත්වය තහවුරු කරන ප්‍රබලතම සාක්ෂිය වේ.

ඉන්දියාවේ බරෝදා කෞතුකාගාරයේ ඉතා සුරක්ෂිතව තැන්පත් කර තිබූ මෙම සර්වඥධාතුන් වහන්සේ මෙතෙක් ඉන්දියාවෙන් පිටතට වැඩම කර නොමැති අතර, මෙම ශ්‍රී සර්වඥධාතුන් වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව ප්‍රථමවරට ශ්‍රී ලාංකික ජනතාවට උදා වී තිබේ.

අද (04) පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ මෙරටට වැඩම කරවීම සිදු වූ අතර එහි විශේෂ පීඨිකාවක තැන්පත් කර ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව විශේෂ රථ පෙරහැරකින් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරවීම සිදු විය.

ඉන් අනතුරුව, මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ විහාරස්ථානයේ විශේෂ පිඨිකාවක තැන්පත් කරන ලද ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ මහජනතාවගේ වන්දනාමාන සඳහා නිරාවරණය කරමින් ප්‍රථම මල් පූජාව සිදු කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

ඒ අනුව, හෙට (05) උදෑසන සිට පෙබරවාරි 11 වන දා දක්වා දින හතක කාලයක් පැය 24 පුරාම ඓතිහාසික හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී මෙම සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව මෙරට ජනතාවට හිමිවන අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා දී තිබේ.

ඉන්දු – ශ්‍රී ලංකා මිත්‍රත්වය ශක්තිමත් කෙරෙන මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින් ගුජරාට් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ආචාර්ය දේව්ව්‍රත් මහතා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් මෙහිදී සිදු කෙරිණි.

හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි නායක හිමිපාණන් වහන්සේ විසින් ජනාධිපතිවරයා වෙත හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සීමා මාලකයේ අනුරුව සහිත විශේෂ සිහිවටන තිළිණයක් පිළිගන්වන ලදී.

ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ මෙරට වන්දනාවට අදාළ අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගැනීම ද බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ ශ්‍රී ලංකාවේ වැඩබලන ඉන්දීය මහකොමසාරිස් සත්‍යාංජල් පාණ්ඩේ යන මහත්වරු අතර මෙහිදී සිදු විය.

සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ මහලේකම් Shartse Khensur Rinpoche Jangchup Choeden හිමිපාණෝද, ඉන්දියාවේ සිට වැඩම කරවන ලද ගෞරවනීය මහා සංඝරත්නයද, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු, ශ්‍රී ලංකාවේ වැඩබලන ඉන්දීය මහකොමසාරිස් සත්‍යාංජල් පාණ්ඩේ මහතා ඇතුළු ඉන්දීය රජයේ විශේෂ නියෝජිතයෝද, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රෝෂන් ගමගේ, කපිල ජනක බණ්ඩාර යන මහත්වරු සහ අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරිහූද, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සහ ආරක්ෂක අංශ නියෝජිතයන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

PMD

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...

අමරකීර්ති ඝාතනයේ බෙදුනු නඩු තීන්දුව – සභාපති විනිසුරු සියලු විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව...

Wanderlust Wednesday: සිංදු කියන මාලුවන්ගේ කසුකුසුව සොයා යන මඩකලපු සවාරිය! Discovering the Cultural Tapestry of Batticaloa Heritage District, Sri Lanka 🇱🇰

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; සටහන – පුලී පෙබරවාරි...