කොළඹ LNW:අධ්‍යයන හා පර්යේෂණ ක්ෂේත්‍රයේ විෂයමය සංවර්ධනය සඳහා පර්යේෂණ සම්මන්ත්‍රණ සංවිධානය කිරීම ජාතික සමාජ සංවර්ධන ආයතනය මඟින් සිදුකරනු ලබන අතර, සමාජ වැඩ පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය (International Conference on Social Work – ICOSW) සිව්වැනි වරට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) ජාතික සමාජ සංවර්ධන ආයතන පරිශ්‍රයේදී පැවැත්විය.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති උසස් අධ්‍යාපන ආයතනයක් වන ජාතික සමාජ සංවර්ධන ආයතනය 1992 අංක 41 දරන පනත මඟින් ස්ථාපිත කර තිබේ.
සමාජ සංවර්ධනය හා සමාජ වැඩ ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා අධ්‍යයන, පර්යේෂණ හා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ජාතික සමාජ සංවර්ධන ආයතනය මඟින් සිදුකරනු ලබන අතර, උපදේශනය සහ වෘද්ධ විද්‍යාව ඇතුළු ඩිප්ලෝමා පාඨමාලා මඟින් ද එම විෂය ක්ෂේත්‍රයේ සංවර්ධනය තවදුරටත් ශක්තිමත් කරනු ලබයි. 2005 වසරේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශ මත උපාධි පිරිනමන ආයතනයක් බවට පත්වූ ජාතික සමාජ සංවර්ධන ආයතනය, මේ වනවිට සමාජ වැඩ පිළිබඳ ශාස්ත්‍රවේදී හා ශාස්ත්‍රපති උපාධි පාඨමාලා පවත්වාගෙන යනු ලබයි.
මෙවර සම්මන්ත්‍රණයේ තේමාව “Co-Building Hope and Harmony: Social Work Responses to Inequality and Social Change” යන්නයි.
වර්තමාන සමාජයේ පවතින සමාජ හා ආර්ථික අසමානතා, දරිද්‍රතාව, සමාජ බහිෂ්කරණය, මානසික සෞඛ්‍ය ගැටලු, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය, මානව හිමිකම්, ළමා ආරක්ෂණය, ආබාධ සහිතභාවය, දේශගුණික විපර්යාස, පාරිසරික වෙනස්කම්, ඩිජිටල් තාක්ෂණය සහ සමාජ ආරක්ෂණය වැනි සංකීර්ණ සමාජ ගැටලු සඳහා සමාජ වැඩ ක්ෂේත්‍රයේ ප්‍රතිචාර හා විසඳුම් පිළිබඳව විද්වත් සංවාදයක් ගොඩනැගීම මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන අරමුණ විය.
ඒ සඳහා ජාතික හා ජාත්‍යන්තර පර්යේෂකයන් මෙන්ම පර්යේෂණ නිපුණතා වර්ධනය කරගනිමින් සිටින නව පර්යේෂකයන් ද එක්ව, සමාජ වැඩ ක්ෂේත්‍රයේ ඉදිරි ප්‍රගමනය සඳහා අවශ්‍ය දැනුම හා පර්යේෂණ අත්දැකීම් හුවමාරු කර ගැනීම මෙහිදී සිදු විය.
සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය හොංකොං චීන විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ සමාජ වැඩ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ඩයි හයිජිං (Professor Dai Haijing) මහත්මිය විසින් පවත්වන ලදී.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ, දිළිඳුකම යනු ආදායම නොමැතිකම පමණක් නොව, අවස්ථා සහ නිදහස අහිමිවීමක් ද වන බැවින්, සංවර්ධනයේ අවසාන ඉලක්කය විය යුත්තේ ජනතාව සක්‍රීයව සවිබලගැන්වීම බවයි.
සාම්ප්‍රදායිකව ඉහළ මට්ටමේ සිට තීරණ ගෙන ඒවා ප්‍රජාව වෙත ලබාදීමේ ක්‍රමවේදය වෙනුවට, ප්‍රජාව සතු දැනුම, අත්දැකීම් හා විසඳුම් පදනම් කරගත් සහභාගිත්ව සංවර්ධන ප්‍රවේශයකට යොමුවීම තුළින් ග්‍රාමීය සංවර්ධනයේ අරමුණු වඩාත් සාර්ථකව ළඟා කරගත හැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම, ග්‍රාමීය මට්ටමේ ප්‍රජා සහභාගිත්වය යනු හුදෙක් සංවර්ධන මෙවලමක් පමණක් නොව, එදිනෙදා ජීවිතයේදී ප්‍රජාතන්ත්‍රවාදය අත්විඳින ක්‍රියාවලියක් බවත්, “ප්‍රජා ශක්ති” දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන හරහා ග්‍රාමීය සංවර්ධනය, ප්‍රජාවට සවන්දීමෙන් ආරම්භ කිරීමට රජය පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
සමාජ වැඩකරුවා යනු හුදෙක් සමාජ ගැටලුවලට ප්‍රතිචාර දක්වන්නෙකු පමණක් නොවන බවත්, ඔහු හෝ ඇය පහසුකම් සපයන්නෙකු, සබඳතා ගොඩනගන්නෙකු, උපදේශකයෙකු සහ ප්‍රජා හඬ සක්‍රීය කරන්නෙකු ලෙස ද කටයුතු කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
රාජ්‍ය ප්‍රතිපත්ති සහ ප්‍රජාවගේ සැබෑ යථාර්ථයන් අතර සම්බන්ධකයක් ලෙස කටයුතු කරමින්, ජාතික ප්‍රතිපත්ති ප්‍රජා මට්ටමේ සැබෑ ක්‍රියාකාරකම් බවට පරිවර්තනය කිරීම සඳහා සමාජ වැඩකරුවන් සුවිශේෂී දායකත්වයක් සපයන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සහ ජාතික සමාජ සංවර්ධන ආයතනයේ පාලක සභාවේ සභාපති සම්පත් මන්ත්‍රීනායක මහතා, ජාතික සමාජ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා මහතා ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.
ඉන්දියාව, චීනය, හොංකොං සහ ජපානය ඇතුළු රටවල විශ්වවිද්‍යාල හා පර්යේෂණ ආයතන නියෝජනය කරන දේශීය හා විදේශීය විද්වතුන්, විද්‍යාර්ථීන් සහ පර්යේෂකයන් මෙන්ම ජාතික සමාජ සංවර්ධන ආයතනයේ නිලධාරීන්, ආචාර්යවරුන් හා විද්‍යාර්ථීන් ඇතුළු විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



