සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන් පළාතේ සරාවාන් ප්‍රදේශයේ සිදුකළ ආරක්ෂක මෙහෙයුමක් අතරතුර ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු මියගොස් තිබේ.
IRGCයට සම්බන්ධ Tasnim පුවත් ඒජන්සිය වාර්තා කර ඇත්තේ බ්‍රිගේඩියර් ජෙනරාල් හුසේන් සරීෆි (Hossein Zarifi) මෙලෙස මියගිය බවයි. ඔහු සරාවාන්හි පිහිටි Shahid Sajjad මෙහෙයුම් මූලස්ථානයේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කර ඇති බව සඳහන් වේ.
වාර්තාවලට අනුව, සන්නද්ධ කණ්ඩායමක් ඉලක්ක කර සිදුකළ මෙහෙයුමක් අතරතුර ගැටුම් හටගෙන ඇති අතර, එහිදී සරීෆි මියගොස් තිබේ. ඉරාන ආරක්ෂක අංශ සඳහන් කර ඇත්තේ තමන් “ත්‍රස්තවාදී” කණ්ඩායමක් ලෙස හඳුන්වන කණ්ඩායමක් ඉලක්ක කළ බවයි. එම මෙහෙයුමේදී කණ්ඩායමේ සාමාජිකයන් පස්දෙනෙකු මියගොස් තවත් පිරිසක් අත්අඩංගුවට ගත් බවද ඉරාන වාර්තා සඳහන් කරයි.
සිස්තාන්-බලුචෙස්තාන් පළාත පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානයට මායිම්ව පිහිටා ඇති අතර, එම ප්‍රදේශයේ ඉරාන ආරක්ෂක හමුදා සහ බලුච් සන්නද්ධ කණ්ඩායම් අතර දිගුකාලීන ගැටුම් පවතී.

