ජපානය ශ්‍රී ලංකාවේ සමීප මිතුරෙක්,දුෂ්කර කාලවලදී ශක්තිමත් හවුල්කරුවෙක්: ජනපති අනුර

0
138

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27 කොළඹ LNW :

මේ වනවිට ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තම පළමු කාර්‍ය ලෙස, ඔසාකා නුවර පැවැත්වෙන “එක්ස්පෝ – 2025” ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දින සැමරුම් උත්සවය සඳහා සහභාගි වි තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සංවිධානය කළ ශ්‍රී ලංකා දින උත්සවය, ශ්‍රී ලාංකීය අනන්‍යතාව පිළිඹිබු කරන විවිධ සංස්කෘතිකාංගවලින් විචිත්‍රවත් වූ බවයි .

එමෙන්ම එම සංස්කෘතික උත්සවය නැරඹීම සඳහා ජපන් ජාතිකයින් මෙන්ම විදේශිකයෝ විශාල පිරිසක් එක්ව තිබෙන බව වාර්තා වේ.

එහිදී උත්සව සභාව ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, ගෝලීය පරිවර්තනයන් සිදු වන මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාව පසු වන්නේ සිය ආර්ථික ගමනේ තීරණාත්මක මොහොතක බවයි. අඛණ්ඩ අභියෝගවලට මුහුණ දුන් ශ්‍රී ලංකාව මේ වන විට තිරසාර සහ සහභාගිත්ව ආර්ථිකයක් නැවත ගොඩනඟමින් සිටින බවත්, සංවර්ධනයේ ප්‍රතිලාභ පුළුල්ව බෙදා ගන්නා බවටත්, එම සමෘද්ධිමත්භාවය තුළින් සෑම පුරවැසියෙකුගේම ජීවන තත්ත්වය උසස් කරන බවට සහතික වන බවත් ජනාධිපතිවරයා එහිදී පැවසීය.

2025 එක්ස්පෝ ප්‍රදර්ශනය මගින් ශ්‍රී ලංකාවට තම සංස්කෘතිය, නවෝත්පාදන සහ මානව වටිනාකම් මත පදනම් වූ දීප්තිමත් අනාගතයක් සඳහා වන දැක්ම බෙදා ගැනීමට හැකි ගෝලීය වේදිකාවක් නිර්මාණය කර දෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන් අතර, ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වයද එහිදී සිහිපත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ සමීප මිතුරෙකු වන ජපානය දුෂ්කර කාලවලදී සහාය වෙනවා සේම සාර්ථක කාලවලදී එම සතුට සැමරීමට ද එක් වන ශක්තිමත් හවුල්කරුවෙක් බවද සදහන් කළේය.

“එක්ස්පෝ – 2025” ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකාවේ සහ ජපානයේ ප්‍රදර්ශන මණ්ඩපය නැරඹීමට ද ජනාධිපතිවරයා එහිදී එක්වූ බව වාර්තා වේ.