මට දැනට වසර කිහිපයකට උඩ දී කැලණියේ සේවය කරද්දී තලංගම කොස්වත්ත හංදිය අසල නිවසක දී තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන් වහන්සේ හමුවුණා. උන්වහන්සේ (එතුමා) මට කිවුවේ අනුරාධපුර යුගයේ සිට හඳුනන මිතුරා කියා. ශ්‍රී රාහුල හිමිපාණන් හයවැනි පරාක්‍රමබාහු රජුගේ පුත් තනතුරේ වැඩී තියෙනවා. උන්වහන්සේ කඳවුරු කුලයේ කියා කියනවා. ඒ පිළිබඳ ඇති ජනප්‍රවාද කෙසේ වෙතත් ඒ යම් ක්‍ෂත්‍රිය කුලයක් වෙන්න ඇති. රජු අන් අයකු තම පුත් තනතුරේ හදා වඩා ගනීවි කියා හිතන්න බැහැ. රජු පුත් තනතුරෙහි හදා ගත් අනෙක් දෙදෙනා වූයේ සපුමල් කුමරු හා අම්බුළුගල කුමරු නිසා එය තවත් තහවුරු වෙනවා. මා රාහුල හිමියන්ගෙන් ඇහුවේ නැහැ කඳවුරු කුලය කියන්නෙ මොකක් ද කියා. ඒ දිනවල මා ඒ ගැන හිතල තිබුණෙ නැහැ.
පඬි නැට්ටන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මට රාහුල හිමිපාණන් වහන්සේ හමු වුණේ කොහොමද කියා. ඒ හමුවීම සිදු වූයේ උන්වහන්සේ (එතුමා) සමග සම්බන්ධ විය හැකි අයකුගේ නිවසේ දී. ආධ්‍යත්මික ව මනුෂ්‍ය නොවන ප්‍රාණීන් සමග සන්නිවේදනය කළ හැකි අයකුගේ නිවසේ දී. පඬි නැට්ටන්ට නම් එය මිථ්‍යාවක්. මා ඔවුන් තරම් බටහිර විිද්‍යාව නොදන්නා නිසා හා පිස්සකු මෝඩයකු මැන්ටලයක් නිසා මට එය විශ්වාස කරන්න පුළුවන්. මා ගුරුත්වාකර්ෂණ බලයක් ඇති බව නම් විශ්වාස කරන්නේ නැහැ. කෙසේ වෙතත් මා තවමත් බටහිර විද්‍යාව හදාරනවා.
බෞද්ධයන්ට ඉතිහාසය කියන්නේ සසරත් සමග බැඳුණු දෙයක්. සසර වසන තුරු නිවන් දකින තුරු අප සමහරු රටේ ඉතිහාසය හා අනාගතය සමග බැඳී ඉන්නවා. සමහර විට සසර දික් වන්නේත් ඒ නිසා වෙන්න පුළුවන්. ඉතිහාසය කියන්නේ සමාජය පිළිබඳ හැදෑරීමක්. එය අර භෞතික විිද්‍යාව වගේ එකක් නො වෙයි. භෞතික විද්‍යාවේ දී වියුක්තකරණය ඉතා ඉහළ මට්ටමකට කරන්න පුළුවන්. එහෙත් සමාජයීය විද්‍යාවන්හි වියුක්තකරණයකට ඉඩක් නැහැ. අපත් සමාජයේ අවයව. සමාජයීය විද්‍යාවන්හි ඇත්තේ සංයුක්ත බවක්.
හතේ අටේ පංතිවල ඉන්න කොට මට අවශ්‍ය වූයේ ඉතිහාසය (පුරාවිද්‍යාව) හැදෑරීමට. මට එයට කැමැත්තක් තිබුණා. මා හිතන්නේ හැකියාවක් ද තිබුණා කියා. රාජකීය විදුහලේ දී මට කණිෂ්ඨ ඉතිහාසය තෑග්ග ලැබුණා. ඒ නවවැනි පංතියේ දී. එහෙත් දහවැනි පංතියේ දී ව්‍යවහාරික ගණිතය ඉගෙනීමත් සමග අන් සියල්ල යටපත් වුණා. එහි ඇත්තේ ඉහළ ම වියුක්තකරණයක්. මට වියුක්ත චින්තනය එතරම් බැරි වුණත් මා එයට කැමතියි.
මට ඉතිහාසය නැවත වරක් හමු වූයේ මාක්ස්වාදයත් සමග. මාක්ස්වාදය ඉතිහාසය වියුක්ත ව හදාරන්න උත්සාහ කළා. මා කලක් එය හැදෑරුවා. වියුක්තය විසින් එය විද්‍යාවක් කිරීමට උත්සාහ කෙරුණා. එහෙත් එය කරන්න බැහැ. නව සමසමාජ පක්‍ෂයේ සිටිය දී මා එය යම් පමණකින් වටහා ගත්තා. 1980 මුල මාක්ස්වාදය විද්‍යාත්මක ද කියා දීර්ඝ ලිපියක් ලියා මා නව සමසමාජ පක්‍ෂයෙන් අස්වුණා. මා එකල විද්‍යාව පට්ටපල් බොරුවක් කියන එක වටහාගෙන හිටියේ නැහැ.
සංයුක්ත ව හෑදෑරිය යුතු සමාජය වියුක්ත ව හදාරන්න බැහැ. බොරු මහාප්‍රාණ චචන ටිකක් නම් එකතු කර ගන්න පුළුවන්. සමාජයීය විිද්‍යාවන්හි යමක් නිර්වචනය කිරීම පවා අපහසුයි. ඇපල් ගෙඩිය, පොල් ගෙඩිය, කොස් ගෙඩිය, පෙයාර්ස් ගෙඩිය ආදිය වියුක්තකරණයෙන් ගෙඩිය කියන සංකල්පය සංස්කරණය කර ගන්න පුළුවන්. ගෙඩි, ගස්. ගල්, ඉර, හඳ, තාරකා ආදිය වියුක්තකරණයෙන් වස්තුව (object) කියන සංකල්පය සංස්කරණය කරගන්න පුළුවන්. එහෙත් පංතිය නිර්වචනය කරන්න ගියාම අමාරුවේ වැටෙනවා. විජේවීර සහෝදරයා නිර්ධන පංතියක් ගැන කිවුවා. සමාජයීය විද්‍යාවන්හි විසංයෝජනය (deconstruction) කියන අදහසේ ඇත්තේ ඔය සංකල්ප සංස්කරණය කිරීමේ අපහසුවයි. සංයුක්ත අදහස් බොරු. වියුක්ත අදහස් පට්ටපල් බොරු.
ඒ කුමක් වුවත් අපට ඉතිහාසය අවශ්‍යයි. ඊ එච් කාර් හරි ආනොල්ඩ් ටොයින්බී හරි වෙනත් කවුරු හරි ඉතිහාසය කියන්නෙ මොකක් ද කියල කී දේ උපුටා දැක්වීම අපට අවශ්‍ය නැහැ. ඉතිහාසය සංයුක්තයි. ඒ නිසා ම එහි සාපේක්‍ෂතාවත් වැඩියි. මා මෙහි දී කතා කරන්නේ සමාජයේ ඉතිහාසය මිස විශ්වයේ ඉතිහාසය නො වෙයි. විශ්වවේදයේ (cosmology) නම් හදාරන්නේ විශ්වයේ ඉතිහාසය. මා සමාජයේ ඉතිහාසයත් විශ්වයේ ඉතිහාසයත් හදාරනවා. ඒ දෙකේ වෙනසත් මට තේරෙනවා. ඒත් මා දෙයියන්ගෙ පිහිටෙන් ඉතිහාසඥයෙක්වත් විද්‍යාඥයෙක්වත් නො වෙයි.
අප කුලය ගැන කතා කළා. අපේ පරම්පරාවේ ඉතිහාසය ගැන කතා කළා. අප දැන් ද සිල්වා වෙනුවට දේවාදිත්‍ය කියන නම යොදාගන්න බවත් කිවුවා. එහෙත් හැමෝම එහෙම කරන්නෙ නැහැ. අපේ මහප්පාගේ පුතා තම දරුවන්ට ලිඳමුලගේ කියා යොදනවා. අපේ සීයාගේ සහෝදරයකු තරුණ කාලෙ (විසිවැනි සියවසේ මුල) පිළිමතලාවට ගොස් එහි පදිංචි වී තියෙනවා. ඔහුගේ මුණුබුරන් යොදා ගන්නෙත් ලිඳමුලගේ යන්න. ඉන් එක් අයකු පිළිමතලාවේ ලිඳමුලගේ ස්ටෝර්ස් යනුවෙන් පොඩි කඩයක් පවත්වගෙන යනවා. කඩේ යන්න ඕන නම් ඔන්න කඩයක්!
මට නිකමට හිතෙනවා තව අවුරුදු සියයකින් පමණ ලිඳමුලගේ පවුල් හා දේවාදිත්‍ය පවුල් අතර මොන විධියෙ සමබන්ධයක් තියේවි ද කියා. කවුරු හරි ඒ දවස්වල මේ ලිපි කියෙවුවොත් ඒ පවුල්වල ඉතිහාසයක් දැන ගන්න පුළුවන් වේවි. අප මේ ලියන්නෙත් ඉතිහාසයක්. කුලවල ඉතිහාසය පසුවට.
UN