ආරම්භය පමණක් හොඳ වූ පකිස්තානය සහ ආරම්භය නරක වුණත් අවසානය හොඳ කර ගන්නා ඉන්දියාව

0
112

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 29, කොළඹ LNW:

ආසියානු තරගාවලියේ ආරම්භයේ සිටම ඉන්දියාව සෙසු රටවල්වලට වඩා බොහෝ ඉදිරියෙන් සිටින බව පෙන්වීය.එහෙත් අවසාන පූර්ව වටයේදී ඉන්දියාවට අභියෝග කළ හැකි බවට හොඳම සාක්ෂිය සැපයූවේ ශ්‍රී ලංකාවය.ඒ පමා වී පැමිණි ශ්‍රී ලංකාවේ හැකියාව යළිත් සුපිරි පන්දු ඕවරයේදී වෙනස් වූයේ සනත් ජයසූරියම පවසන පරිදි එක පන්දු ඕවරයකට මුහුණ දීම සඳහා ආරම්භක පිතිකරුවන් තේරීමේදී මුල් තැන දකුණත් සහ වමත් පිතිකරණ මුසුවක් කෙරෙහි යොමු කරන්නට යාමෙන්ය.


එහෙත් ශ්‍රී ලංකාවට පමණක් නොව පකිස්තානයටද ඉන්දියාවට අභියෝග කළ හැකි බව පෙන්වමින් අවසාන තරගයේදී ඉන්දියාවේ ආරාධනයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පකිස්තානු ආරම්භක පිතිකරුවන් දෙදෙනා විදුලි ආලෝකයට වැටෙන දහඩියට වැඩිය දහඩිය ගොඩක් ඉන්දියානුවන්ට දමන්නට වැඩ සැළස්සුවේය.10 වන පන්දු ඕවරයේ සිව්වැනි පන්දුව තෙක්ම අඛණ්ඩව බැට දුන් සහීබ්ෂාඩා ෆර්හාන් සහ ෆකර් ෂමාන් දෙදෙනාගෙන් පළමුව දැවී ගියේ ෆර්හාන් ය.ඒ පන්දු 38 දී ලබා ගත් ලකුණු 57 ට මුළු ලකුණු ප්‍රමාණය 84 ක් ව තිබියදී ය.


ෆකර් ෂමාන් පන්දු 35 දි ලකුණු 46 ක් ලබා ගත් අතර අංක 3 පිතිකරු වූ සයීම් ආයුබ් ලකුණු 14 ක් ලැබීය.සෙසු පිතිකරුවෝ සියල්ලගේම නම ඉදිරියේ සටහන් වූයේ තනි ඉලක්කමේ ලකුණු වටිනාකම්ය.ඒ නිසා ෆර්හාන් සහ ෆකර් ෂමාන් ලබා දුන් ආරම්භයේ වටිනාකම ක්‍රමයෙන් ක්ෂය වී ඔවුන් විසින් මවන ලද ලකුණු 175 – 200 අතර වූ ලකුණු පූවරුවේ යථාර්තය ලෙස ඉතිරි වූයේ පන්දු ඕවර් 19 .1 දී සියල්ල දැවී ලබා ගත් ලකුණු 146 ක් ය.


ඉන්දියාවේ අභිශේක් ෂර්මාගේ ගිණිකෙළි සංදර්ශන ගැන වැඩි දෙනෙක් කතා කළ ද,ඔහු තරගාවලියේ වීරයා වුව ද,ඒ හා සමානම වටිනාකමක් මේ තරගයේදී ඉන්දියාවට දුන් පන්දු යවන්නා වූ කුල්දීප් යාදෙව් ෆර්හාන් සහ ෂමාන් අහසේ රඳවා තිබුණ පකිස්තාන් බලාපොරොත්තු පොළවට ඇඳ දමා පාගා දැමූ පන්දු යවන්නා විය.ඔහු ලකුණු 30 කඩුලු 4 ක් ලබා ගනිමින් ඉන්දියාවේ සහ පකිස්තානයේ අවසාන තරගයේ ඉරණම වෙනස් කළ ක්‍රීඩකයා විය.එහෙත් පන්දු යවන්නාට වඩා ආකර්ශණය ඇති කරන්නා පිතිකරුවා යන් විශ්වාසය මත පදනම්ව ඔහුට ඒ ඇගයීම ද නොලැබුණු අතර ආසියානු කුසලාන අවසාන තරගයේ වීරයාගේ කිරුළ තැබුණේ පන්දු 53 දී නොදැවී ලකුණු 69 ක් රැස් කළ තිලක් වර්මා වෙතය.


පකිස්තානු ඉලක්කය හඹා යාමේදී ඉන්දියාව මුහුණ දුන් ලොකුම අභියෝගය වූයේ මේ තරගාවලිය පුරාම ඉන්දියාව වෙනුවෙන් අඛණ්ඩව ලකුණු අතර සිටි අභිෂේක් ෂර්මාට එරෙහිව පකිස්තානය හොඳ අධ්‍යයනයකින් පසුව දැල එලා තිබීමය.ඒ නිසා අවසාන තරගයේ ෂර්මාගේ දායකත්වය ලකුණු 5 ක් පමණක් විය.පකිස්තානයේ ආරම්භය මැද පෙළ සහ පසුපෙළ දිය කර හැරිය ආකාරයේ ප්‍රතිවරුද්ධ කතාව ඉන්දියාව පැත්තෙන් දකින්නට ලැබිණ.ලකුණු 20,කඩුලු 3,පන්දු ඕවර් 4 ක් වූ ඉන්දීය ඉණිම වෙනුවෙන් මැද පෙළ සටනට ශක්තිය සපයමින් තිලක් වර්මා කල්පනාකාරීව ඉන්දීය ඉලක්කය වෙත පිටිය සකස් කරන්නට විය.


සංජු සැම්සන් (24) සමඟ සිව්වන කඩුල්ලට එක් කළ සබඳතාවය 57 කි.ඉනික්බිති ශිවම් ඩුබේ ( 33) සමඟ පස්වන කඩුල්ලට ලකුණු 60 ක සබඳතාවයක් ඇති කළේය.මැනවින් ඉන්දීය ඉණිම විසිවන ඕවරයේ සිව්වන පන්දුවේදී ජයග්‍රහණය කරා කඩුුලු පහක් පමණක් දැවී රැඟෙන යන්නට දායක වෙමින් තිලක් වර්මා නොදැවී කඩුල්ලේ සිට සිය හැකියාව ඉදිරිපත් කරන්නට සමත් විය.
පකිස්තානයේ ආරම්භක පිතිකරුවන් මෙන්ම ආරම්භක පන්දු යවන්නන් ද සිය වගකීම ඉටු කළ ආකාරයට සෙසු පන්දු යවන්නන්ට ඉන්දියාවට එරෙහිව පීඩනය නඩත්තු කර ගන්නට නොහැකි විය.ශහීන් අෆ්රිඩී පන්දු ඕවර් 4 ලකුණු 20 සිමා කර එක් කඩුල්ලක් දවා ගත් අතර ෆාහීම් අෂ්රෆ් පන්දු ඕවර් 4 ලකුණු 29 ට නිමා කරමින් කඩුලු 3 ක් දවා ගන්නට සමත් විය.ඒ කඩුලු 3 ට අභිෂේක් ෂර්මා සහ සුබ්මන් ගිල් ද,අවසාන වශයෙන් ඩුබේ ද ඇතුළත් වූ අතර අවසාන පූර්ව තරගයේදි ප්‍රබලම තර්ජනයක් වූ මොහොම්ඩ් හාරිස් පන්දු ඕවර් 3.4 දී ලකුණු 50 ක් ලබා දීම පකිස්තානයට හිස ඔසවන්නට බැරි තරමේ ප්‍රධාන කාරණය විය.ඔහු විසින් යවන ලද අවසාන ඕවරයේදී ද ලකුණු 9 ක් ඉන්දියාවට ජයග්‍රහණයට අවශ්‍යය වූ අතර හාරිස් විසින් යවන ලද 20 වන පන්දු ඕවරයේ මුල් පන්දු 4 ට ඉන්දීය පිතිකරුවන් දෙදෙන ලකුණු 13 ක් ලබා ගත්තේය.
තරගයේ ලකුණු විස්තරයට පහතින් පිවිසෙන්න. https://bit.ly/48C9Im2