ආඬි හත්දෙනාගේ ” ගොන් පාට් “

0
164

උපාලි කොළඹගේ

කොළඹ LNW:තවත් මාධ්‍යයක් විවේචනය කිරීම මාධ්‍ය වේදියකුට තරම් නුවූවත් කිසියම් මාධ්‍යයක් මාධ්‍ය ආචාර ධර්ම කඩ කරමින් කිසියම් අවරගනයේ ක්‍රියාවක නිරත වෙත් නම් පෙන්නාදීම යුතු කමකැයි සිතමි. මෙහි චූදිතයා ජාතික රූපවාහිනි සේවයයි. ජාතික රූපවාහිනිය ආරම්භක යුගයේ පටන් ප්‍රේක්ෂක රසවින්දය සඳහා විවිධ මට්ටමේ වැඩසටහන් ඉදිරිපත් කළ ආයතනයකි. අනිකුත් නාලිකාවන්ට සාපේක්ෂව ජාතික රූපවාහිනිය මගින් විකාශනය කෙරුණු හා කෙරෙන වැඩසටහන් ගුණාත්මක බවින් ඉහළ බවට වාදයක් නැත.

එ⁣හෙත් ඒ චරිත සහතිකය ප්‍රවෘත්ති අංශයට කවදත් අදාළ නැත. බලයේ සිටින ආණ්ඩුවට කඩේ යෑම එදත් සිදුවිය . අදත් සිදුවෙයි. හෙටත් එසේ නොවන බවට ඉඟියක් වත් නැත. ඒ ඒ ආණ්ඩුවලට හිතවත් මාධ්‍ය ඔස්තාර්ලා බරසාර සාකච්ඡා වලදී විවිධ යෝජනා ⁣ගෙන හැර පෑවද ඒවා ප්‍රායෝගික තලයට ගෙන ඒමේ සේයාවකුදු දක්නට නැත.

කෙසේ වෙතුදු ජාතික රූපවාහිනි ප්‍රවෘත්ති අංශය දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන ගොන්පාට් එකක් පිළිබඳවය මට කරුණු සඳහන් කිරීමට අවශ්‍යව ඇත්තේ. එය මහා ලොකු දෙයකැයි කෙනකුට සිතෙන්නට පිළිවන. නමුත් මගේ මාධ්‍ය සිතට නම් පොඩ්ඩක් රිදෙන බව සඳහන් කළ යුතුය .

මෑතක සිට ජාතික රූපවාහිනි ප්‍රවෘති ප්‍රචාරය ඇතුළත හා ආසන්නේ තමන්ගේ ප්‍රවෘත්ති පිළිබඳව අගයන දැන්වීම් කිහිපයක් ප්‍රචාරය වෙයි. එහි අරමුණ තමන්ගේ ප්‍රවෘත්ති ඉතාමත් විශ්වාස දායක බව රටට කියා පෑම විය හැක. ඊට ආඬි හත්දෙනා පිළිබඳව තැනූ දැන්වීමක් හා තවත් දැන්වීම් කිහිපයක් උපයෝගී කරගෙන ඇත. මාධ්‍ය ප්‍රධානියකුයැයි සිතිය හැකි පුද්ගලයකු තම ගෝල බාලයන්ට මරණ 2ක 4 කරන ලෙස උපදෙස් දෙන දැන්වීමක්ද මේ අතර ඇත.

මේ සියල්ලෙන්ම ඔවුන් කියා සිටිනුයේ සියලුම මාධ්‍ය අතරින් සත්‍ය ප්‍රකාශ කරන එකම නාලිකාව තමන්ගේ නාලිකාව බවයි. එසේ කීමෙන් මෝඩ චූන් එකක් ලැබේ නම් එය වින්දනය කිරීම ඔවුන්ගේ මනාපය වියහැක. නමුත් මට මෙහි නුරුස්නාම කරුණ නම් මේ මඟින් අනිකුත් සියලුම මාධ්‍ය වෙත සිහින් පහරක් ගැසීමය. සමහර ප්‍රවෘත්ති සේවා අත් වැරදීමෙන් මෙන්ම ආධුනිකයන් සේවයේ යෙදවීමෙන් මෙවැනි වැරදි සිදුකරනවා වියහැක.

නමුත් හිතාමතා ප්‍රවෘත්ති විකෘති කෙරේ නම් ඒ ඉතා අල්ප වශයෙනි. හැටේ දශකයේ අවසාන හරියේ ලංකාදීපයෙන් මාධ්‍යයට එක් වූ මටද මේ පිළිබඳව අත්දැකීම් රාශියක් ඇත. කිසිදු අවස්ථාවක එවකට ලංකාදීපයේ ප්‍රවෘති කර්තෘව සිටි ටී. බී.පෙරමුණේ තිලක මහතා සැක කටයුුතු පුවතක් ප ළකිරීමට ඉඩදුන්නේ නැත.