ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වුණු ලලිත් කුමාර් වීරරාජු සහ කූගන් මුරුගානන්දන් අතුරුදන් කරවීමේ සිද්ධියට අදාළ නඩුවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (29) පළමුවරට සාක්ෂි දුන්නා.
ලලිත් – කූගන් දෙන්නා අතුරුදන් කෙරුණේ යාපනේදී. ඒ නිසා මේ නඩුව විභාග වෙන්නේ යාපනේ මහේස්ත්‍රාත් අධිකරණයේදී. නමුත් ගෝඨාභය නඩුවට සාක්ෂි දුන්නේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ඉඳන් වීඩියෝ තාක්ෂණයෙන්. ඔහු යාපනේට යන්න බයයි, තමන්ගෙ ජීවිතයට තර්ජනයක් එයි කියලා කොළඹ ඉඳන් සාක්ෂි දෙන්න අවස්ථාව ඉල්ලාගෙන තිබුණා. ඒකත් වසර ගණනක් තිස්සේ හැකි හැම සෙල්ලමක්ම දමමින් උසාවි නෑවිත් මගහැරියාට පස්සේ.
ඔය අතුරුදන් කරවීමේ සිද්ධිය වෙන්නේ 2011 දෙසැම්බර් 09 වෙනිදා. ඔවුන් දෙන්නා දෙසැම්බර් 10 වෙනිදාට යෙදී තිබුණු ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් පැවැත්වීමට නියමිතව තිබුණු මාධ්‍ය සාකච්ඡාවක් සංවිධානය කිරීම සඳහා යාපනය, අවරන්ගල්හි කුගන්ගේ නිවසේ සිට පිටව ගිය ඔවුන් දෙදෙනා එයින් පසු කාටවත් හමුවුණේ නෑ. ඔය කාලේ ගෝඨාභය රාජපක්ෂ තමයි ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්. නිකම්ම නිකම් අමාත්‍යාංශ ලේකම් කෙනෙක් නෙවෙයි තමන්ගෙ වැඩිමල් සහෝදරයාගේ විධායක ජනාධිපති බලයෙනුත් පිම්බුණු සර්ව බලධාරී ‘ආරක්ෂක ලේකම්’ කෙනෙක් හැටියට තමයි ඒ කාලේ එයා හිටියේ.
දැන් අධිකරණය හමුවට එන්න සිද්ධ වෙනකොට එයාට ඔය කියන සර්ව බලධාරී සීන් මොකුත් නෑ. දැන් එයා බලයෙන් පහ කෙරුණු හිටපු ජනාධිපතිවරයෙක්. ජනතාව එකතුවෙලා මහපාරේ අරගල කරලා පන්නපු ලංකාවේ එකම විධායක ජනාධිපතිවරයා. 2011 තිබ්බ ගැම්මත් දැන් නෑ. දැන් එයා ශාරීරිකවත් මානසිකවත් පිරිහුණු සෑහෙන්න මහළු මනුස්සයෙක්.
ඔය ගෝඨාභය ඊයේ උසාවියට ආවාම වින්දිතයින්ගේ නීතීඥයින් අහපු ප්‍රශ්නවලට දුන්නු උත්තර මේ වෙද්දී සමාජ මාධ්‍ය තුළ සෑහෙන්න හාස්‍යයට ලක්වෙලා තියෙනවා. එයා බොහෝවිට දුන්නේ ඇහුන් නෑ, මතක නෑ, මම දන්නෙ නෑ වගේ උත්තර. තමන් භූමියේ මෙහෙයුම්වලට අණ දුන්නේ නැති බවත් තමන් කළේ සම්බන්ධීකරණ වැඩ විතරක් බවත් භූමියේ මෙහෙයුම්වලට අණ දෙන්න බලයක්වත් තමන්ට නොතිබුණු බවත් ඔහු කියලා තිබුණා.
ඔන්න ඉතින් විරුවා …
යුද්ධ ජයග්‍රහණය තමන්ගේ නමට ලියාගෙන, ඒකට “ගෝඨාගේ යුද්ධය” කියලා පොතකුත් ලියවාගෙන, රට රකින අපේ විරුවා කියලා සිංදුත් ලියවාගෙන රටේ හිටපු මෝඩ සහ තක්කඩි මිනිස්සු හැටනව ලක්ෂයක් අන්දලා රටේ ජනාධිපතිකමත් ගත්තු විරුවා අන්තිමට කියන්නේ ඒ යුද්ධෙදී එයා කළේ කෝඩිනේටින් වැඩක් විතරයි, ඔය කියන මෙහෙයුම් මොකුත් එයා දන්නෙත් නෑ, එයාට ඒවා කරන්නත් බෑ කියලායි.
හොඳම වැඩේ ඒකත් නෙවෙයි, එදා අපි කොතෙකුත් එපා කියද්දී මේ හාදයා මාරම විරුවෙක් තමයි කියලා අපිත් කුණුහරුපෙන් බැන බැන, වැඩ කරන විරුවා සිංදුව පාටිවල පවා දාගෙන, පාරවල් අයිනේ තාප්පවල චිත්‍ර ඇඳගෙන, මේ පුස් හාදයාව ජනාධිපති කරවපු සෙට් එකේ බහුතරයක්ම තමයි දැන් පොරගේ ඇහුන් නෑ, මතක නෑ, දන්නෑ සීන් එකට හිනාවෙන්නේ.
ගෝඨාභය කියන්නේ බලය තියෙන වෙලාවට ඒ බලයෙන් ඉදිමිලා දඟළන, අනිත් වෙලාවට පට්ට බය, බලය පාවිච්චි කරලා යමක් කරන්න හැර වෙනත් නිර්මාණශීලී කිසිම හැකියාවකුත් නැති මනුස්සයෙක් වුණේ අද ඊයෙක නෙවෙයිනේ. ඔය මනුස්සයා දන්න කාලෙක ඉඳලා ඔහොම තමයි. එයා ජනාධිපතිවරණයට එන්න හොරගල් අහුලපු 2016 කාලේ ඉඳන්ම අපි ඕක කිව්වා. කට කැඩෙනකල් කිව්වා. නමුත් දැන් මැරිලා ඉපදිලා මාලිමාවුන් වෙලා ඉන්න ගෝඨාභයගේ ජාතියේම ගොබ්බ නයිදෙලා එදා ඕක ඇහුවේ නෑ. මේ යකා රට විනාස කරලායි වැඩේ ඉවර කරන්නේ කියලා අපි කොච්චර කිව්වත් උන්දැලා පිළිගත්තේ නෑ. ගෝඨා රට විනාස කරලා ඉවරම කළාට පස්සේ තමයි උන්දැලාට එකපාරටම ඥානය පහළවුණේ. ඒත් අදටත් රට බංකොලොත් වීමට තමන් දීපු දායකත්වය උන්දැලා පිළිගන්නේ නෑ. මෙච්චර සරල දෙයක් මෙච්චර පෙන්නලා දෙද්දී ඒක අහන්නේ නැතිව විරුවෙක් කර තියාගෙන ගිහින් රට බංකොලොත් කළේ උන්දැලා නෙවෙයි අපි වගේ තමයි දැන් උන්දැලා හැසිරෙන්නේ. උන්දැලා අදටත් කියන්නේ ඒක කළේ රට වෙනුවෙන් අවංක චේතනාවෙන් කියලායි. ඔතන ඉන්න බහුතරය අවංක මෝඩයින් නෙවෙයි, අමු තක්කඩි. ඔය උන්දැලා තව අවුරුදු පහකින් හැසිරෙන්නෙත් ඔය විදියටම වෙන්න තියෙන ඉඩ 99%ක් කියන්න පුළුවන්.
අපට ඇත්තටම ගෝඨාභයගෙන් වැඩක් නෑ. අද විතරක් නෙවෙයි එදාත් එයාගෙන් අපට වැඩක් තිබ්බෙ නෑ. එයා වවපුවා එයාම නෙළාගන්න ඕනෑ. එයා කරපුවාට එයා පරිප්පුව කන්න ඕනෑ කියන එක තමයි අපේ මතය. නමුත් ඉතින් බල දේශපාලනයේ දැති රෝද කැරකෙන හැටි ගැන යමක් දන්නා නිසා ඒකවත් වෙයිද කියන එක ගැනත් අපට නම් තියෙන්නේ සැකයක්.
මෙතනදී අපට වැඩකට ඇති දේකට තියෙන්නේ, මේ ජාතියේ බයගුල්ලෙකු වුණු ගෝඨාභයත් කාලයක් තිස්සේ මහා භයානක දරුණු පොරක් විදියට හැසිරුණේ එයාවත් රාජ කුමාරයෙක්, යුවරජ කෙනෙක් කෙනෙක් කරගෙන වැඳපු පුදපු එක්තරා ජන කොට්ඨාසය මේ රටේ හිටපු නිසාය කියන කාරණය විතරයි. ගෝටාභයගේ අතේ තැවරිලා තියෙන ලේවලින් කොටසක් ඔය කියපු ජන කොට්ඨාසයගේ අතේත් තැවරිලා තියෙනවා අද උන්දැලා මැරිලා ඉපදිලා වගේ හිටියාට.
රජ පවුල වෙනුවට පප්පා ගම
ඊළඟ කාරණය වැදගත් වෙන්නේ මේ මාලිමා ආණ්ඩුවේ කට්ටියට. ඔයගොල්ලො අතරෙත් සමහරු දැන් දැන් වෙන්ඩ රාජපක්ෂලා වගේ හැසිරෙන බවක් පෙන්නුම් කෙරෙමින් තියෙනවා. ඒ, අර අපි කියපු ජන කොට්ඨාසය දැන් ඔයාලාට වඳින්න පුදන්න පටන් අරන් තියෙන නිසා. ඕකට අහුවෙන්න එපා. ඔය බලය ගිලිහිලා කෙළවෙලා ගිය දාට ඔයාලාටත් වෙන්නේ දැන් ගෝඨාභය ඇවිත් කියනවා වගේ ඇහුන් නෑ, මතක නෑ, දන්නෑ කියාන විරවාපට්ටම් ගහගෙන ඉන්නයි. ඒ නිසා ඕකට අහුවෙන්න එපා. බලය සදාකාලික නෑ කියන පාඩම රාජපක්ෂලාගෙන් ඉගෙන ගන්න.
මේ ආණ්ඩුවේ කතාව වෙනස් කියලා දැන් සමහරු කියාගෙන ඒවි. ඇත්ත. මේක වෙනස් තමයි. මේකෙ විරුවො නෑ. මේකෙ ඉන්නෙ පප්පලා. එදා රජ පවුලක් එක්ක හදාගත්තු සිහින මාලිගාව ඔළුවට කඩන් වැටුණාට පස්සේ අර කියපු ජන කොට්ඨාසය මේ වෙනකොට මවාගෙන ඉන්න සිහිනය පප්පා ගමක්. ඒකෙ පප්පලා ගාව මහා බලගතු මැජික් අරිෂ්ඨයක් තියෙනවා. ඒකෙන් ටිකක් බීපුවාම ඒ පප්පලාට ඕනෙම විශ්මකර්ම වැඩක් කරන්න පුළුවන්. තවත් විස්තර කළොත් ටිල්වින් සිල්වා තමයි වෙද පප්පා. එයා ළඟ මගා බලගතු සමාජවාදී මැජික් අරිෂ්ඨය තියනවා. එයා ඒක පප්පලාට බෙදලා දුන්නාම ඒ පප්පලාට මාරම විදිහේ සංවර්ධන වැඩ කරන්න පුළුවන් කියලා තමයි අරගොල්ලෝ දැන් හිතාගෙන ඉන්නේ.
ඕකෙදී සූර පප්පා, ජිම් පප්පා භූමිකාව විටින් විට වෙනස් වෙන්න නියමිතයි. දැනට ඒ දෙකට නග්ගලා ඉන්නෙ බිමල් රත්නායකයි ප්‍රසන්න ගුණසේනයි දෙන්නාව. ඒ දෙන්නාට බොහෝම කරුණාවෙන් කියන්න තියෙන්නේ ගෝඨාභය දිහා බලලා ඉගෙන ගන්න කියලායි. තමන්ගෙ හීන මාලිගාව බිඳුණ දවසට අර ජන කොට්ඨාසය ඕගොල්ලන්ට සලකන්නෙත් අද ගෝටාභයට සලකන විදියටම තමයි. එදාටත් අද වගේම ඒගොල්ලන්ට තමන්ගෙ ඉතිහාසය අමතක වෙලා තියේවි, ෂුවර් !
~ රජිත විරාජ්


