2024 ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරියගේ පණිවිඩය!

Date:

අදට (01) යෙදී ඇති ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය විසින් නිකුත් කර ඇති පණිවිඩය පහතින් දැක්වේ.


අග්‍රාමාත්‍යවරිය සහ ශ්‍රී ලංකාවේ කාන්තා, ළමා හා යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරිය ලෙස මගේ පළමු පණිවිඩය ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය වෙනුවෙන් ඉදිරිපත් කිරීමට ලැබීම මා හට සුවිශේෂී අවස්ථාවකි. අපේ අනාගතය සහ උරුමය සැලකීමේදී ළමයින් සහ වැඩිහිටියන් විශේෂ භූමිකාවන් සිදු කරන බව අපට සිහිපත් කරවයි.


”‍අපේ අනාගතය සඳහා කරන ආයෝජනයන් යනු අපේ දරුවන් වෙනුවෙන් ආයෝජනය කිරීමයි”‍ යන මෙවර ජාත්‍යන්තර ළමා දින තේමාව, පාඨයකට සීමා නොකර යථාර්තයක් කිරීම අප රජයේ අරමුණයි. රටේ සෑම දරුවකුට ම උසස් තත්ත්වයෙන් යුතු නිදහස් අධ්‍යාපනයක් ලබා දීමට අපි කැප වී සිටිමු. ආර්ථික වශයෙන් ශක්තිමත් දේශයක දරුවන් දැනුමෙන් සන්නද්ධ කිරීම අපගේ දැක්මයි.
එමෙන්ම, අධ්‍යාපන ආයතන ද ඇතුළුව සියලු‍ ස්ථානවල ළමයින්ට මුහුණ දීමට සිදු වන කායික හා මානසික හිංසනයන්ට රජයක් ලෙස අපි තරයේ විරුද්ධ වෙමු. ආදරය, කරුණාව, රැකවරණය සහ සතුට පිරුණු පරිසරයක හැදී වැඩෙන දරුවන් දයානුකම්පාව, අවබෝධය සහ අන්‍යෝන්‍ය ගෞරවය සහිත පරම්පරාවක් නිර්මාණය කරයි. සෑමවිටම දරුවන්ගේ උපරිම යහපත වෙනුවෙන් අපගේ ප්‍රමුඛතාවය ලබා දෙන්නෙමු.
අපි වැඩිහිටි දිනය සමරන මොහොතේ, අපේ රටේ ප්‍රගතියට මෙතරම් දායක වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අපි ගෞරවයෙන් සිහිපත් කරන්නෙමු. 2024 ලෝක වැඩිහිටි දින තේමාව වන “ගෞරවාන්විතව වයස්ගත වීම: ලොව පුරා වැඩිහිටි පුද්ගලයින් සඳහා සත්කාර සහ ආධාරක පද්ධති ශක්තිමත් කිරීමේ වැදගත්කම”, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සමාජ ආරක්ෂණය වැඩි දියුණු කිරීම සඳහා වන අප රජයේ ඇති කැපවීම සමඟ සමපාත වෙයි. වැඩිහිටියන් සඳහා, විශේෂයෙන් ශ්‍රම බලකායට දායක වෙමින් තම ජීවිත ගත කළ අය වෙනුවෙන් විශ්‍රාම ප්‍රතිලාභ වැඩිදියුණු කිරීමටත් සෞඛ්‍ය සේවා සඳහා නොමිලේ සහ සමාන ප්‍රවේශයක් සහතික කිරීමටත් අපගේ රජය කැපවී සිටියි. මේ වන විට නිවෙස් තුළ වැටුප් නොලබන සුරැකුම් කටයුතු සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ද වැඩි වැඩියෙන් දායක වීමට සිදු වී ඇතැයි යන කරුණ පිළිබඳව අපි ඉමහත් ලෙස සංවේදී වෙමු. සුරැකුම් කටයුතුවල වගකීම සාධාරණ ලෙස බෙදා ගැනීම සඳහා පවුල්වලට ප්‍රමාණවත් සහයෝගයක් ලැබෙන බවට සහතික කිරීම අප රජයේ වගකීමයි.
අපගේ දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ යහපැවැත්ම සඳහා වැඩ කිරීමට අපි අත්වැල් බැඳ ගනිමු.

සියලු‍ ශ්‍රී ලාංකිකයන් සඳහා පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් ගොඩනැගීමට අපි දිවිහිමියෙන් කැප වී සිටිමු!

හරිනි අමරසුරිය
අග්‍රාමාත්‍ය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදයේ හයිවුන්ඩායි කම්හලේ වැටලීමකදී සේවකයන් 475 දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදයේ...

වෙනත් විකල්පයක් නෑ, මේ මොහොතේ ස්ථිරවම මගේ පූර්ණ සහාය ජනපති අනුරටයි – ඩඩ්ලි සිරිසේන

මෙතෙක් රට පාලනය කළ දේශපාලනඥයින් රටට කළ විනාශය සම්බන්ධයෙන්...

කප්රුක සමාගමේ මෙහෙයුම් කාර්යසාධන වර්ධනය 2024ට සාපේක්ෂව 94% ක්!

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 06, කොළඹ LNW: 2025 ජුනි 30 අවසන්...

ජල කප්පාදුවක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW: අද (06) දින කොළඹ...