Tuesday, November 29, 2022
spot_img

Latest Posts

පාර්ලිමේන්තුව උගතුන්ගෙන් පිරවීමේ යෝජනාවම මෝඩ එකකි

රට තුළ පවත්නා අනේක විධ අර්බුද සමනය කිරීම පිණිස වර්තමාන පාර්ලිමේන්තුවේ හිඳින නූගතුන් ඉවත් කොට එහි ඇති සියළු මන්ත්‍රී පුරප්පාඩු උගත්,බුද්ධිමත්,වියත්, නැණවත් පුද්ගලයන්ගෙන් සපිරිය යුතු බවට පසුගිය කාලයේ ප්‍රසිද්ධ ජන මතයක් ඇති වී තිබිණ.තත්වය එසේ වුව ද පසුගිය කාලය තුළ දේශපාලනය ඇතුළු අප සමාජයේ විවිධ ක්ෂේත්‍රයන් හි කැපී පෙනුණු උගත් සහ බුද්ධිමත් යැයි සම්මත ඇතැමුන් ගේ ප්‍රකාශ සහ ක්‍රියා කලාපයන් සම්බන්ධයෙන් විමසිලිමත් වූ බොහෝ දෙනකුට තමන් පෙර දැක්වූ අදහස පිළිබඳව යළි යළිත් සිතා බලන්නට සිදු විය. ඒ උගත්කම සහ බුද්ධිමත් බව ඒකීය ගමන් මඟක සේම එකිනෙකට ඉඳුරාම මං පෙත්වල ගමන් කරනු ඔවුන් ගේ ප්‍රකාශ සහ ක්‍රියාත්මක භාවයන් ගෙන් මනාව තහවුරු වූ බැවිනි.

ඒ අනුව උගත් බුද්ධිමතුන් සේම උගත් මෝඩයන් ද අප සමාජයේ කොතෙකුත් සිටිය හැකි බවට පොදු පිළිගැනීමක් මේ වන විට සමාජයේ ස්ථාපිත වී තිබේ. මෑත කාලීන ගැමි සමාජයේ යම් පුද්ගලයකුගේ මෝඩ, අඥාන බව හුවා දැක්වීම පිණිස ඔහුගේ උගත්කම නිර්නායකයක් කර ගත් බව රහසක් නොවේ. මළ පොතේ අකුරක් වත් නොදන්නා මෝඩයෙක් යන්න අතීත සමාජය නූගතුන් හැඳින්වීම පිණිස යොදනු ලැබූ පොදු වහරක් විය. ඊට පදනම් වූයේ යමකුගේ බුද්ධිය හුදෙක් සාක්ෂරතා මතම පදනම් විය යුතුය යන අඩමාන අදහසකි.නමුදු ශ්‍රී ලාංකේය ජන සමාජය වෙතට නිදහස් අධ්‍යාපනයේ අරුණළු පතිත වීමක් ලෙස පන්ති භේදයකින් තොරව රටේ සැමට අධ්‍යාපන වරප්‍රසාදය හිමි වීමත් සමඟ මෙම මළ පොතේ අකුරු කතාව අට පාස් යනුවෙන් යාවත් කාලීන වී තිබේ.

එහෙත්, මළපොතේ අකුරක් නොදත් හෙවත් සාක්ෂරතාව අහිමි හා අට පාස් අනුවෙන් හැඳින්වෙන ද්වීයිතික අධ්‍යාපන මට්ටම නොඉක්ම වූ සමහරකු ඇතැම් කටයුතු වලදී බොහෝ සම්මත උගතුන්ට වඩා ව්‍යක්ත, විශාරදත්වයක් පළ කරන අවස්ථා අපි ද නොයෙක් වර අත්දැක ඇත්තෙමු. නමුදු නූතන වර්ගීකරණයට අනුව බුද්ධිය හෙවත් උගත්කම (Intelligence) යන්න හුදෙක් සාක්ෂරතාව හෝ විෂයානුබද්ධ අධ්‍යාපනය මත පදනම් වූවක් නොවේ. සාක්ෂරතාව හෝ යම් අධ්‍යාපන මට්ටමක් ඇතිව හෝ නොමැතිව යමකු තුළ මතු දැක්වෙන තත්වයන් ඉස්මතු වේ නම් සාක්ෂරතාව හෝ යම් අධ්‍යාපන මට්ටම නොතකා ඒ තැනැත්තා උගතකු, බුද්ධිමතකු වශයෙන් නවීන ලෝකය හමුවේ පිළිගැනෙයි.

අද වන විට ලෝකයේ යමකුගේ සාක්ෂරතා,හෝ අධ්‍යාපන මට්ටම නොතකා බුද්ධිඵලය (Intelligence quotient) මනින නවීන නිර්ණායක හඳුනාගෙන ඇති අතර මළ පොතේ අකුරක් නොදන්නා හෝ අට පාස් කතා පසෙක ලා ඒ තැනැත්තා ගේ බුද්ධි මට්ටම අනුව බුද්ධිමය සමාජමය වශයෙන් ඔහුගේ බුද්ධිමය ඵලදාව නෙළා ගැනීමේ නවීනතම ක්‍රමවේදයන් සකසා දී තිබේ. කොටින්ම ඇමරිකාව වැනි රටවල යම් යම් පුද්ගලයන් ගේ අධ්‍යාපන මට්ටම පිළිබඳ තැකීමක් නොකොට එවන් සුවිශේෂ බුද්ධි ප්‍රභාවක් සහිත පුද්ගලයන්ට විශ්ව විද්‍යාල වල සම්මාන මහාචාර්ය පදවි පවා පිරිනමා තිබේ.

බුද්ධිය හෝ උගත්කම (Intelligence) යන්න නිර්වචනය කිරීමේ දී සාක්ෂරතා හෝ අධ්‍යාපන පදනමින් තොරව සළකා බැලෙන විශේෂ අංග කිහිපයක් තිබේ. ඒ අනුව යමකුගේ බුද්ධි ඵලය විමසා බැලෙන මූලික නිර්ණායකය වනුයේ වියුක්තීකරණය (Abstraction) යි. යමක් තමන් ගේ චින්තනය තුළ පිවිසුවා ගැනීමට ඇති හැකියාව මෙමගින් විස්තර කෙරේ. මිනිසා ගේ බුද්ධිමය හැකියාව සළකා බැලෙන ඊළඟ නිර්නායකය වනුයේ න්‍යායාත්මක තර්කනයයි (Logic) කිසියම් දෙයක් තමන් ගේ දැනුම් පද්ධතියට අවශෝෂණය කරගැනීමට ඇති හැකියාව හෙවත් අවබෝධ ඥානය (Understanding) යමකු ගේ බුද්ධිය පිළිබඳව විමසා බැලෙන ඊළඟ නිර්නායකය වේ. ඒ අනුව ඒ අවබෝධය තමන්ටම ආවේණික ලෙසින් හසුරුවා ගැනීමට ඇති හැකියාව හෙවත් ස්වයං සම්ප්‍රජානනය (Self awareness) මිනිසා ගේ බුද්ධිය පිළිබඳව විමසා බැලෙන ඊළඟ නිර්නායකය ලෙස සැළකේ.

එමෙන්ම කිනම් ක්‍ෂේත්‍රයක් සම්බන්ධයෙන් හෝ ලබා ගත් පුහුණුව හෝ පරිචය (Learning) ද මිනිසා ගේ බුද්ධි ඵලය තීරණය කරන සාධකයකි. එමෙන්ම මිනිසුන් වශයෙන් අනොන්‍ය සහජීවනය සඳහා අවශ්‍ය චිත්තාවේගී බුද්ධිය (Emotional knowledge) ද යමකුගේ බුද්ධිමය ප්‍රභාව තීරණය කෙරෙන වැදගත් සාධකයකි. එමෙන්ම යමකු තුළ පිහිටන තර්කන හැකියාව (reasoning) සැළසුම්කරණය, (Planing) නිර්මාණශීලීත්වය (Creativity) විචාරාත්මක චින්තනය (Critical thinking) සහ ගැටළු නිරාකරණ හැකියාව (Problem solving) ආදී කුශලතාවයන් ද යමකුගේ බුද්ධිය මනින නවතම නිර්නායක සේ සළකනු ලැබේ.ඉහත සඳහන් ප්‍රතිභාවන් සහිත පුද්ගලයන්ට අධ්‍යාපනයෙන් ද විශිෂ්ඨ ප්‍රතිඵල නෙලා ගත හැකි බව ඇත්තකි. නමුත් මෙහි විස්මයට කරුණක් ද තිබේ.එනම් ප්‍රායෝගික වශයෙන් සළකන කල ඉහත සඳහන් ප්‍රමිතීන් සම්මත උගතුන් තුළ සේම නූගත් මෝඩයන් යැයි සැළකෙන පුද්ගලයන් අතරේ ද අඩු වැඩි වශයෙන් දක්නට තිබීම ය.උගතුන්, බුද්ධිමතුන් ලෙස හෝ නූගතුන් මෝඩයන් ලෙස වර්ග කොට දැක්වීම තවමත් බොහෝ දෙනකුන් තුළත් සිදුවන සමාජමය වරදක් බවට පත්ව ඇත්තේ මෙම යථාර්ථය නොවැටහීම නිසා ය.

සම්මත උගත්කම සඳහා පදනම් වන දැනුම යනු මිනිසුන්ට පමණක් සීමා වූවක් නොවේ. ඇතැම් තිරිසන් සතුන් තුළ ද විවිධාකාර දැනුම් ස්ථාපිත වී ඇත. ඒ සහජතාව (Instinct) මත පදනම් වන ඉන්ද්‍රීය සංවේදීතාව (Sensory perception) මගිනි. දැනුම යන විෂය යටතේ ඒ බව ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂය ද තහවුරු කොට තිබේ. නමුත් එකම මනෝ මූලයකින් උත්පාදනය වන දැනුම තිරිසන් සතුන් සම්බන්ධයෙන් නිශ්චිත,නොසොල්මන් ස්වරූපයකින් තිබියදී මානවයා ගේ දැනුම අදියර කිහිපයක් වශයෙන් වර්ධනය වීමක් පෙන්නුම් කෙරේ. එහෙත්, ඒ දැනුම සහ සාක්ෂරතාව හෝ අධ්‍යාපනය අතර සෘජු සබැදියාවක් ඇති බවක් නොහැඟේ. ඉන් පැහැදිලි වනුයේ අපගේ ජන වහරට අනුව ගත හොත් මළ පොතේ අකුරක් නොදත් හෝ අට පාස් අයකු තුළ පවා දැනුමක් ස්ථාපිත වී එය ප්‍රවර්ධනය වීමේ මනා හැකියාවක් පවතින බව ය. විවිධ කරුණු සම්බන්ධයෙන් මූලික දැනුවත් වීම හෙවත් සම්ප්‍රජානය (Awareness) දැනුමේ ප්‍රාථමික අවස්ථාව වන මුත් එය දැනුම ලෙස විස්තර නොවේ.

දැනුම තමන් උකහා ගන්නා කරුණු හා තමන් සතු පූර්ව අත්දැකීම් හා අනුභූතීන් ඇසුරින් සංවිධිත ලෙස ගොඩනඟා ගත යුත්තකි. අපි කෙටි නිදසුනක් ගනිමු. කිසියම් වෙළඳ සමාගමක නියෝජිත වරයකු පැමිණ විදුලියෙන් ක්‍රියා කරන මෝටර් රථ පිළිබඳ අලෙවි ප්‍රවර්ධනාත්මක වැඩ සටහනක් පවත්වයි. ඔහු එමගින් පවසනුයේ ඉන්ධන භාවිතයෙන් ධාවනය වන මෝටර් රථ වලට වඩා විදුලි බලයෙන් ක්‍රියාකරන මෝටර් රථ භාවිතයේ ඇති වාසිදායක තත්වයන් පිළිබඳව ය. එහෙත්, එම වැඩසටහනට සහභාගී වන ඉන්ධන බලයෙන් ක්‍රියා කරන මෝටර් රථ පිළිබඳ කිසිදු දැනීමක් නොමැත්තකු ඉන් ඒ සම්බන්ධ නිසි දැනුමක් ජනනය නොවේ. ඊට හේතුව එම මෝටර් රථ දෙවර්ගය ගැලපීමේ හැකියාව ඔහු තුළ නොමැති බැවිනි. ඒ අනුව ඔහු තුළ ඒ සම්බන්ධයෙන් ඇති වනුයේ සම්ප්‍රජානයක් (Awareness) පමණි. ඒ අනුව දැනුම යන්න වඩාත් නිවැරදි ලෙස විස්තර කළ හොත් වර්තමානයේ ලබන මූලික දැනුවත් වීම හෙවත් සම්ප්‍රජානය මතකයේ ගැබ්ව ඇති කරුණු හා තුලනාත්මක ලෙසින් ගැලපීමෙන් ඇති කර ගත හැකි තත්වයක් බව ඒකාන්ත වශයෙන්ම කිව යුතු ය.

අප මෙහි මුලින් සඳහන් කළ උගතකු වීම සම්බන්ධ කේන්ද්‍රීය සාධකය දැනුමයි. ඕනෑම විෂයක් සම්බන්ධයෙන් මෙම දැනුම උපදවා ගෙන වර්ධනය කර ගත හැකි අතර බුද්ධිමත් භාවය හා ඒ අතර සෘජු සබැඳියාවක් නැත. එමෙන්ම මෙහි ඉහත දැක්වූ බුද්ධිය මත පදනම් වූ උගත් කමකින් තොරව වුවද මෙම දැනුම පදනම් කර ගත් අයකුට ජන සම්මත උගතකු,වෘත්තීය වේදියකු වීමට පුළුවන. එබඳු උගතුන් තුළ හුදෙක් දැනුම මිස බුද්ධිය පිහිටා නොමැති නිසා ඔවුන් උගත් බුද්ධිමත් යන සීමාවෙන් ඔබ්බෙහි පිහිටි උගත් මෝඩ යන සීමාවේ රැඳෙනු දක්නට පුළුවන.මෙහි දී ඒ සම්බන්ධ නිදසුන් කිහිපයක් මෑත කාලීන සමාජමය සංසිද්ධීන් ඇසුරින් ඔබේ මතකයට නැංවෙනු ඇත.

මෙලෙස ඉහත සඳහන් බුද්ධිය මත පදනම් වන උගත්කම ලැබීමට සාක්ෂරතාව මත පදනම් වන උගත්කමක් අවශ්‍ය නොවන අතර එවන් පුද්ගලයන් තුළ ඇති ප්‍රඥාව (Wisdom) තුළින් වුව ඒ තත්වයට පත්විය හැක.කොග්ගල මහා ප්‍රාඥයා යන විරුදාවලී ලත් හෙළයේ මහ ගත්කරු සම්මත අධ්‍යාපනයෙන් ඉහළ ස්ථාවරයට ගිය අයෙක් නොවේ. එහෙත්, ඔහු බොහෝ සම්මත උගතුන්ට වඩා විශිෂ්ට ප්‍රඥා සම්පත්තියක හිමිකරුවෙක් විය. සම්මත අධ්‍යාපනයෙන් ඉහළම ස්ථාවරත්වයකට පත් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් තමට පෙරදිග දර්ශනය ඉගෙනීමෙහිලා සුවිසල්ම පිටිවහල මාර්ටින් වික්‍රමසිංහයන් ගෙන් ලැබුණු බව නොයෙක් වර ප්‍රකාශ කොට සහ ලේඛන ගත කොට තිබේ.නමුදු එය නූගතකුගෙන් උගතකු අධ්‍යාපනය ලැබීමක් සේ කිසිවකුත් නොසලකති.

ඉහත සඳහන් බුද්ධිය පදනම් කරගත් දැනුම (Intelligence) හුදෙක් ලෞකිකත්වය හා සබැඳි බව නොරහසකි. එය සදාචාරය හා බද්ධ වන සේම ඉන් පසු කරවන අවස්ථා ද තිබේ. පාතාල අපරාධ කල්ලි තුළ පවා බුද්ධි අංශ ක්‍රියාත්මක වශයෙන් නිතර භාවිතා වේ.

එහෙත්,එම බුද්ධිය පදනම් කරගත් දැනුම තුළින් උපදවා ගන්නා ප්‍රඥාව හෙවත් යථා භූත ඥානය (Insight) මිනිසාගේ බුද්ධි ඵලයේ විශිෂිඨතම ප්‍රතිඵලය යි.ඉහත සඳන් බුද්ධියේ සියළු තත්වයන් ලෞකිකත්වය හා ඇලීම් ගැටීම් ඇති කර ගන්නා නමුදු මෙම ප්‍රඥාව හෙවත් යථා භූත ඥානය ලෞකිකත්වය හා සෘජුව බද්ධ වූවක් නොවේ.එනිසා මේ ප්‍රඥා සම්පතිය ලැබූවෝ බොහෝ විට සරල අල්පේච්ඡ ජීවිත ගත කරති.එනිසාම සාමාන්‍ය ලෝකයාට ඔවුන් මහ අමුතු මිනිස්සු ලෙස පෙනීමේ පහසු අවකාශයක් තිබේ. එමෙන්ම මෙම Insight යන්න හැඳින්වීම පිණිස වඩාත් සුදුසු වදනක් නවීන සිංහල ශබ්ද කෝෂ වලට එක් කොට තිබේ. එනම් විපස්සනාව` විදස්සනාව යනුවෙනි. ඒ අනුව උගතුන් බුද්ධිමතුන් ලෙසත් නූගතුන් මෝඩයන් ලෙසත් හැඳින්වීමත් සම්මත උගතුන් ගෙන් පමණක් පාර්ලිමේන්තු ආසන පිරවීමත් කෙතරම් අයුතු අසාධාරණ සේම මුග්ධ ක්‍රියාවක් දැයි අප වටහා ගත යුතු ය.

විනිවිද

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.