TikTok දරුවන්ට අසභ්‍ය දර්ශන නිර්දේශ කරන බව වාර්තාවකින් හෙළි වෙයි

0
160

මානව හිමිකම් ක්‍රියාකාරීන් කණ්ඩායමක් විසින් නිකුත් කරන ලද නව වාර්තාවකට අනුව, TikTokහි ඇල්ගොරිතමය ළමා ගිණුම්වලට අසභ්‍ය දර්ශන සහ අධික ලෙස ලිංගික අන්තර්ගතයන් නිර්දේශ කරන බව අනාවරණය වී තිබේ.

පර්යේෂකයින් ව්‍යාජ ළමා ගිණුම් නිර්මාණය කර ආරක්ෂක සැකසුම් සක්‍රිය කර තිබියදීත්, අසභ්‍ය ලිංගික සෙවුම් යෝජනා (sexually explicit search suggestions) ලැබී තිබේ.

යෝජිත සෙවුම් පද මගින් ලිංගිකත්වය පදනම් වූ වීඩියෝ ඇතුළු ලිංගික කරුණු වෙත යොමු විය.

ටික්ටොක් සමාජ මාධ්‍ය වේදිකාව පවසන්නේ, ඔවුන් ආරක්ෂිත සහ වයසට ගැළපෙන අත්දැකීම් ලබා දීම සඳහා කැපවී සිටින බවත් ගැටලුව දැන ගත් වහා ම අවශ්‍ය පියවර ගත් බවත් ය.

මේ වසරේ ජූලි අග සහ අගෝස්තු මුලදී, Global Witness ප්‍රචාරක කණ්ඩායමේ පර්යේෂකයින් පිරිසක් වයස අවුරුදු 13ක ළමයින් ලෙස පෙනී සිටිමින් ටික්ටොක්හි ගිණුම් හතරක් ආරම්භ කළහ.

ඔවුන් ව්‍යාජ උපන් දින භාවිත කළ අතර, ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා වෙනත් කිසිදු තොරතුරක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ නැත.

අසභ්‍ය දර්ශන

පරිශීලකයින් “ලිංගික අන්තර්ගතයන් වැනි වැඩිහිටි හෝ සංකීර්ණ තේමාවන්” දැකීම වළක්වන බව TikTok පවසන “restricted mode” ද ඔවුහු ක්‍රියාත්මක කර බැලූහ.

කිසිදු සෙවීමක් නොකර, විමර්ශකයින්ට යෙදුමේ “you may like” කොටසේ ප්‍රසිද්ධියේ ලිංගිකත්වය ඇතුළත් සෙවුම් වචන නිර්දේශ කර ඇති බව සොයා ගැනීමට හැකි විය.

එම සෙවුම් පද කාන්තාවන් ස්වයංවින්දනය නිරූපණය කරන අන්තර්ගතයන් වෙත යොමු විය.

අනෙකුත් වීඩියෝවල කාන්තාවන් පොදු ස්ථානවල තම යට ඇඳුම් ප්‍රදර්ශනය කරන ආකාරය හෝ ඔවුන්ගේ පියයුරු නිරාවරණය කරන ආකාරය පෙන්වන ලදී.

එහි උපරිම මට්ටමේදී, ලිංගිකත්වය පිළිබඳ පැහැදිලි කාමුක දර්ශන ඇතුළත් චිත්‍රපටවල අන්තර්ගතයන්ගේ සබැඳි ද තිබිණි.

අන්තර්ගතයන් මොඩරේට් කිරීම වළක්වා ගැනීමේ සාර්ථක උත්සහයක් ලෙස මෙම වීඩියෝ වෙනත් සාමාන්‍ය අන්තර්ගතයන් තුළට ඇතුළත් කර ඇත.

Global Witnessහි ආවා ලී පැවසුවේ, මෙම සොයාගැනීම් පර්යේෂකයන්ට “විශාල කම්පනයක්” ඇති කළ බව ය.

“ළමයින් නුසුදුසු අන්තර්ගතයන් වෙත ප්‍රවේශ වීම වැළැක්වීමට TikTok අසමත් වෙනවා පමණක් නොව – ඔවුන් ගිණුමක් නිර්මාණය කළ වහා ම නුසුදුසු අන්තර්ගතයන් ඔවුන්ට යෝජනා කරනවා”.

Global Witness යනු සාමාන්‍යයෙන් මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය සහ දේශගුණික විපර්යාස පිළිබඳ සාකච්ඡාවලට තාක්ෂණය බලපාන්නේ කෙසේ ද? යන්න විමර්ශනය කරන කණ්ඩායමකි.

මෙම වසරේ අප්‍රේල් මාසයේදී වෙනත් පර්යේෂණ සිදු කරන අතරතුර පර්යේෂකයන්ට මෙම ගැටලුව හමු විය.

වීඩියෝ ඉවත් කෙරේ

පර්යේෂකයින් ඒ සම්බන්ධයෙන් TikTok වෙත දැනුම් දුන් අතර, ටික්ටොක් සමාගම පැවසුවේ ගැටලුව විසඳීමට වහා ම පියවර ගත් බව ය.

නමුත් මේ වසරේ ජූලි අග සහ අගෝස්තු මාසවලදී, පර්යේෂක කණ්ඩායම එම විමර්ශනය නැවත සිදු කළ අතර, යෙදුම ලිංගික අන්තර්ගතයන් නිර්දේශ කරන බව නැවත වරක් සොයා ගත්තේ ය.

“ආරක්ෂිත සහ වයසට ගැළපෙන අත්දැකීම් ලබා දීමට අපි සම්පූර්ණයෙන් ම කැපවී සිටිනවා,” TikTok පවසයි. නව යොවුන් වියේ දරුවන් ආරක්ෂිතව තබා ගැනීම සඳහා නිර්මාණය කර ඇති විශේෂාංග 50කට වඩා එහි ඇති බව ඔහු පවසයි.

TikTok පවසන්නේ, එහි මාර්ගෝපදේශ උල්ලංඝනය කරන සෑම වීඩියෝ 10කින් නවයක් ම නැරඹීමට පෙර ඉවත් කරන බව ය.

Global Witness ආයතනය තම සොයාගැනීම් පිළිබඳව දැනුම් දුන් විට, ටික්ටොක් පැවසුවේ, “අපගේ ප්‍රතිපත්ති උල්ලංඝනය කළ අන්තර්ගතයන් ඉවත් කිරීමට සහ අපගේ සෙවුම් යෝජනා විශේෂාංගයට වැඩිදියුණු කිරීමට,” පියවර ගත් බව ය.

දරුවන් පිළිබඳ නීති මාලාව

මෙම වසරේ ජූලි 25 වන දින, මාර්ගගත ආරක්ෂණ පනතේ ළමා ව්‍යවස්ථා මාලාව බලාත්මක වූ අතර, එමගින් ඉන්ටර්නෙට් හරහා දරුවන් ආරක්ෂා කිරීම සඳහා නීතිමය ආරක්ෂාවක් සපයන ලදී.

දරුවන් කාමුක දර්ශන නැරඹීම නැවැත්වීම සඳහා වේදිකා දැන් “අතිශය ඵලදායී වයස් සහතිකයක්” භාවිත කළ යුතු ය. ස්වයං-හානි කර ගැනීම, සියදිවි නසා ගැනීම හෝ ආහාර ගැනීමේ අක්‍රමිකතා දිරිමත් කරන අන්තර්ගතයන් අවහිර කිරීම සඳහා ඔවුන් තම ඇල්ගොරිතම සකස් කළ යුතු ය.

ළමා සංග්‍රහ බලාත්මක වීමෙන් පසු ග්ලෝබල් විට්නස් සිය දෙවන පර්යේෂණ ව්‍යාපෘතිය ඉදිරිපත් කළේ ය.

“ළමයින් ඉන්ටර්නෙට් තුළ ආරක්ෂිතව තබා ගත යුතු බවට අපි සියලු දෙනා එකඟ වෙනවා… දැන් නියාමන ආයතන මේ සඳහා මැදිහත් වීමට කාලය ඇවිල්ලා තියෙනවා,” ග්ලෝබල් විට්නස්හි ආවා ලී පැවසුවා ය.

පර්යේෂණය අතරතුර, ටික්ටොක් විසින් නිර්දේශ කරනු ලබන ලිංගික සෙවුම් පදවලට අනෙකුත් පරිශීලකයින් දක්වන ප්‍රතිචාරය ද නිරීක්ෂණය කළහ.

එක් විචාරකයෙක් මෙසේ ලිවීය: “මගේ සෙවුම් රෙකෝඩ්වල මොක ද වෙන්නේ කියලා කවුරුහරි මට පැහැදිලි කරන්න පුළුවන් ද කරුණාකරලා?”

තවත් අයෙක් මෙසේ විමසා තිබිණි: “මේ යෙදුමේ ඇති වැරැද්ද මොකක් ද?”

  • ඇන්ගස් ක්‍රෝෆෝඩ්
  • BBC News Investigations