*
Sunday, October 6, 2024
spot_img

Latest Posts

නාමල්ගේ ඉදිරි ගමන … – රංජන සේනානායක

ජනාධිපතිවරණය තුළින් නාමල් රාජපක්ෂ මහතා ලැබූ පරාජයෙන් පසුව ලාංකීය දේශපාලනය තුලදී ඔහුට බලපානු ලබන ඉදිරි අභියෝගයන් සහ ඔහුට අභිමුඛ වන්නාවූ කොන්දේසි මේ ලිපියෙන් සාකච්ඡා කිරීමට අදහස් කරමි.

පුරා දශක දෙකකට ආසන්න කාලයක් පුරාවට ලාංකීය දේශපාලන භූමිය තුළ අධිපති මතවාදයක් ලෙස තම බල දේශපාලනය අඛණ්ඩව රැකගෙන සිටි මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ “පොදුජන පෙරමුණේ” දේශපාලනය පසුගිය ජනාධිපතිවරණය තුළ අහෝසි වී යාමේ තර්ජනයට මුහුණ පා තිබූ මොහොතක එය දේශපාලන වශයෙන් යළි ගොඩනැගීමේ භාරදූර වගකීමට කරගසා අපහසුම අවස්ථාවකදී පොහොට්ටුවේ ජනපතිවරණ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතාගේ පෙනී සිටීම ඔහු එහි නායකත්වයට ඉතාම සුදුස්සා බවට පෙන්වූ වැදගත් පෙරනිමිත්තකි. ඇත්ත වශයෙන්ම එම අභියෝගය නාමල් භාරගෙන ඔහු දක්ෂ සංවිධාන හැකියාවක් පෙන්නුම් කරමින් පැරණි ජනරාල් වරු හැරගිය සේනාව යලි සංවිධානය කිරීමට උත්සුක විය. ඔහු ලැබූ චන්ද ප්‍රමාණය කොපමණ කුඩා වුවද නායකයෙක් ලෙස ඔහුට අභිමුඛවූ අති දුෂ්කර අභියෝග ඉදිරියේදී වුවද බියෙන් පලා නොයමින් ඊට මුහුණ දෙන ලදී. එය නායකත්වයක් සතු උසස්ම ලක්ෂණයකි. තවද ඔහු තම මැතිවරණ කැම්පේන් එක තුලදීද ප්‍රතිවාදීන්ට අවමන් නොකරමින්, ප්‍රතිවාදීන් වෙත ඉදිරිපත්කලයුතු දේශපාලන විවේචනය පමණක් ගෙන එමින් තම කැම්පේන් එක මෙහෙයවූ ආකාරයද ඉතා විශිෂ්ඨ බව මගේ හැඟීමයි.

එහෙත් නාමල්ගේ දේශපාලනය තුලට ඔහුට බෙහෙවින් අවාසිවන එක්තරා උපන්ගෙයි දෝෂයක් තිබේ. තවත් ආකාරයකට කියන්නේනම් ඔහුට දේශපාලන රේස් එක දිවීමට සිදුවී ඇත්තේ ඔහුගේ බෙල්ලේ එල්ලාගත් “කුරහන් ගලක්” ද සමගිනි. ඒනම් වෙනත් කිසිවක් නොව රාජපක්ෂලා පට්ට හොරු බවට සහ රට බංකොලොත් බවට පත්කිරීමට මුල්වූ අයබවට සමාජගතවී ඇති මතයයි. මෙම මතය සමග නාමල්ට දේශපාලන කිරීමට සිදුවීම හරියට ඔහුට බෙල්ලේ එල්ලාගත් “කුරහන් ගලක්” සමඟ රේස් එකක් දිවීමට සිදුවීමක් වැනිය. එහෙත් මේ ඔහුට බෙල්ලේ එල්ලාගැනීමට සිදුවී ඇති “කුරහන් ගල” ඉවත් කරනොගෙන තව බොහෝ කාලයක් දේශපාලනය තුලදී ජයග්‍රහණ ලැබීමට නම් නොහැකිවනු ඇත. මේ බව ඉතා මැනවින් දන්නා නාමල් ඉතා නිර්භීත පියවරක් පසුගිය සතියේදී ඉදිරියට තබන ලදී. ඔහු ප්‍රභලවී මතුවී ඇති ජාතික ජනබලවේග නායකත්වයට එලිපිටම අභියෝග කරමින් පවසා සිටියේ, දැන් බලය ලැබී ඇති බැවින් වේදිකාවල කියූ පරිදි රාජපක්ෂලා උගන්ඩාවේ තබා ඇතැයි කියන හොරාකනු ලැබූ මුදල් වහා රැගෙන එන ලෙසයි. මෙයද නාමල් රාජපක්ෂ විසින් ගනු ලැබූ එක්තරා එඩිතර පියවරක් බව කිවයුතුය. ඇත්තෙන්ම දේශපාලන නායකයෙකු තුල මේ අවධානම භාරගැනීමේ හැකියාව තිබිය යුතුය. ඔහු ඉතා පැහැදිලිවම NPP රජයත් සමග “ගේම” ඉල්ලා සිටිමින් හැකිනම් ඔවුන් වේදිකාවල ජනතාවට පැවසූ පරිදි එම රාජපක්ෂලා හොරාකෑවා යැයි කියන සහ උගන්ඩාවේ තබා ඇතැයි කියන මුදල් ආපසු ගෙනත් පෙන්වන ලෙස කරන අභියෝගය NPP රජය කෙසේ භාරගන්නේ දැයි නොදන්නා නමුත් දේශපාලනය තුලදී නාමල් රාජපක්ෂගේ පැත්තෙන් බැලූකල ඔහුට දේශපාලනය තුල ඉදිරියට ඒමටනම් මේ රාජපක්ෂලා හොරකම් කල බවට පවතින “සමාජ ගතවුනු” මතයද පරාජය කිරීම අනිවාර්‍යය කටයුත්තක් වී ඇතිබව පෙනේ.

නමුත් ඉදිරි දේශපාලනය තුලදී නාමල් රාජපක්ෂගේ ඉදිරි ගමනට අහිතකරව බලපා ඇත්තේ ඔහුගේ බෙල්ලේ එල්ලී ඇති කුරහන් ගලක්වී ඇති රාජපක්ෂලා ගේ හොර වංචා පිළිබඳව තිබෙන චෝදනා පමණක් නොවේ. ඔහුගේ බෙල්ලේ ඔහු මහත් ආඩම්බරයෙන් එල්ලාගෙන සිටින කුරහන් සාටකයද ඉදිරි දේශපාලන ගමනේදී ඔහුට මහත් අවාසි ගෙන දෙන්නා වූ සංකේතයක් බව මාගේ අදහසයි. ඊට හේතුනම් පැවති ජනාධිපතිවරණය තුලදී මතුවූ ඉතා පැහැදිලි පෙන්නුම් කිරීමක් නම්, මහින්ද රාජපක්ෂ වෙත කාලයක් තිබූ ජනතා කැමැත්ත දැන් අහවර වී ඇති බවයි. එබැවින් නාමල් රාජපක්ෂ දැන් කලයුතු වැඳගත්ම දෙයක්නම් කුරහන් සාටකයටද සමුදී ඔහුගේ ශක්තියෙන්ම අළුත් දේශපාලන ගමනක් ඇරබීමයි. ඒ සඳහා ඔහුට ලැබී ඇති 2.5% ක් වූ චන්ද පදනම ඉතාමත් ආශිර්වාදයක් බව මගේ හැගීමයි. මක්නිසාදයත් ඔහු මේ සුළු චන්ද පදනම ගොඩනගා ගත්තේ ජාතික ජනබල වේගයට විශාල ආකර්ශනීය තත්වයක් තිබුනු වටපිටාවකත්, ඔහුට වඩා අත්දැකීම් ඇති ප්‍රතිමල්ලවයන් තිදෙනෙක් පොරපිටියේ සිටීමත්, ඔහුගේ සේනාවේ බොහෝ පළපුරුදු ජනරාල්වරු ඔහු හැරගොස් තිබීමත් යන කාරණා හමුවේදීත් වීමයි. දැන් නාමල් වෙත ඇති කොන්දේසිය වන්නේ මේ සුළු චන්ද පදනම ඉදිරියේදී ක්‍රමිකව වර්ධනය කරගැනීමයි. එහෙත් ඔහු වඩාත් හිතට ගතයුත්තේ තම පියාගේ සහ බාප්පලාගේ උදව් යලි ලබා නොගෙන තනිවම මේ ගමන යායුතු බවයි. එනම් තම දෙපයින්ම නැගී සිටිය යුතු බවයි. එලෙසම ඉදිරියේදී ඔහු විසින්ම අළුත් චරිත සහ තරුණ නායකත්වයක් පක්ෂයට හදුන්වාදීමද අනිවාර්‍යයෙන් කලයුතු දෙයකි. මෙහිදී උගත්, දක්ෂ තරුණ තරුණියන් පිරිසක් ඔහුට සම්බන්ධ කරගැනීමට හැකියාව තිබෙන්නේ නම් අළුත් තරුණ චන්ද පදනම ඉතා හොඳින් ඔහුගේ පැත්තට දිනාගැනීම ඔහුට අපහසු නොවනු ඇත. එසේ නොමැතිව තිස්ස කුට්ටිආරච්චි වැනි හරසුන් වාචාල කටවල් වලින් නාමල්ගේ ඉදිරි දේශපාලනය සරසාගත යුතු නොවන්නේ ඉදිරි දේශපාලනය ජාතික ජනබලවේගය බලයට ඒමත් සමගම යම් කල්චරල් වෙනසක් දේශපාලන භූමිය තුල ඇතිවෙමින් තිබෙන හෙයිනි. ඒ නිසා ජාතික ජනබලවේගය දේශපාලනය තුල ඇතිකරණු ලබන කල්චරල් චේන්ජ් වලට ඔරොත්තු දියහැකි පන්නයේ දේශපාලන බලවේගයක් නාමල් විසින් නිර්මාණය කරගත යුතු අතර එය තවදුරටත් තම පියාගෙන් හෝ බාප්පලාගෙන් යැපෙන එකක් නොවිය යුතුය. එහෙත් ප්‍රධාන ගැටළුවක්ව ඇත්තේ නාමල් රාජපක්ෂගේ දැක්ම පිළිබඳව පැණනගින ගැටළුවයි.

ලාංකීය දේශපාලන භූමිය තුල දැන් උද්ගතව ඇත්තේ ලිබරල් දේශපාලණය තුල විශාල රික්තයකි. විශේෂයෙන් ලිබරල් නායකයෙකුවූ මංගල සමරවීර රටට අහිමිවීම තුලත්, රනිල් වික්‍රමසිංහ මහතා මුහුණපා ඇති දේශපාලන පසුබැසීම නිසාත් තරුණ ලිබරල් නායකත්වයකට විශාල ඉඩකඩක් විවෘතව පවතී. නමුත් නාමල් රාජපක්ෂ තවමත් උත්සාහ ගනු ලබන්නේ රටේ “ජාතික වැඩපිලිවෙල” සඳහා සිය පක්ෂය මෙහෙයවීමටය. නමුත් රටේ ජාතික වැඩපිලිවෙල සඳහා එක් පැත්තකින් සජිත් ප්‍රේමදාසත්, තවත් පැත්තකින් දිලිත් ජයවීර සහ වීරවංශ ඇතුළු කංඩායමත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැඩීගිය කණ්ඩායම්ද බොහොමයක් පෙනී සිටී. නමුත් ලිබරල් දේශපාලනය සඳහා රටේ විශාල රික්තයක් ඇති මොහොතක නාමල් රාජපක්ෂගේ දැක්ම ලිබරල් ආස්ථානයකට ගෙන ඒමට හැකිනම් ඔහුට ඉදිරියේදී විශාල බලගතු දේශපාලන බලවේගයක් හැසිරවීමේ හැකියාව ලැබෙනවා පමණක් නොව ඉදිරියේදී නිර්මාණය වන ප්‍රභල ජාතික ජනබලවේග ආන්ඩුවට ප්‍රභල විකල්ප බලවේගයක්ද වීමේ හැකියාවද පවතී.

මෙහිදී නාමල් රාජපක්ෂට එක් අපූරු උදාහරණයක් මතක් කරදීමට කැමැත්තෙමි. ලංඩනයේ අධ්‍යාපනය හදාරමින් සිටි S.W.R.D බන්ඩාරණායක මහතා හොඳ ලිබරල්වාදියෙකු වූවද ලංකාවට පැමිණිපසු ඔහුට අවබෝධ වූයේ ලංකා දේශපාලනය තුලදී එවකට රික්තයක්ව පැවතියේ ලිබරල් දේශපාලනය නොව “ජාතික දේශපාලනය” බවයි. එබැවින් ඔහු හරිහැටි සිංහල භාෂාව කථාකිරීමට පවා නොහැකිව සිටියද වහාම බටහිර කලිසම් කෝට් ගලවාදමා ජාතික ඇඳුමට බැස සිංහලෙන් කථා බහ අරඹා ලංකාවේ ජාතික දේශපාලනයට පණ පෙවීය. එලෙසින්ම දැන් නාමල් රාජපක්ෂ සිදුකල යුත්තේ තමන් මෙතෙක් සාම්ප්‍රදායිකව කරගසාගෙන පැමිණි රාජපක්ෂලා ගේ “ජාතික දේශපාලනය” අත් හැරදමා කුරහන් සාටකය සමගින් ජාතික ඇඳුමද ඉවත්කොට ටයි කෝට් ඇඳ ලිබරල් දේශපාලනය තුලට ඇතුල් වීමයි. එනම් එදා S.W.R.D බන්ඩාරනායක අනුගමනය කල ක්‍රියාවට ප්‍රතිවිරුද්ධ පැත්තයි. එසේම ඔහු අනුර කුමාර දිසානායක ජනාධිපති වරයාගේ සාම්ප්‍රදායික වාමාංශික දේශපාලණය අතික්‍රමණය කරමින් අනුර සිය බලවේගයේ 3% ක් වූ චන්ද පදනම 56%ක් දක්වා ගෙනඒමද ආදර්ශයකට ගතයුතුය. අනුර කුමාර මහතා එදාමෙන් සම්ප්‍රදායික ලෙසින් වාමාංශික බෝල්ෂෙවික් පක්ෂයේ නායකයා ලෙසින් පමණක් එල්බ සිටියේනම් ඔහුට අද ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම කෙසේ වෙතත් සිය පක්ෂයේ චන්ද පදනම 3% න් ඉහලට ගතනොහැකිවනු ඇත. එබැවින් පැවති සම්ප්‍රදාය අතික්‍රමනය නොකොට නාමල්ටද ඉදිරි ගමණක් යෑම අසීරු වියහැක.

අද වත්මන් ලෝකයේ දේශපාලන ගමන් මාර්ගය වැටී ඇත්තේ ගෝලීයකරණය ඉස්මතුවී ඇති තත්වයක් තුලදී බැවින් එහිදී ලිබරල් දේශපාලන භූමිකාව සඳහා ඇති විශේෂත්වය නාමල් රාජපක්ෂ වැනි අයෙකුට තේරුම් නොගත හැකි සාධකයක් නොවේ. එබැවින් සිය සීයාගේ, පියාගේ සහ බාප්පලාගේ නැතහොත් රාජපක්ෂලා ගේ දේශපාලනය “ගමනක අවසානයට” පැමිණ ඇති බැව් තරුණ නාමල් රාජපක්ෂට නොවැටහී තිබිය නොහැකිය. එබැවින් මේ අවස්ථාවේදී රාජපක්ෂලා ගේ “පව්” වලට කර ගසමින් ඉන්නවාට වඩා ඔහු හමුවේ ඇති වැදගත්ම කාර්‍යභාරය නම් ඉදිරි දේශපාලනය තුලදී “නාමල්” සාධකය ක්‍රමිකව ලාංකීය දේශපාලනය තුල ඉස්මතු කරගැනීමයි. මේ වනවිට ඉස්මතුව ඇති අළුත් තත්වය සහ එළබ ඇති “මොහොත” ඔහු නිසියාකාරව ග්‍රහනය කරගන්නේනම් නායකත්ව හිඟයකින් පෙළෙන ලාංකීය දේශපාලනය තුල ඉදිරි අනාගතයේදී කීර්තිමත් නායකයෙකු වීමේ අවස්ථාව නාමල් රාජපක්ෂ තරුණයා වෙත පවතින බවද මෙහිදී සඳහන් කිරීමට කැමැත්තෙමි.

~ රංජන සේනානායක
(අධ්‍යයන කවය)
“89-සහෝදරත්වය”

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan