මම කතා කළේ ජනතාව වෙනුවෙන් – චන්දිම වීරක්කොඩි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජනතාව වෙනුවෙන් කතා කිරීම නතර කළ හැක්කේ මරා දැමීමෙන් පමණක් බව ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී නීතීඥ චන්දිම වීරක්කොඩි මහතා අද (6) පාර්ලිමේන්තුවේදී පැවසීය.

උසස් නිලධාරින් ගේ වාහන පාවිච්චිය ගැන කතා කළ තමාට ආරක්ෂක ලේකම්වරයා සහ යුද හමුදාපතිවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ (5) තර්ජන කළ බවත් මේ සිද්ධියෙන් තමාගේ වරප්‍රසාද කඩවී ඇති හෙයින් ඒ දෙදෙනා වරප්‍රසාද කමිටුවට කැඳවා පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටින බවත් , තමා කතා කළේ ජනතාව වෙනුවෙන් බවත් කීය. මිනිසුන් වෙනුවෙන් කතා කිරීම හෙන්චයියන්ට වැළැක්විය නොහැකි බවත් වීරක්කොඩි මහතා කියා සිටියේය.

චන්දිම වීරක්කොඩි මහතා තවදුරටත් පැවසූවේ,

“හමුදාවේ ඉහළ නිලධාරීන් ගේ වාහන පාවිච්චිය ගැන මම කරපු ප්‍රකාශයක් ගැන ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ආරක්ෂක ලේකම්වරයා සහ හමුදාපතිවරයා තර්ජනාත්මක ප්‍රතිචාරයක් දැක්වූවා. කමිටුව ඇතුළේ පාර්ලිමේන්තුව ඇතුළේ හැසුරුණේ චන්ඩි වගේ. මම ඇහුවා අතින් පයින් ද කියලා එතකොට කිව්වා එහෙමත් පුළුවන් කියලා. මෙයා සතෙක්ද රස්තියාදුකාරයෙක්ද ලේකම්වරයෙක්ද. හමුදාපති ආරක්ෂක ලේකම් මට දිගින් දිගටම තර්ජනාත්මකව කතා කළා. මේ සිද්ධියෙන් මගේ මන්ත්‍රී වරප්‍රසාද කඩවුණා. මේ පිළිබඳව සොයා බලා කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

මේ රටේ යුද හමුදාව අඩු කළ යුතුයි කියන කාරණය පාර්ලිමේන්තු කාරක සභාවේදී සාකච්ඡා කළා.සොල්දාදුවන් අඩු කරනවට වඩා ඉහළ නිලධාරීන්ගේ අනවශ්‍ය නාස්ති කපා හරින්න කියලා මම එතනදි කිව්වා. ඇමැතිවරුන් පවා දැන් අනවශ්‍ය විදිහට නාස්ති කරන්නේ නැහැ. අපි ඒ ගෞරවය දෙනවා.

නමුත් ආරක්ෂක ලේකම් ඇතුළු යුද හමුදා නිලධාරීන්ගේ ක්‍රියා කලාපය ගැන මම කතා කරනවා. අපේ රට පත්වෙලා තියෙන තත්වය අපි දන්නවා. මිනිස්සුන්ට කන්න නෑ .මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නැහැ. යුදහමුදාවෙ විශ්‍රාම ගිය බොහෝ දෙනකුට විශ්‍රාම වැටුප ලැබෙන්නෙ නෑ. නමුත් හමුදාපති ආරක්ෂක ලේකම් යන විදිය දැක්කම පුදුම හිතෙනවා. හමුදාපතිගෙන් නිල නිවසේ වත්ත හදන්න රුපියල් කෝටි අටක් මේ වෙලාවේ වැය කරනවා.

මේ වගේ දේවල් නවත්තන්න. ආරක්ෂක ලේකම් සිවිල් ගුවන් සේවා අධිකාරියේ බෝඩ් එකේ ඉන්නවා . එයා එතනට යන්න කලින් පහළොස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඇවිල්ල ඒ පරිශ්‍රය චෙක් කරනවාලු විශාල නැටුමක් නටනවලු. කාගේ සල්ලිද මේ. අපි මේවා නවත්තන්න කිව්වම පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ තර්ජනාත්මකව කතා කරනවා.

අපි නිදහස් චතුරස්‍රයට ඇවිදින්න යනවා. ආරක්ෂක ලේකම් උදේට ඇවිදින්න යනකොට ඔබතුමා දකිනවා. ගෞරවනීය සොල්දාදුවන් දෙන්නෙක් බල්ලො ඉස්සරහින් අරගෙන යනවා. පස්සෙන් ජිප් එකක් යනවා තව වාහනයක් යනවා. කාගේ සල්ලිද මේ. මිනිස්සු බනින්නෙ 225ට. අපේ ගමේ පන්සලට ආවා. බද්දේගම. පන්සලට එන්න කලින් වෙනම කණ්ඩායමක් ආවා. සිය ගණනක්. හාමුදුරුවන්ට කන්න දී ගන්නවත් විදියක් නැති වුණා.

මේ නිලධාරියෙක් කරන වැඩ. ආරක්ෂක වියදම් වෙන් කරන්නේ අපි අත උස්සලා.ඉතින් මෙහෙම කටයුතු කරන කොට අපේ රට බංකොලොත් වෙන එක අහන්න දෙයක්ද. යුද්ධ කරපු රණ විරුවන්ට අපි ඉහළින්ම ගරු කරනවා. නිලධාරීන් කිහිප දෙනකුට අනේකවිධ සැප විඳින්න අවසර දෙන්න ඕනද. රට වෙනුවෙන් කතා කරන මන්ත්‍රීවරයකුට මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා තර්ජනය කරන්න පුළුවන් නම් ඔහුට විරුද්ධව කටයුතු කළ යුතුයි.

මම කතා කළේ ජනතාව වෙනුවෙන්. අපේ කටවල් වහන්න පුළුවන් වෙන්නේ මරලා විතරයි. මිනිසුන් වෙනුවෙන් කතා කරන එක ඔය හෙන්චයියන්ට වළක්වන්න බැහැ

ලෙස වීරක්කොඩි මහතා අද (06) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉටුනොවූ යුක්තියේ පසුවිපරම – නිමලරාජන් ඝාතනයේ නඩු වාර්තාව එළිදක්වයි! (PHOTOS)

කොළඹ LNW: ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී නිමලරාජන් මෛල්වාගනම්ගේ නඩු විභාගයේ...

Celebrity Buzz: තරු පිරුණු රැයක උන්මාදය සමඟින් MTV VMA!

සටහන – පුලී සැප්තැම්බර් 08, කොළඹ (LNW): මෙම වසරේ පැවැති විශාලතම...

ආන්දෝලනාත්මක මිද්දෙණිය ඉඩමෙන් අදත් මතු වූ පොලිස් උපකරණ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW : මිද්දෙණිය පොලිස් ස්ථානයේ...

අගවිනිසුරුවරයා ගමන් ගත් රථ වාහන පෙළ වීඩියෝ කරලා: සැකකරු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW : අගවිනිසුරුවරයා ගමන් ගත්...