රුසියාවේ, යුක්රේනයේ, බෙලරුසයේ මානව හිමිකම් ක්‍රියාකාරීන්ට නොබෙල් සාම ත්‍යාගයක්!

Date:

2022 වර්ෂය සඳහා වූ නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීමට රුසියාවේ, යුක්රේනයේ සහ බෙලරුසයේ මානව හිමිකම් ක්‍රියාකාරීන් සමත්ව තිබේ.

ඒකාබද්ධ ජයග්‍රහණයක් ලෙස මෙම සාම ත්‍යාගය හිමිවන්නේ රුසියාවේ මෙමෝරියල් (Memorial) සංවිධානයට, යුක්රේනයේ සෙන්ටර් ෆෝ සිවිල් ලිබර්ටීස් (Centre for Civil Liberties) සංවිධානයට සහ සිරගතකර ඇති බෙලරුසියානු මානව හිමිකම් ක්‍රියාකාරී ඇලෙස් බියලියට්ස්කි ට ය.

මෙහි දී ඒ ඒ රටවල බල අවභාවිතය, යුධ අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ආදී කරුණු පිළිබඳව ලේඛනගත කිරීමේ විශිෂ්ටත්වය ඇගයීම සිදුවූ අතර, එකී පාර්ශවයන් වසර ගණනාවක් පුරා විවේචනය කිරීමේ අයිතිය සහ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් අධිවාචන කටයුතුවල නියැලුනු බව නෝවේර්ජියානු නොබෙල් කමිටුව ප්‍රකාශ කළේය.

2022 වර්ෂය සඳහා වූ නොබෙල් සාම ත්‍යාගය එම රටවල් තුන නියෝජනය කරන පාර්ශවයන් තුනට ලැබෙන්නේ, රුසියාව යුක්රේනය ආක්‍රමණය කර සන්නද්ධ ක්‍රියාන්විතයක නිරත වී සිටින සහ එම යුධ තත්ත්වයේදී බෙලරුසයේ සහාය කොන්දේසි විරහිතව රුසියාවට ලැබී තිබෙන පසුබිමක වීම විශේෂත්වයකි.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට කටයුතු කිරීම හමුවේ රුසියාවට නොබෙල් කමිටුවෙන් ලැබෙන්නේ කුමන අන්දමේ ප්‍රතිචාරයක් ද යන්න පිළිබඳව විවිධ මතිමතාන්තර පැතිර තිබිණි. එකී රටවල යුධ විරෝධී ක්‍රියාකරුවන් වෙනුවෙන් තම කෘතඥපූර්වකත්වය නොබෙල් කමිටුවෙන් හිමිවනු ඇති බවට මානව හිමිකම් ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීන් සහ ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන් මත පළකර තිබිණි.

නොබෙල් සාම ත්‍යාගය පිදීමත් සමඟ, එම සම්මානයට හිමිකම් කියන යුක්රේනයේ සෙන්ටර් ෆෝ සිවිල් ලිබර්ටීස් සංවිධානය, රුසියානු-යුක්රේන යුද්ධය ආරම්භ වූ 2022 පෙබරවාරි මාසයේ පටන්ම යුක්රේනයේ සිවිල් වැසියන්ට එරෙහිව රුසියාව විසින් දියත්කළ යුධ අපරාධ ලේඛනගත කිරීමට කැපවූ බව නොබෙල් කමිටුව ප්‍රකාශ කළේය.

මෙම ලේඛනගත කිරීම්වලට පෙරමුණ ගැනීම සඳහා තම ජාත්‍යන්තර සහකරුවන් සමඟ මනා ඒකාබද්ධතාවයක් පවත්වා ගැනීමට එම සංවිධානය සමත් වූ බව ද එම කමිටුව අවධාරණය කළේය.

රුසියාවේ මෙමෝරියල් සංවිධානය බිහිවන්නේ 1987 වර්ෂයේ වන අතර, 90 දශකය ආරම්භයේදී සෝවියට් සමූහාණ්ඩුවේ බිඳවැටීමත් සමඟ රුසියාවේ තිබෙන ප්‍රමුඛතම මානව හිමිකම් සංවිධානය බවට පත්වීමට එය සමත් විය. ජෝසප් ස්ටාලින් විසින් සමාජවාදය විකෘතිකරණය කොට පවත්වාගෙන ගිය ස්ටාලින්වාදී සමාජවාදය තුළ බලය අවභාවිතාකළ අන්දම පිළිබඳව වැඩිපුරම තොරතුරු ලේඛනගත කළේ මෙමෝරියල් සංවිධානයයි.

රුසියාවේ වත්මන් ව්ලැදිමිර් පුටින්ගේ පාලනය යටතේ මෙමෝරියල් සංවිධානය ඉකුත් වර්ෂයේ තහනම් කිරීමට කටයුතු කරන ලදී.

මේ අතර, 2022 නොබෙල් සාම ත්‍යාගයට හිමිකම් කියන බෙලරුසියානු පාර්ශවය වන මානව හිමිකම් ක්‍රියාකාරී ඇලෙස් බියලියට්ස්කි 80 දශකයේ පටන් බෙලරුසයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ තොරතුරු ලේඛනගත කිරීමට කටයුතු කළ පුද්ගලයෙකි. 1996 වර්ෂයේදී බිහිවන වියස්නා (Viasna) හෙවත් ස්ප්‍රින්ග් (Spring) නම් මානව හිමිකම් සංවිධානයේ නිර්මාතෘ ඔහු ය. බියලියට්ස්කි 2020 වර්ෂයේදී බෙලරුසියානු රජය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු මේ වන විට ද නඩු පැවරීමකින් තොරව රඳවා තබා ගෙන සිටී.

සාම ත්‍යාගය පිරිනමන අතරතුර නොබෙල් කමිටුව අවධාරණය කර සිටියේ, අත්අඩංගුවේ පසුවූව ද බියලියට්ස්කි තම මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ අරගලය තුළ එකඳු අඟලක් හෝ පිටුපසට ගැනීමට කටයුතු කර නොමැති බවයි.

ඡායාරූප: සීඑන්එන්

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාර්ල්ස් රජුගේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යූනුස් “Harmony Award 2025” සම්මානයෙන් පිදුම් ලබයි!

සටහන – පුලීජූනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ...

හෙට දකින උළෙලක අදට වඩා වටිනාකමක් දී දැකිය යුතු ප්‍රතිපල

නිශ්මං රණසිංහ ජුනි 16, කොළඹ LNW: මීටර් 400 කඩුලු ඉසව්ව...

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...