සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): දින අටකට පෙර පටන් ගත් අනෝරා වැස්සට විරාම ලකුණක් නැති සේය. නමුත්, රෝහල් කාමරයේ මා ඉදිරිපිට ඇති රූපවාහිනී තිරය තුළ නලියන්නේ වැහි බිංදු නොව තිහගොඩ, මාලිම්බඩ, අකුරැස්ස, කඹුරුපිටිය, අතුරලිය, දීයගහ වැඩි කොට්ඨාශවල ජීවත්වන දන්නා හඳුනන මිනිසුන්ගේ කඳුළුය. ඊට අමතරව, පුද්ගලිකව නොහඳුනන මුත් ගාල්ල කළුතර රත්නපුර වැනි පළාත්වල ගංවතුර සමඟ පොරබදන අහිංසක මිනිසුන්ගේ සුසුම් ය.
“.. අද රාත්‍රියේ දී මාතර දිස්ත්‍රික්කයට මිලි මීටර් සීයකට අධික වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව වාරිමාර්ග අධ්‍යක්ෂවරයා පැවසීය…”
ඒ, රාත්‍රී 7:00 ප්‍රවෘත්ති නිවේදිකාවක ගේ හඬයි.
රෝහල් කාමරයේ රූපවාහිනිය නිවා දැමිය හැකි වුවද මාතොට බලා ගම්බිම් යටකරමින් සහ කොටු කරමින් වේගයෙන් ඉදිරියට ඇදෙන නිල්වලා ගඟ නැවැත්වීමට හැකි සමතෙක් වේ නම් ඒ, වැස්ස වලාහක දෙවියන් පමණි. මේ ඛේදවාචකයෙන් වඩාත් අසරණ සිටින්නේ කවුද? දින අටක් තිස්සේ වතුරින් කොටුවී සිටින කද්දුව පැටි අක්කලා, නාරංගල ඥාන අක්කලා හෝ අත්තුඩාව ගල් බන්ට් එක දෙස අනිමිස ලෝචනයෙන් බලා සිටිමින් අහසට කන්නලව් කරන සිදත් ලා ලසන්ත ලා ධර්මෙ ලා ද? එසේ නොවේ නම්, කොටු වූ වතුර සමග ඔට්ටු අල්ලන සුජිත් ලා නන්දික ලා වීරසිංහ ලා චන්දන ලා නාලක ලා විජිත් ලා හෝ රෝහල් ඇඳකට කොටුවී සිටින මා ද..? මම මගෙන් ප්‍රශ්න කළෙමි.
ඉහල විටියල අලුත් වේල්ල පා මුලින් ඔරුවට නැග වැල්ලේතොටින් මතු වූ 93 ගංවතුරේ සිට කරගොඩ උයන්ගොඩ- කද්දුව පාරේ, ලයිට් කණු වලටත් ඉහළින් ජල රකුසා මතු වූ 2017 ගංවතුර දක්වා සෑම ගංවතුරකදී ම “සීනි සම්බල් පාන්” වැනි කුමක් හෝ දෝතින් ගෙන දියෙන් වට වූ මිනිසුන් සොයා ගිය ත්‍රාසජනක රූප පෙළ මා මනසේ චිත්‍රණය වන්නේ චිත්‍රපට රූපරාමු පෙළක් ලෙසිනි. විටින් විට, ඒවා ඡේදනය වන්නේ වෛද්‍යවරයකු ගේ හෙදියකගේ පැමිණීම නිසා හෝ දවසකට දෙතුන් වතාවක් ප්‍රාදේශයේ හදිසි අවශ්‍යතාවයන් පිළිබඳ වාර්තා කරන නිර්මාල් ගේ ආනන්ද ගේ ලසන්ත ගේ හෝ සනත්, සුමිත්, උදය, සඳුන් වැනි පරාර්ථකාමී මිනිසුන් ගේ දුරකථන ඇමතුම් නිසාවෙන් පමණි.
පීඩාවට පත් මිනිසුන් වෙනුවෙන් ඔවුන් විසින් කරනු ලබන ඉල්ලීම්වලට පදනම්ව ම’විසින් කරනු ලැබූ සෑම ඉල්ලීමක් කෙරෙහිම ඉහළම අවධානය යොමුකළ මහ දිසාපතිවරයා, ප්‍රාදේශීය ලේකම් තුමන්ලා සහ තුමියන් ලා, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහා මාර්ග අධිකාරිය, විදුලි බල මණ්ඩලය, කලාප අධ්‍යක්ෂකවරුන් සහ විදුහල්පතිවරුන්, ජල සම්පත් මණ්ඩලය, හමුදා සහ පොලිස් නිලධාරීන් වෙත මෙන්ම බන්දුල ගුණවර්ධන ඇමතිතුමා, රොෂාන් රණසිංහ ඇමතිතුමා, කංචන විජේසේකර ඇමැතිතුමා සහ කරුණා කොඩිතුවක්කු මන්ත්‍රිතුමා ප්‍රමුඛ දේශපාලන අධිකාරියට ද ආණ්ඩුකාරවරයා ප්‍රමුඛ දකුණු පලාත් සභාව වෙතද මාගේ කෘතවේදිත්වය ප්‍රකාශ කරමි.
මෙවර, ගැබ්බර වීමෙන් දඩබ්බර වූ නිල්වලා ව 2017 තරම් විනාශකාරී නොවුව ද “ලවන බාධකය” ප්‍රධාන චූදිතයා වී ඇති බැවින් සහ ආණ්ඩුවේ අසංවේදී බව නිසාවෙන් මිනිසුන්ගේ අසරණකමේ අඳෝනාව අන් සියලු කාලයන්ට වඩා බලවත්ව මතුව ඇත. සති ගණනාවක් පුරා දූපත් වාසීන් ව, Address නැතිව සිටින අහිංසක මිනිසුන්ගෙන් හා දරුවන්ගෙන් මතු වන්නේ ද දියලපේ කන්දෙන් මතුව එන්නේ ද අහිංසක කමේ සහ අසරණ බවේ දෝංකාරයයි. එය සාපයක් බවට පරිවර්තනය කර නොගැනීම බලධාරීන් ගේ වගකීමයි.
වාන් දමමින් මතුව එන අඳෝනාවන් අසමින් වුව ද මතුවන ප්‍රශ්න දුරකථනය හරහා කළමනාකරණය කර ගැනීම හැර මෙවර මට ඉතිරිව ඇත්තේ සුපුරුදු සහෝදරත්වයේ ආශිර්වාදය, 6 වැනි මහලේ රෝහල් කවුළුවෙන් එපිට, දකුණෙන් හමා එන මිතුරු සුළඟට එකතු කිරීම පමණි “
ඩලස් අලහපෙරුම මහතා රෝහලේ ගිලන් ඇද මත තැබූ සටහනකි. ඔහුට ඉකම්න් සුව ප්‍රාර්ථනා කරමු !
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??