සමහරුන්ට ඉතාම දිගු සෙවනැළි (long shadows) තියනවා කියල අපේ ලෝකයේ අතිශයින් ප්‍රසිද්ධ ඉන්දියානු ගත්කතුවරියක් වන අරුන්දතී රෝයි කියනවා. ඉතිං ඒ සමහරුන්ගේ ඉතාම දිගු සෙවනැලි පසුකරන්න ගොඩක් දුර ඇවිදගෙන යන්න වෙනවත් කියල ඇය තවදුරටත් කියනවා.
විශේෂයෙන් සමහර පිරිමි ආත්ම ගැහැණු පැවැත්මක් මත අතුරන එවැනි දිගු අඳුරු සෙවනැලි සමහරවිට ජීවිත කාලයක් පුරා පවතින්න පුළුවන්. ඒ වගේම තමයි ගැහැණු පිරිමි මත අතුරන එවැනි සෙවනැළිත්. ඒ මතකයන්, ක්ෂිතීන්, තිගැස්සීම්, ප්‍රමෝදයන් සමහරක් වෙලාවට මැරෙනකම්ම පසුකර යන්න බැරිවෙනවා.
සමහරු ඉතාම පොඩි වෙලාවක් ඇතුලේ කරන දෙයක් අපේ ජීවිත කාලයක් පුරා රැඳෙන්න පුළුවන්. රෝයි එයාගේ ”සිල්ලර දෙවියන්” (The God of Small Things) කතාව ඇතුලේ ඒ වගේ පොඩි වෙලාවල් වල පොඩි මිනිස්සු කරන අමතක නොවෙන දේවල් ගැන ගොඩක් දේවල් ලියල තියනවා.
අපේ දේශපාලනය ගත්තත් ඒ වගේ දිගු සෙවනැළි අපේ සමාජය පුරා ඇතිරිලා තියනවා අපිට දකින්න පුළුවන්. ලංකාව උඩුයටිකුරු කරපු ජේ. ආර්. ඒ වගේ දිගු සෙවණැල්ලක් තිබ්බ දේශපාලඥයෙක්. යුද්දේ ඉවර කරපු මහින්ද තවත් ඒ වගේම කෙනෙක්.
ප්‍රභාකරන් වගේම විජේවීර සතුවත් එවැනි දිගු සෙවනැළි තිබ්බ කියල මට හිතෙනවා.
ඒ වගේම තමයි අනික් සියල්ල අමතක කළත් පසුගිය අවුරුදු දෙකේ රනිල් කරපු දේ. ඒ දේ ලිබරල් දේශපාලනයේ විභවය ගැන විශාල සලකුණක් තියල තියනවා. වෙනත් දෙයක් කරා යන්න බැරි විදියට ඒ සෙවණැල්ල දිගුයි. පසුකරන්න ගොඩක් වෙලා යනවා.
දැනට පෙනෙන විදියට ඒ රනිලියානු සෙවණැල්ල යට තමයි අනුර ඉන්නේ. ඒ නිසා අනුර හරියටම පේන්නේ නැහැ. ඒ සෙවනැල්ලෙන් රැඩිකල් විදියට ඉවත් වෙන්න අනුර මැලිකමක් දක්වනවා වගේ පේනවා.
ලංකාවේ මේ යුගයේ කතා දෙකයි තියෙන්නේ. එකක් ගෝඨාගේ කතාව. අනික රනිල්ගේ කතාව. ගෝඨාගේ කතාව අසමත්බව පිළිබඳ කතාවක්. රනිල්ගේ කතාව යම් ගොඩදැමීමක් ගැන කතාවක්. යම් සාර්ථක කතාවක්.
අනුර පරිස්සමින් යන්නේ මේ කතා දෙක අතරේ සීරු මාරුවට පය තියමින්. ඉන් සාර්ථක බවේ කතාවෙන් ඔහු එළියට යන්න බයයි. මොකද ඔහුට අනික් කතාව එක්ක අනන්‍ය වෙන්න වෙයි කියන බයට. ඒ නිසා ඒ සෙවනැල්ලෙන් ඉවත් වෙලා රැඩිකල් දෙයක් කරන්න බැහැ.
අසමත් මිනිහෙක් විදියට මැරෙන්න වෙයි කියල යමෙක් බයවුනොත් එයාට කවදාවත් වීරයෙක් වෙන්න බැහැ. ඒ නිසා වඩා වඩා අසමත් උනත් රැඩිකල් දේවල් කරන්න බය වෙලා බැහැ. එහෙම කියන්නේ බ්‍රෙෂ්ට්.
අනුරට අනුර වෙන්න ඕනි නම් රනිල්ගේ සෙවනැල්ලෙන් එළියට එන්න වෙනවා. මොකද රනිල්ගෙන්ම ඉගෙන ගත්තොත් රනිල් පරදින්න බය උණේ නැහැ. බිංදුවට වැටෙන්න බය උණේ නැහැ. තමන් විශ්වාස කරපු දේ වෙනුවෙන් පෙනීඉන්න බයඋනේ නැහැ . ඒ තමා ස්වාමියාගේ හැටි.
වහලාගේ අනෙකා ස්වාමියා උනාට ස්වාමියාගේ අනෙකා වහලා නෙවෙයි මරණය කියල හේගල් කියන්නේ නිකං නෙවෙයි.
(සංවාදයට විවෘතයි).
~ මහේෂ් හපුගොඩ
RN