රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW :
මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථාන 05කදී මුල්ගල් තැබේ
එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 50ක රජයේ ප්‍රතිපාදන
‘දිට්වා’ ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ වශයෙන් නිවාස හානිවීමෙන් අවතැන් වූ සහ අධි අවදානම් තත්ත්වයන් හේතුවෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා නව නිවාස ඉදිකර දීමේ රජයේ විශේෂ වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නව නිවාස 72ක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.
ජාතික වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක වන “වඩා යහපත් ලෙස ගොඩනගමු” යන තේමාව යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ ආපදාව හේතුවෙන් නිවාස අහිමි වූ ජනතාවට සුරක්ෂිත හා ස්ථිර නිවාස හිමිකමක් කඩිනමින් ලබාදීමයි. ඒ අනුව, එක් නිවසක් ඉදිකිරීම සඳහා රජය විසින් රුපියල් ලක්ෂ 50ක මුදලක් වෙන් කර තිබේ. මෙම නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය ඉඩම් ද රජය විසින් ලබාදීමට කටයුතු කරනු ලබයි.
මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ මෙම ආපදාව හේතුවෙන් පූර්ණ නිවාස හානිවලට ලක් වූ සහ අධි අවදානම් තත්ත්වයන් හේතුවෙන් නිවාස අහිමි වූ නිවාස හිමියන් 179 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඉන් කොට්ඨාසය තුළම නැවත නිවාස ඉදිකිරීමට අපේක්ෂා කරන ප්‍රතිලාභීන් 156 දෙනෙකු අතරින් රජයේ ඉඩම් ඉල්ලුම් කළ ප්‍රතිලාභීන් 109 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඒ අතරින් පවුල් 72ක් වෙනුවෙන් ස්ථාන පහකදී මෙලෙස නව නිවාස ඉදිකිරීම ආරම්භ කර ඇත.
තවද, මෙම වැඩසටහන යටතේ පළමු වාරිකය ලබාගත් ප්‍රතිලාභීන් 103 දෙනෙකු මේ වන විටත් සිය නිවාස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබීම විශේෂත්වයකි.

මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාවන් ගෞරවනීය මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ පැවැත්විණි. එම අවස්ථාවන් සඳහා මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේ නියෝජිතයන්, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්), සහකාර දිස්ත්‍රික් ලේකම්, මීගහකිවුල ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසී ජනතාව සහභාගි වූහ.

