ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW: ජාතික ජන බලවේගය ලෙස මැතිවරණ වේදිකාවේ ලබා දුන් පොරොන්දුවක් අනුව යහපත් දේශපාලන සංස්කෘතියක් සහ ජනතාවාදී දේශපාලන සංස්කෘතියක් බිහිකර තිබෙන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පැවසීය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (13) ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ වේල්ල වීදිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අඩු ආදායම්ලාභීන් සඳහා ස්වයං රැකියා අවස්ථාවක් ලබාදීමේ අරමුණෙන් ග්‍රාම සේවා වසම් 23 ක ප්‍රතිලාභින් 219 සඳහා මහන මැෂින් ලබා දීමේ උත්සව අවස්ථාව අමතමිනි.
එමෙන්ම ආර්ථික කළමනාකරණය නිසිලෙස සිදුකරන බවටද පොරොන්දුවක් දී තිබෙන අතර එයද ඉටුකරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.
”අතීතයේදී ආණ්ඩුවක් පිහිටුවා ගත්තට පස්සේ අවුරුදු පහක කාලයක් පුරා තමන්ගේ කල්ලියට අවශ්‍ය විදිහට කටයුතු කළා. අවුරුදු පහෙන් පහට එක් එක් කල්ලි කණ්ඩායම් ගිවිසුම් මත බලය බෙදා ගැනීම සිදුකළා. නමුත් අද ජනතාවාදී ආණ්ඩුවක් යටතේ රටේ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වෙනවා. කවුරුන් වුවත් නීතියට ඉහළින් සිටින්න බැහැ. අද වන විට එකිනෙකාට විරුද්ධව කටයුතු කළ දේශපාලන කණ්ඩායම් පවා එකට එකතු වෙමින් සිටිනවා. මීට පෙර බෙදී වෙන්ව සිටි සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ වැනි දේශපාලන නායකයන් පවා අද එකම වේදිකාවක සිටිනවා. නයි මුගටි සියල්ලම එකම කෝටේ උඩ අද ගහගෙන යනවා. මින් පෙර බලය ලබා ගැනීම සඳහා ප්‍රතිවිරෝධී කණ්ඩායම් විදියට ජනතාව මුලා කරගෙන ජනතාවගේ ඡන්ද ලබා ගත්තා. එදා එකිනෙකාට විරුද්ධව කතා කළ පිරිස් අද එකට එකතු වී කටයුතු කරන තත්ත්වයක් දකින්න ලැබෙනවා.
දැන් ඔවුන් උත්සාහ කරන්නේ ජාතිය සහ ආගම ඉදිරියට දමා නැවත දේශපාලන වශයෙන් හිස එසවීමටයි. නමුත් ලංකාවේ සියලුම ජන කණ්ඩායම්වල ජනතාව අපට ඡන්දය ලබාදී තිබෙනවා. ඒ නිසා අපේ ආණ්ඩුව යටතේ ජාතිවාදයට සහ ආගම්වාදයට කිසිදු ඉඩක් නැහැ.” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේය.


