කොළඹ LNW:විදුලි බිල සංශෝධනය නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබේ.
වසරේ තුන්වන කාර්තුව වෙනුවෙන් විදුලි බිල 6.8%කින් ඉහළ දැමීමට ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබුණු අතර ඊට අදාළව මහජන උපයෝගිතා කොමිසම සිය තීරණය දැනුම් දී ඇත.
ඒ අනුව ඊට මහජන අදහස් ලබා ගැනීම පසුගිය සැප්තැම්බර් 08 වැනිදා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරුණි.
පළාත් නවයම ආවරණය වන ලෙස එම මහජන අදහස් ගැනීම සිදුකර තිබෙන අතර පසුගිය 03 වැනිදා කොළඹ දිස්ත්‍රික්කයෙන් අවසන් මහජන අදහස් ගැනීම සිදුකර එම ක්‍රියාවලිය අවසන් කළ බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය.
කෙසේවෙතත් අද මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය වීමට තිබූ විදුලි ගාස්තුව තවදුරටත් සංශෝධනයකින් තොරව පවතින මිල ගණන් යටතේම පවත්වාගෙන යායුතු බවට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර ඇත.
“ඇත්තටම කිව්වොත් අනෙකුත් වියදම් එක්ක විදුලිබල මණ්ඩලය 6.8%කට වැඩි විදුලි බිල සංශෝධනයක් අපේක්ෂා කරලා තිබුණා. මේකෙදි අපේ අදහස වුණේ, පහුගිය කාලපරිච්ඡේදයන්ට අදාළව ක්‍රමවේදයට අනුව කිසියම් ආකාරයක ගැලපීමක් සිදුකළ යුතු වෙනවා. අපි ඒකට කියනවා ආදායම් වෙනස ගැලපීම කියලා. මෙතන ප්‍රශ්නය වුණේ පහුගිය කාලයේ විදුලි බිල ගැන තීරණය ගත්තේ මාස 6කට වරක්. දැන් අපිට සිදුවෙලා තියෙනවා කාර්තු වශයෙන් අදාළ තීරණය ගන්න. පහුගිය කාර්තු තුනකට අදාළ ලාභ ගැලපීමක් සිදුකළ යුතුව තිබුණා. මේ කාර්තුව සඳහා. කාර්තු තුනක ගැලපීම එක තැනකට ගේන එක හොඳ නෑ කියලා කොමිසම තීරණය කළා. ඒ අනුව විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබෙන 6.8%ක ගාස්තු සංශෝධනය වැඩි නොකිරීමට කොමිෂන් සභාව ඒකමතික තීරණයක් ගනු ලැබුවා.” යනුවෙන් එම කොමිසමේ සභාපති, මහාචාර්ය කේ. පී.එල් චන්ද්‍රලාල් මහතා පවසයි.
මාධ්‍ය හමුවක් පවත්වමින් කොමිසම මෙම කාරණය දැනුම් දෙන ලදී.
ආශිකා බ්‍රාහ්මණ
