බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් ජනාධිපති ලේකම් කාර්යාලය අසළට පාගමනින් පැමිණි භික්ෂූන් වහන්සේලා ජනාධිපති ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ ඉල්ලීම ගැන තීරණයක් ගැනීම සඳහා මාසයක කාලයක් ලබාදෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියකු දැනුම් දී තිබේ.
එහිදී භික්ෂූන් එම ඉල්ලීමට එකඟ නොවී ඇති අතර ජනාධිපති ලේකම්වරයාට නිල ප්රකාශයක් ලබාදෙන ලෙසත් පවසා ඇති බව සඳහන්.
එම භික්ෂූන් වහන්සේලා මේ වනවිටත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධය පළකරමින් සිටිති.
මහනුවර සිට පාගමනින් පැමිණි මෙම භික්ෂූන් වහන්සේලා අද (15) සවස වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණි අතර උන්වහන්සේලාව හමුවීමට ජනාධිපති ලේකම් සනත් නන්දික කුමානායක මහතා ද පිටතට පැමිණියේය. එහිදී භික්ෂූන් වහන්සේලා ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා තිබුණේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් ලබාදුන් ජනාධිපති සමාවේ ඇති බව කියන තාක්ෂණික දෝෂය නිවැරදි කර දෙන ලෙස ය.


