වැස්ස නිසා බේරුණු එංගලන්තය සහ තරගාවලියේ ඉදිරියේ හැඩය

0
149

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 16,  කොළඹ LNW:

ක්‍රියාත්මක වෙමින් පවතින කාන්තා ලෝක කුසලාන තරගාවලියට අදාළව කොළඹදී පැවති එංගලන්තය සහ පකිස්තානය අතර තරගයේදී වර්ෂාවේ ආශිර්වාදය ඇතුව පරාජය නොවී සිටීමට එංගලන්තය සමත් වුණා.ටම් සමඟ මේ දක්වා කිසිඳු ලකුණක් නොමැතිව ලකුණු සටහනේ සිටි පකිස්තානයට විසදුමක් නොමැති තරගයකදී හිමිවන එක ලකුණ හිමි වුණා.එහෙත් බොහෝ විට පකිස්තානයට හිමි විය යුතු ලකුණු 2 ක් වැස්ස එක ලකුණකට සීමා කළ බවක් තරගය වර්ෂාවට නවත්වන තෙක් අධ්‍යයනය කිරීමේදී තීරණය කළ හැකියි.එහෙත් ක්‍රිකට් යනු අවිනිශ්චිත ක්‍රීඩාවක් යන්න ද කිසිසේත් අමතක කළ නොහැකියි.


ඒ අනුව මේ වන විටත් සිටිය පරිදිම පකිස්තානය අටවන තැන සහ ශ්‍රී ලංකාව හත්වන තැන පසුවෙනවා.ශ්‍රී ලංකාවට ඉහළින් සිටින බංගලාදේශය සමඟ ශ්‍රී ලංකාව තවමත් තරග වැදී නැහැ.ඒ තරගයත් ශ්‍රී ලංකාවට පසුව සිටින පකිස්තානය සමඟ තරගයත්,දකුණු අප්‍රිකාව සමඟ වන තරගයත් ශ්‍රී ලංකාවට ඉතිරිව තිබෙනවා.ප්‍රබලම කණ්ඩායම්වලට එරෙහිව තරග වඳිමින් ආරම්භ කළ ශ්‍රී ලංකාවේ තරග සටහන දෙස බලද්දී,පසුපසට වන්නට සිටින්නේ මුල් හමුවීම්වලට වඩා දුර්වල කණ්ඩායම් වීම යම් වාසිදායක තත්ත්වයක් පෙන්නුම් කරනවා.
ශ්‍රී ලංකාවට හෙට හමුවන දකුණු අප්‍රිකානු තරගය අතිශයින් වැදගත් වෙනවා.දකුණු අප්‍රිකාව පළමු තරගය එංගලන්තය ඉදිරියේ පරාජය වී පසුව මුහුණ දුන් තරග තුනම විශිෂ්ඨ ලෙස ජය ගනිමින් ප්‍රබල තත්ත්වයක පසු වෙනවා.එහෙත් ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව පරාජය කළ හැකි කණ්ඩායමක් ලෙස හැඳින්වීමට අවශ්‍යය සාක්ෂි සහිතව සිටිනවා.ඒ සාක්ෂි මත හෙට තරගයේ ප්‍රතිපලය ශ්‍රී ලංකාවට වාසිදායක ලෙස නිමාවට පත් වුවහොත්,ශ්‍රී ලංකාවට ඉදිරි තරග දෙක සම්බන්ධයෙන් වඩා විශ්වසනීය තත්ත්වයක් ඇති කර ගත හැකි අතර ප්‍රතිවාදීන්ටද යම් පිඩනයක් ඇති වනු නිසැකයි.


ශ්‍රී ලංකාවට මේ තරග තුනම ජයගෙන එකතු කර ගත හැකි ලකුණු 6 ක් පමණයි.දැනට ලබා තිබෙන ලකුණු සමඟ එවිට එම ලකුණු ප්‍රමාණය 8 ක් කර ගැනීමට හැකියි.ඔවුන්ට ඉදිරියේදී මුහුණ පෑමට තිබෙන තරග තුනම ගත් විට තරග දෙකකදී තීරණය තිබෙන්නේ අවිනිශ්චිත තැනකයි.නවසීලන්තය සහ එංගලන්තය යන කණ්ඩායම් දෙකම ප්‍රබල තැනෙක සිටින අතර ඒ අනුව ඉන්දියාවටත් ලකුණු අටක් සඳහා තරග දිනීම පහසු කාර්යයක් වන්නේ නැහැ.


බංගලාදේශයට සිටින්නේ වෙනදාට වඩා පොහොසත් කණ්ඩායමක්. අවසාන පන්දුව තෙක්ම සටන අත නොහරින ශක්තිවන්තයන් පිරිසක්.ඒ නිසා ඔවුුන්ට ඉතිරිව ඇති ශ්‍රී ලංකා,ඉන්දියා සහ ඔස්ට්‍රේලියා තරගවල තීරණවලට බලපෑමක් කළ හැකි මට්ටමකට වර්ධනය වී තිබෙන බවත් පෙනෙන්නට තිබෙනවා.
කෙසේ වුවත් සෑම කණ්ඩායමක්ම තරග හතර බැඟින් මුහුණ දී ඇති මොහොතක,ලංකාවේ ආගමික වශයෙන් ගත් විට කඨීන පිංකම් පැවත්වෙන සමයේ ස්වභාව ධර්මයේ හැසිරීම ගැනත් නොසළකා සිටින්නට බැහැ.ඒ නිසා බැලූ බැල්මට ඉන්දියාවේ පැවත්වෙන තරග සම්බන්ධයෙන් තීරණ එන්නට තියෙන ඉඩට වඩා ශ්‍රී ලංකාව තුළ තරග පැවත්වීමේ හැකියාව අවිනිශ්චිතය තිබෙනවා.මේ කාරණය අතිශයින් සංවේදී ඛේදණීය තත්ත්වයක්.


සාමාන්‍ය මට්ටමෙන් වැසි බාධා නොපැමිණ තරග පැවත්වුවහොත් කුමක් වෙයිද යන්න ඒ ඒ කණ්ඩායම්වලට ඉතිරිව ඇති තරග ඇසුරෙන් නිගමනයකට ආ හැකියි.පහතින් එ් සඳහා අවශ්‍යය සබැඳිය තබන අතරම දැනට තරගාවලියේ ලකුණු සටහන දැක්වෙන අයුරුත් දක්වා තිබෙනවා.