ජනාධිපති ලේකම් කාර්යාලය අසළ ඊයේ (15) පස්වරුවේ සිට විරෝධතාවක නියැළී සිටින භික්ෂූන් වහන්සේලා එම ස්ථානයෙන් ඉවත්කිරීමේ නියෝගයක් ලබාගැනීම සඳහා පොලීසිය අද (16) දිනයේදී අධිකරණය හමුවට යාමට නියමිත බව වාර්තා වේ.
එම භික්ෂූන් වහන්සේලා විසින් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කිරීම හේතුවෙන් මහජන පීඩාවක් සිදුවන බවට කරුණු දක්වමින් කොටුව පොලීසිය උන් වහන්සේලාව එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා කොටුව මහේස්ත්රාත් අධිකරණයෙන් නියෝගයක් ඉල්ලා සිටීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
පොලීසියේ ඉල්ලීම අනුව අධිකරණ නියෝගයක් ලැබුණහොත් සහ එම අධිකරණය නියෝගය අනුව විරෝධතාකරුවන් ඉවත් නොවුවහොත් ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට සහ බලය පාවිච්චි කර විරෝධතාව විසුරුවා හැරීමට පොලීසියට අවස්ථාව හිමිවනු ඇත.
සිරදඬුවම් විඳිමින් සිටින ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ව නිදහස් කරන ලෙස ඉල්ලමින් මහනුවර සිට දින හයක් තිස්සේ පාගමනින් කොළඹට පැමිණි භික්ෂූන් වහන්සේලා පිරිසක් මෙසේ ඊයේ පස්වරුවේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවක් පවත්වමින් සිටිති.


