මධ්‍යම ආසියානු වොලිබෝල් පිරිමි සූරතාවලියේ සූරතාවය තව දුරටත් ආරක්ෂා කර ගන්නට අද සමත් වුණා.එම කිරුළ හිමි සූරයන් ලෙස තරගාවලියට එකතු වූ ශ්‍රී ලංකාව සිය සත්කාරකත්වය සහිතව පැවත්වූ තරගවෙලියේ මූලික වටයේ තරගයකදී වට 3-2 ක් ලෙස උස්බෙකිස්තානයට පරාජය වුව ද,මූලික වටය නිමාවේ ඉදිරියෙන්ම සිටින්නට සමත් වුණා.

උස්බෙකිස්තානය ද මූලික වටයේ අපරාජිත කණ්ඩායමක් ලෙස ජයග්‍රහණයේ නොයිදුල් කම රැක ගන්නට අසමත් වූ අතර ඔවුන් ඇෆ්ගන් කණ්ඩායම ඉදිරියේ වට 3-2 ක් ලෙස පරාජයට පත්ව සිටියා.එහෙත් අවසාන හමුව සිඳුවන විට ශ්‍රී ලංකා කණ්ඩායම ස්වභාවයෙන්ම වෙනස්ව පැවති අතර අවසාන තරයේදී හුස්ම ගන්නට ඉඩක් නොලැබෙන පරිදි දැඩි අභියෝගාත්මක ලෙස තරගයට පිවිසි ශ්‍රී ලංකාව 25 – 14,25 – 18 සහ 25 – 23 ලෙස උස්බෙකිස්තානය පරාජය කරන්නට සමත් වුණා.
උස්බෙකිස්තානයට මෙහිදී ඔවුන්ගේ නිත්‍ය ලිබරෝ ක්‍රීඩකයා ආබාධයකට ලක්වීමත් යම් ආකාරයකට බලපෑමක් ඇති කළා.එහෙත් එයම හේතුව ලෙස පරාජය මත පැවරිය නොහැකියි.වොලිබෝල් වැනි වේගවත් කණ්ඩායම් ක්‍රියාන්විතයක් ඇතුළත තනි පුද්ගලයෙක්ට සමස්තය වෙනස් කිරිම අපහසු දෙයක්.වඩාත් වැදගත් කණ්ඩායම් සංයුතිය.
අවසාන තරගයට පැමිණ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකට කළේ කණ්ඩායමක් හැටියට එකම නහර වැලකින් සම්බන්ධ වී සිටි බවක්.ඔවුන් හරිම මොහොතේ එකට ක්‍රියාත්මකවීමේ සමීකරණය දැනගෙන සිටිය බව පැහැදිළි කළා.මලීහ ගේ අපූරු පන්දු සැකසීම අවස්ථාව සහ පුද්ගලයා ටක්කෙටම තීරණය කරද්දී,තරගවෙලියේ වටිනාම ක්‍රිඩකයා බවට පත් වූ මහේල ඉන්දීවර මෙන්ම ලෙසඳු,වසන්ත,ශෙහාන් සහ අයේෂ් වැනි ක්‍රිඩකයින් ඒ එසැවුම තමන් වෙනුවෙන් වෙන මොහොත ගැන නිශ්චිත හඳුනාගැනීමක සිට කටයුතු කළා.

ශ්‍රී ලංකාවේ සමූහ ක්‍රියාකාරිත්වය තුළ අවසාන තරගයේ එක තැනකින් ප්‍රහාර ගොඩ නැඟීම සිඳු වුණේ නැහැ.දැල දෙපස වගේම මැදින් එල්ලවන ක්ෂණික ප්‍රහාරයන්ද,පිටියේ පසු කළාපයෙන් එල්ල වන ප්‍රහාරයන්ද කොයි මොහොතේ සිය සීමාවන් ආක්‍රමණය කරාවිද යන අවිනිශ්චිත මානසිකත්වයක උස්බෙකිස්තානයට තරග වදින්නට සිදු වුණා.මේ තරගාවලිය සම්බන්ධයෙන් සත්කාරක රට හැටියට කණ්ඩායමේ තරග සම්බන්ධ තීරණය කිරීමේදි වොලිබෝල් පරිපාලනයට තිබුණ නිදහස අත්තනෝමතික ලෙස භාවිතයට නොගෙන කණ්ඩායම් පුහුණුකරු සමඟ බෙදා ගැනීමත් ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය පිටුපස තිබුණ වැදගත් සාධකයක් හැටියට ගත යුුතුයි.
පළමු ප්‍රතිවාදියා තෝරා ගැනීමට තිබුණ අවස්ථාවේදී එය සවුදි අරාබිය විය යුතු බව තීරණය වන්නේ කණ්ඩායම් පුහුණුකරුගේ හැදෑරීම්වලට එකඟවයි.මේ තරගාවලිය තුළ ක්‍රීඩා කිරීමත් සමඟ විශාලම සංවර්ධනය පෙන් වූ කණ්ඩායම බවට පත් වෙමින් අවසාන සිවි දෙනා අතර සිට තරගාවලිය නිමා කරපු සවුදි අරාබියානු කණ්ඩායම ප්‍රධාන පුහුණුකරු චන්නගේ ජයසේකරගේ දැක්ම අනුව නොමේෑරූ මොහොතේ දී විනාශ කරන්නට ශ්‍රී ලංකාවට හැකියාව ලැබීම සහ එම ජයග්‍රහණයේ පරිමාව විශ්වාසයකින් ඉදිරියට යන්නට ශ්‍රී ලංකාවට අවස්ථාව සකස් කර දුන්නා.
අවසාන තරගය නරඹන්නට ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යවරයා මෙන්ම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ද පැමිණ තිබීම සතුටට කරුණක්. ඔවුන් තරගය මෙන්ම ඔවුන්ගේ අධීක්ෂණයට යටත්ව තිබෙන මේ ආයතනවල ස්වභාවයද මේ සුළු මොහොත තුළ නිරීක්ෂණයට ලක් කළේ නම් එම ආලෝක තත්ත්වයේ යම් ගැටළුවක් තිබෙන බව දකින්නට ඇතැයි අප සිතනවා.සියල්ලට මුදල් නැතැයි යන ක්‍රිඩා අමාත්‍යවරයාගේ සම්ප්‍රදායික පිළිතුර මෙන්ම ඔහු උපදෙස් දීම සඳහා පත් කරගෙන සිටින ජාතික ක්‍රිඩා සභාව ඒ මත සිටගෙන කප්පාදු පිහියෙන් කපා දැමිය යුතු දේ තීරණය කිරීමෙන් මිදිය යුතුයි.අමාත්‍යවරයාට මේ උග්‍ර අහේනියෙන් මිදෙන්නට සහ ඒ අවශ්‍යය සම්පත් උපයා ගැනීමට සහ සොයා ගැනීමට උපදෙස් දිය යුතුයි.අඩුම තරමේ මේ මොහොතේ උපදේශකයන්ගේ උපදෙස් ගත යුත්තේ ක්‍රිඩා ආයතනවල ස්වාධීනත්වය නිසා තමන්ගේ ආධිපත්‍යයට හානි සිදු වේ ද යන්න සොයා බැලීමට නොව,මූලික වශයෙන් ඇති වී තිබෙන දුප්පත්කමට උත්තර සොයා ගැනීමට බව ැ=රාජ්‍ය අමාත්‍යවරයා සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හෝ ඒත්තු ගැන්වුවේ නැතිනම් ඉදිරියේදී ජාත්‍යන්තර තරගාවලියක් සංවිධානය කරන්නට තිබෙන එකම විවිධාංගකරණ ගෘහස්ථ ක්‍රිඩා පිටියද ශ්‍රි ලංකාවට අහිමි වන්නට ඉඩ තිබෙනවා.

එසේම රාජ්‍ය ඇමතිවරයා මෙන්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අවධානය යොමු කළ යුතු තවත් කාරණයක් වන්නේ වොලිබොල් පරිපාලනයට පවරා දි තිබෙන ගාල්ල ගෘහස්ථ ක්‍රිඩාංගණයයි.එය නඩත්තු කරන්නට දරන්නට වන වියදම පියවා ගැනීමට යම් යම් ව්‍යාපෘති ඇති කිරීමට වොලිබෝල් පරිපාලනයට උපකාර කිරිම වැදගත් වෙනවා.එසේම එම භූමිය නොමිලේ යම් යම් කාරණා සඳහා පැවරීමට ක්‍රිඩා පරිපාලනය පැත්තෙන් සිඳුවන දැණම්දීම් සහ ඉල්ලීම් නැවතිය යුතු වෙනවා.එය සම්පූර්ණයෙන් නැවතිය නොහැකිනම් වොලිබෝල් පරිපාලනය නියම කරන නිශ්චිත මිල ගණනෙන් යම් කිසි ප්‍රතිශතයක් හෝ එම සංගමයට ලැබෙන පරිදි කටයුතු කිරීමට ඉඩ සකසා දීම වැදගත් වන අතර එම පිටිය නඩත්තු කරන්නේ ජාතික ක්‍රීඩාවට වැයවන මුදලින් බව ක්‍රිඩා සඳහා සහ විවිධ ඉසව් සඳහා නොමිලේ පිටිය බලාපොරොත්තු වන්නන්ද සංවේදී විය යුතු වෙනවා.
තරගාවලියට මුල සිටම හොඳ දස්කම් දක්වමින් දායක වූ ඇෆ්ගනිස්තානය මෙවර මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලිය නිමාවට පත් කළේ තෙවැන්නන් හැටියටයි.නමුත් ඔවුන් මෙන්ම නේපාලයද විශාල උවමානාවකින් වර්ධනය වෙමින් තිබෙන බව පැහැදිළියි.ඒ තත්ත්වය මත ඊට වඩා ඉහළින් සිටියත් ශ්‍රී ලංකාවේ වොලිබෝල් තවත් පහසුකම් පුළුල් කරමින් දක්ෂතා දියුණු කරමින් ඉදිරියට නොගතහොත් දකුණු ආසියානු කළාපය තුළම විශාල පීඩනයකට බලපෑමකට සහ අභියෝගයකට ලක් විය හැකියි යන්න අවබෝධ කරගෙන වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වැඩි තරග අත්දැකීම් ලැබෙන සහ වෘත්තිය මට්ටමෙන් ඉහළ තැනක තබා මානසිකව ඔවුන්ව සකස් කිරිම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් වෙනවා.මීට පෙර නේපාලයේ කාන්තා වොලිබෝලයේ අභියෝගය සම්බන්ධයෙන් හම්බන්තොට වෙරළ වොලිබොල් පිටිය නිරීක්ෂනය කිරීමෙන් ඉනික්බිතිව කියූ කරුණු මේ වන විට සත්‍ය වී ඇති අතර එසේ පැවසීම ශ්‍රී ලංකාවේ වොලිබෝල්වලට ද්වේශයෙන් කරන කාලකණ්නි ප්‍රචාර හැටියට ගත් ඇතැම් අයට අද වන විට ශ්‍රී ලංකාවේ වොලිබෝල්වල සිරියාවන්තකම අහිමිවිම ගැන සොයා බලන්නට සිඳු වී ඇති බව කියන්නට වන්නේ කණගාටුවෙන්.
එ නිසා මේ සිටින සුපිරි දක්ෂයන් මෙන්ම පුහුණුකරුවන්ද නිසි ලෙස මෙහෙයවමින්,ඔවුන්ගේ ශක්‍යතාවයන් වර්ධනය කිරිමට අවශ්‍යය පියවර ගන්නා හැටියට අපි වොලිබෝල් බලධාරීන්ට මෙන්ම මේ රටේ ක්‍රිඩා බලධාරීන්ටද මේ සතුටු ජනක අවස්ථාවේම මතක් කරන්නේ, ජයග්‍රහණය යනු සතුටු වී කා බී වී විනාශ වෙන්නට ඇති කරන මොහොතක් පමණක් නොව එය දිගින් දිගටම ආඩම්බරයෙන්,සංතෝශයෙන් සුරක්ෂිත කර ගත යුතු නොනිමෙන මොහොතක් විය යුතුය යන්න අපේ ලාංකේයත්වයේ හැඟීම විසින් දනවන නිසයි.
තරගාවලියේ මුල් අවස්ථාවෙන් පසුව දිප්ති රොමේස් ට නායකත්වයත් සමඟ පිටියට පැමිණිම අපොහොසත් වුවත්,ලෙසඳු මෙත්මාල් එම අඩුව අපූරුවට පුරවමින් කණ්ඩායම මෙහෙය වූ බව දකින්නට ලැබුණා.එයත් වැදගත්.දිප්ති ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සමග ක්‍රීඩා කිරිමෙන් ලද පන්නරය ඒ අවස්තාවන්ගෙන් පැහැදිළි වෙනවා.අවසානයේ සූරතා කුසලානයට අත තබන්නට දිප්ති කැඳවාගෙන එන්නට ලෙසඳු පෙන් වූ නිහතාමනීත්වයද අතිශයින් වැදගත් වන්නේ වොලිබෝල්වල විශ්මයම,සෞන්දරයම,විටිනාකමම ආදරයෙන් ගෞරවයෙන් වැළඳ ගන්නට සූදානම් අලුත් පරම්පරාවක් ගැන එයින් පළ වෙන ඉඟි නිසයි.
සටහන – නිෂ්මං රණසිංහ
