ජාතික තරුණ ප්‍රතිපත්තියට පුරවැසි අදහස් ලබාගැනීම ඇරඹේ!

0
85

කොළඹ LNW:ජාතික තරුණ ප්‍රතිපත්තිය සකස් කිරීම වෙනුවෙන් පුරවැසි අදහස් ලබා ගැනීම ආරම්භ කර තිබේ.

එළඹෙන 2026 වසරේ ජනවාරියේදී ජාතික තරුණ ප්‍රතිපත්තිය ඉදිරිපත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව තුළ ජාතික තරුණ ප්‍රතිපත්තියක් අවසන් වරට ඉදිරිපත් කරන ලද්දේ 2014දී වන අතර එය මේ වන විට සමාජ වෙනස්කම් හමුවේ නව්‍යකරණය විය යුතුව තිබේ.

ඒ අනුව ජාතික තරුණ ප්‍රතිපත්තිය සකස් කිරීම පිළිබඳව අද (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ සහ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිදු සමන් හෙන්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ මෙරට තාරුණ්‍යයට ගැලපෙන නව ප්‍රතිපත්තියක අවශ්‍යතාවය පවතිනින බවයි.

මෙරට තුළ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ තාරුණ්‍යයේ නියෝජනය අවම මට්ටමක පවතින බවත්, එම ක්‍රියාවලියට තාරුණ්‍යය සම්බන්ධ කිරීම වෙනුවෙන් වැඩපිළිවෙලක් සකස් කරමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අනාගතයට ගැලපෙන තාරුණ්‍යයක් නිර්මාණය කිරීම වෙනුවෙන් අවශ්‍ය පුළුල් හා නවීන තරුණ ප්‍රතිපත්තියක් සකස් කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ජාතික තරුණ ප්‍රතිපත්තිය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය හා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල එක්ව සකස් කිරීමට යෝජිත අතර ඒ අනුව එම ප්‍රතිපත්තිය සකස් කිරීම වෙනුවෙන් පුරවැසි අදහස් හා යෝජනා ලබා ගැනීම නොවැම්බර් 20 දක්වා සිදු කිරීමට නියමිතයි. එම අදහස් හා යෝජනා ලබාදීම වෙනුවෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් QR කේතයක්, ෆේස්බුක් ගිණුමක්, වට්ස් ඇප් අංකයක්, ෆැක්ස්, දුරකථන අංකයක්, විද්‍යුත් තැපැල් ලිපිනයක් ප්‍රකාශයට පත් කර තිබේ. එමෙන්ම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයට ලිඛිතව ද එම යෝජනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතියි.

මෙහිදී අදහස් දක්වමින් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා පැවසුවේ ජාතික තරුණ ප්‍රතිපත්තිය සකස් කිරීමෙන් පසු එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ක්‍රියාකාරී සැලැස්මක් ද සකස් කිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ වනවිට පවතින ජාතික තරුණ ප්‍රතිපත්තිය ප්‍රායෝගික එකක් නොවන බවත් එහි ඇති පසුගාමී ලක්ෂණ හේතුවෙන් නව ජාතික තරුණ ප්‍රතිපත්තියක අවශ්‍යතාවය හඳුනාගෙන ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ජාතික තරුණ ප්‍රතිපත්තිය සකස් කිරීමේ දී විෂය ප්‍රවීණයන්ගේ හා විද්වතුන්ගේ අදහස් ලබා ගැනීමට නියමිත අතර තරුණ ප්‍රජාවගේ අදහස් හා යෝජනා ලබා ගැනීම වෙනුවෙන් වූ ක්‍රමවේදයක් සකස් කර ඇති බවයි හෙතෙම පැවසුවේ.

මෙම ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමේදී ශ්‍රී ලංකාවේ සියලුම ස්ථරවල තරුණ තරුණියන් ආවරණය වන පරිදි හා තරුණ ශ්‍රම බලකාය සවි බල ගැන්වීම සහ පෞර්ෂවත්, නායකත්වයෙන් යුතු නිර්මාණශීලී තාරුණියක් ගොඩනැගීම වෙනුවෙන් වූ ප්‍රතිපත්ති සකස් කිරීමට නියමිත බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

මෙම ජාතික තරුණ ප්‍රතිපත්තිය සැකසීමේදී ඊට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල අවශ්‍ය තාක්ෂණික සහය ලබා දීමටද සූදානමින් පසුවෙයි.

ආශිකා බ්‍රාහ්මණ