සටහන – පුලී
ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): ලෝකයේ සුපිරි වේදිකාවල දහස් ගණනක් රසිකයන් ඉදිරියේ ගීත ගායනා කරන, මිල අධික ඇඳුම් ආයිත්තම්වලින් සැරසී රතු පලස් මත ගමන් කරන සුපිරි රැප් ගායිකා Cardi B ට පවා ගෙදර වැඩවලින් ගැලවීමක් නොමැති බව පෙන්වන අපූරු සිදුවීමක් මේ දිනවල සමාජ මාධ්යවල අවධානය දිනාගෙන තිබේ.
ඇමරිකානු රැප් ගායිකාවක වන Cardi B, ඩොමිනිකන් ජනරජයේ Montecristi පළාතේ Castañuelas ප්රදේශයේ පිහිටි සිය ආච්චිලා සීයලාගේ නිවසට ගිය අවස්ථාවේදී කොස්සක් අතට ගෙන නිවස පිරිසිදු කරන ආකාරය දැක්වෙන වීඩියෝ කිහිපයක් අන්තර්ජාලයට එක්වීමත් සමඟ මෙම සිදුවීම කාගේත් කතාබහට ලක්ව තිබේ.
තම 34 වැනි උපන්දිනය යෙදී තිබූ ඔක්තෝබර් 11 වැනිදා ආසන්නයේ පවුලේ සාමාජිකයන් හමුවීමට ගිය Cardi B, එහිදී සුපිරි තාරකාවකට හිමි විවේකය භුක්ති විඳිනවා වෙනුවට කොස්ස, වතුර සහ පිරිසිදු කිරීමේ උපකරණ සමඟ කාර්යබහුල වී සිටිනු දැකගත හැකි විය.
වාර්තා වන අන්දමට ඇයගේ පියා වන Papa Bardi විසින් බෙදාගෙන තිබූ වීඩියෝවල Cardi B නිවස අතුගාමින්, බිම අතුල්ලමින් සහ වතුර යොදා නිවසේ කොටස් පිරිසිදු කරමින් සිටින ආකාරය දැක්වේ. සාමාන්ය ඇඳුමකින් සහ සෙරෙප්පු දෙකකින් සැරසී සිටි ඇයගේ පෙනුම රතු පලස් මත දිදුලන සුපිරි තාරකාවකට වඩා නිවාඩුවට ගමේ ගෙදර පැමිණි දියණියකගේ පෙනුමට සමීප විය.
මෙම දර්ශන නැරඹූ රසිකයන්ට ඇති වූ ප්රධාන ප්රශ්නය වූයේ, ලෝකයේ කොහේ ගියත් තමන්ගේම නීතිවලට අනුව ජීවත් විය හැකි තරම් ප්රසිද්ධියක් හිමි Cardi B ට පවා ආච්චිගේ ගෙදරදී කොස්සෙන් ගැලවීමට නොහැකි වූයේ මන්ද යන්නයි.
කෙසේ වෙතත්, මෙම සිදුවීමේ වඩාත්ම හාස්යජනක පැත්ත වන්නේ Cardi B සුපිරි තාරකාවක වුවද ඇයගේ පවුලේ නිවසේදී ඇයටද සාමාන්ය ගෙදර වැඩවලින් ගැලවීමට නොහැකි වීමයි. වේදිකාවේදී මයික්රෆෝනය අතට ගන්නා ඇයට ආච්චිගේ ගෙදරදී කොස්ස අතට ගැනීමට සිදුවීමෙන් පෙනී යන්නේ ප්රසිද්ධියටත් වඩා පවුලේ නීති බලවත් බවයි.

