සටහන – පුලී
ඔක්තෝම්බර් 19, LNW (කොළඹ): වසර 143ක පමණ ඉතිහාසයක් පුරා අභිමානයෙන් නැඟී සිටි ගොඩනැඟිල්ලක් ගිනිදැල්වලට මැදිව විනාශයට පත්වන අයුරු දෑස් ඉදිරිපිට දැකීමට සිදුවුවහොත්, එම වේදනාව වචනවලින් විස්තර කළ හැකිද? ප්රංශයේ ලිමොජ් (Limoges) නගරයේ පිහිටි ඓතිහාසික නගර ශාලාව ගින්නෙන් දැඩි ලෙස හානි වීමත් සමඟ එහි වැසියන් මුහුණ දී සිටින්නේ එවැනිම සංවේදී අත්දැකීමකටය. ඔක්තෝබර් 17 වැනි සෙනසුරාදා ප්රංශය පුරා පැවති විරෝධතා අතරතුර සිදුවූ බව කියන ගිනි තැබීමක් හේතුවෙන් මෙම ගොඩනැඟිල්ල ගිනිගෙන ඇති අතර, ගින්නෙන් එහි ඓතිහාසික ඔරලෝසු කුලුනේ මුදුන ද කඩා වැටී තිබේ. අන්තර්ජාලය ඔස්සේ පැතිර ගිය වීඩියෝ දර්ශනවලින් දැකගත හැකි වූයේ වසර ගණනාවක් නගරයේ අහස අලංකාර කළ ගොඩනැඟිල්ල ගිනිදැල්වලින් වැසී යන හද කම්පා කරවන දසුනකි. ලෝක යුද්ධ වලින් පවා නොසෙල්වී තිබූ මෙම ඓතිහාසික ගොඩනැඟිල්ලට මේ සිදු වූයේ කුමක් ද?
මෙම නගර ශාලාවේ ඉතිහාසය 19 වැනි සියවස දක්වා දිව යයි. 1879 වසරේ ආරම්භ කළ ඉදිකිරීම්වලින් පසු 1883 ජූලි 14 වැනිදා නිල වශයෙන් විවෘත කරන ලද මෙම ගොඩනැඟිල්ල, ප්රංශ ගෘහ නිර්මාණ ශිල්පයේ අලංකාරය සහ එරට නගර සංස්කෘතියේ අභිමානය නියෝජනය කළ සුවිශේෂී නිර්මාණයකි. අලංකාර මුහුණතකින් සහ මීටර් 43ක් පමණ උසැති ඔරලෝසු කුලුනකින් සමන්විත එය, දශක ගණනාවක් පුරා ලිමොජ් නගරයේ කැපී පෙනෙන සලකුණක් බවට පත්ව තිබුණි. එහි බිත්ති අතරින් ගලා ගියේ නගර පාලනයේ කටයුතු පමණක් නොවේ. පරම්පරා ගණනාවක ජනතාවගේ ජීවිත, මතකයන් සහ නගරයේ ඉතිහාසය ද එම ගොඩනැඟිල්ල සමඟ බැඳී තිබුණි.



ගොඩනැඟිල්ලේ ඓතිහාසික වටිනාකම කොතරම් ඉහළද යන්න එය සංරක්ෂණය කළ යුතු උරුමයක් ලෙස නම් කර තිබීමෙන් ද පැහැදිලි වේ. 1975 වසරේදී එහි ඓතිහාසික මුහුණත, වහල සහ උල්පත ඇතුළු කොටස් සංරක්ෂණය කළ යුතු උරුමයන් ලෙස පිළිගෙන තිබේ. එවැනි වටිනාකමක් සහිත ගොඩනැඟිල්ලක් ගින්නෙන් විනාශයට පත්වීම යනු ගඩොල්, ලී සහ ගල්වලින් නිමවූ ඉදිකිරීමකට හානි වීමක් පමණක් නොවේ. එය නගරයක අනන්යතාවටත්, සංස්කෘතික උරුමයටත්, අනාගත පරපුරට දායාද කිරීමට තිබූ ඉතිහාසයේ කොටසකටත් සිදුවූ බරපතළ පහරකි.
ගින්නෙන් පසු ඉරිදා දිනයේදී නගරවාසීන් කම්පනයෙන් යුතුව හානි වූ ගොඩනැඟිල්ල දෙස බලා සිටියදී, ගිනි නිවන භටයෝ මුළු රාත්රිය පුරා සිදු කළ මෙහෙයුම්වලින් අනතුරුව එහි ආරක්ෂාව සහ ව්යුහාත්මක ස්ථාවරත්වය පරීක්ෂා කිරීමට කටයුතු කළහ. ගොඩනැඟිල්ලේ වහලයට දැඩි හානි සිදුව තිබූ අතර, ඔරලෝසු කුලුනේ මුදුන කඩා වැටීමෙන් විනාශයේ බරපතළකම තවදුරටත් පැහැදිලි විය. ගොඩනැඟිල්ල සම්පූර්ණයෙන් කඩා වැටීමේ අවදානමක් තිබේද යන්න පිළිබඳව බලධාරීන් එම අවස්ථාවේදී නිල තහවුරු කිරීමක් සිදු කර නොතිබුණි. ගින්න නිවා දැමීමට හැකි වුවද, මෙම ඓතිහාසික උරුමය කෙතරම් දුරට ආරක්ෂා කරගත හැකිවේද යන්න පිළිබඳ අවිනිශ්චිතතාව තවමත් ඉතිරිව තිබේ.

