කොළඹ LNW:2026 වර්ෂය තුළ සමස්ත ප්රජා සවිබලගැන්වීමේ වැඩසටහන් සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 5,011ක් වෙන්කර තිබේ.
එම වැඩසටහන්වලට සමගාමීව, කැලණිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ අස්වැසුම ප්රතිලාභී පවුල් සඳහා ස්වයං රැකියා ආරම්භ කිරීමට අවශ්ය පහසුකම් සැපයීමේ වැඩසටහනක් අද (19) ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්රධානත්වයෙන් කැලණිය ප්රාදේශීය ලේකම් කාර්යාල පරිශ්රයේදී පැවැත්විණි.
ඒ යටතේ නිමි ඇඳුම් නිෂ්පාදනය, ජංගම වෙළෙඳ කුටි ආරම්භ කිරීම, ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා සඳහා අවශ්ය පහසුකම් සැපයීම සහ කෙටි ආහාර නිෂ්පාදනය ඇතුළු විවිධ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් ක්රියාත්මක කර ඇත.
මීට අමතරව, කැලණිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ අස්වැසුම ප්රතිලාභී පවුල්වල අධ්යාපන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගය සමත් පාසල් සිසුන් සඳහා ‘සිප්දොර’ ශිෂ්යත්ව පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණි. එසේම, විමධ්යගත අයවැය යටතේ මන්ත්රීවරුන් සඳහා වෙන් කර ඇති ප්රතිපාදන භාවිත කරමින් කැලණිය ආසනයේ යෞවන සමාජ සඳහා ක්රීඩා භාණ්ඩ කට්ටල ප්රදානය කිරීම ද සිදු විය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්ය ආචාර්ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ, ප්රතිලාභීන්ට සෘජුවම මුදල් ලබා දීම වෙනුවට, ඔවුන්ට ස්වයං රැකියා ආරම්භ කර ආර්ථිකය ශක්තිමත් කරගැනීමට අවශ්ය පහසුකම් සැලසීම රජයේ අරමුණ බවයි. ඒ තුළින් ජනතාව යැපුම් මානසිකත්වයෙන් මුදවාගෙන, තමන්ගේම ශක්තියෙන් ආර්ථික වශයෙන් නැඟී සිටිය හැකි ස්වයංපෝෂිත පවුල් සහ ගම්මාන ගොඩනැඟීමට රජය අපේක්ෂා කරන බව ද අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට කැලණිය ප්රාදේශීය ලේකම් ගයනි රණසිංහ මහත්මිය, කැලණිය ප්රාදේශීය සභාවේ උප සභාපතිනි ලක්ෂිකා සුභාෂිණී මහත්මිය, කැලණිය සමෘද්ධි මූලස්ථාන කළමනාකරු ප්රියන්ත කරුණාරත්න මහතා ඇතුළු ප්රාදේශීය ජනතා නියෝජිතයෝ, රාජ්ය නිලධාරීහු සහ ප්රතිලාභීහු එක්ව සිටියහ.
දිළිඳුකම තුරන් කර, යැපුම් මානසිකත්වයෙන් මිදී ස්වෝත්සාහයෙන් නැඟී සිටින අභිමානවත් පුරවැසියන් බිහිකිරීම වත්මන් රජයේ ප්රමුඛ අරමුණක් වන අතර ඒ අනුව, 2029 වසර වන විට අස්වැසුම ප්රතිලාභී පවුල් ලක්ෂ 12ක් සවිබලගැන්වීමේ ඉලක්කය සහිතව, ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ප්රජා සවිබලගැන්වීමේ වැඩසටහන් රැසක් ක්රියාත්මක කරනු ලබයි.
ඒ යටතේ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන්, සහන පොලී අනුපාත යටතේ ණය පහසුකම් සැපයීම, තරුණ තරුණියන් ඉලක්ක කරගත් වෘත්තීය පුහුණු වැඩසටහන්, ව්යවසාය සංවර්ධන වැඩසටහන්, පාසල් දරුවන් සඳහා ශිෂ්යත්ව වැඩසටහන්, මූල්ය කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සහ මනෝසමාජීය සවිබලගැන්වීමේ වැඩසටහන් ඇතුළු ව්යාපෘති ක්රියාත්මක වේ.


