කොළඹ LNW:වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා සිටි ජාතික වස්තුවක් වූ කාවන්තිස්ස හස්තියාගේ අවාසනාවන්ත වියෝව පිළිබඳව රජය දැඩි කම්පාවට පත්වන බවත්, මෙවැනි පාරිසරික අපරාධ සිදුකරන පුද්ගලයින්ට එරෙහිව පරිසර නීතිය තරාතිරම නොබලා තදින්ම ක්‍රියාත්මක කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මධ්‍යම පරිසර අධිකාරිය මගින් 11 වන වරටත්, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද (19) සංවිධානය කරන ලද “ජනාධිපති පරිසර සම්මාන 2026” සම්මාන ප්රදානෝත්සවය අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.
ස්වාභාවික සම්පත් තිරසාර ලෙස කළමනාකරණය කළ ආයතන වෙනුවෙන් මෙහිදී රන්, රිදී, ලෝකඩ සහ කුසලතා සම්මාන 195ක් පිරිනැමුණු අතර, රන් සම්මාන ප්රදානය සිදුවූයේ අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,
”රටක් පොහොසත් වන්නේ ආර්ථික දර්ශකවලින් පමණක් නෙමෙයි, පිරිසිදු වාතය, පානීය ජලය සහ සෞඛ්‍ය සම්පන්න පරිසර පද්ධතියක් පැවැතීමත් ජනතාවගේ ජීවිත සුන්දර වීමට අත්‍යවශ්‍යයි. ඒ වෙනුවෙන් ආරම්භ කළ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන හුදෙක් පාරවල් පිරිසිදු කිරීමක් පමණක් නොව, කසළ අවම කර අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය කරමින් පරිසරය දෙස බලන ආකල්ප වෙනස් කරන ජාතික පරිවර්තනයක්.
කාවන්තිස්ස හස්තියාගෙන් පසු යළි මෙවැනි ඛේදවාචක සිදු වෙන්න ඉඩ දෙන්න බැහැ, තනතුර, ධනය හෝ බලපෑම් මත පරිසර නීතිය වෙනස් වෙන්නේ නැහැ, සියලු දෙනාට සමානව පරිසර නීතිය ක්‍රියාත්මක කරනවා. බලපත්‍ර නිකුත් කිරීමේ සිට ව්‍යාපෘති අනුමත කිරීම දක්වා සියලු දේ විද්‍යාත්මක සාක්ෂි සහ පූර්ණ විනිවිදභාවයකින් සිදුවිය යුතුයි. පරිසරය විනාශ කර සිදුකරන සංවර්ධනයක් කිසිසේත්ම තිරසාර සංවර්ධනයක් නෙමෙයි.
කාවන්තිස්ස හස්තියා බේරා ගැනීමට වනජීවී නිලධාරීන් සහ පශු වෛද්‍ය කණ්ඩායම් දැඩි වෙහෙසක් දැරුවා නමුත් තුවාල සහ ආසාදන තත්ත්වය නිසා එම හස්තියා බේරා ගැනීමට නොහැකි වුණා. කාවන්තිස්ස හස්තියාගේ වියෝව පිළිබඳව රජය දැඩි කම්පාවට පත්වෙනවා. අනාගතයේදී මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා වනසතුන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ වැඩපිළිවෙල සහ පශු වෛද්‍ය අධ්‍යාපනය තවදුරටත් ශක්තිමත් කරනවා.
දිගුකාලීන අලි-මිනිස් ගැටුම කළමනාකරණය සඳහා රජය දැනටමත් ගෙන ඇති ප්‍රායෝගික පියවර රැසක් අරාගන තිබෙනවා. ඒ අනුව වනාන්තර 113ක් රක්ෂිත බවට පත් කරමින් හෙක්ටයාර 71,900ක් (අක්කර 180,000ක්) ආරක්ෂිත භූමි බවට පත් කර ඇති අතර, සතුන්ගේ නිදහස් සංචරණය සඳහා අලිමංකඩ 3ක් සහ අලි කළමනාකරණය සඳහාම වෙන් වූ රක්ෂිතයක් ස්ථාපිත කරමින් පවතිනවා. තවද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර කටයුතු ශක්තිමත් කිරීමට කැබ් රථ 100ක්, බයිසිකල් 185ක් සහ ට්‍රැක්ටර් 9ක් ලබා දී ඇති අතර, අලි වැට නඩත්තුව සඳහා අලි වැට සහායකයින් 3,500ක් සහ සිවිල් ආරක්ෂක බලකායේ 5,000ක් යොදවා තිබෙනවා.
වසර 26කට පසු පරිසර පනත සංශෝධනය කිරීමට කටයුතු කළ බවත්, පරිසර අමාත්‍යාංශයට නව නිලධාරීන් 1,600කට වැඩි පිරිසක් බඳවා ගනිමින් සිටිනවා.”
පරිසර සංරක්ෂණය යනු තාවකාලික ව්‍යාපෘතියක් නොව රාජ්‍ය ප්‍රතිපත්තියේ මෙන්ම සෑම පුරවැසියෙකුගේම දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය කොටසක් විය යුතු බවත්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට හරිත තාක්ෂණයට යොමු වීමට සහාය වීම, පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ ප්‍රායෝගික පරිසර කුසලතා දිරිමත් කිරීම සහ ආගමික ස්ථාන මුල් කරගනිමින් පාරිසරික සදාචාරාත්මක වගකීම වර්ධනය කිරීම අත්‍යවශ්‍ය බවත් පැවසූ අග්‍රාමාත්‍යවරිය, අනාගත පරපුරට සුරක්ෂිත, ලස්සන සහ පිරිසිදු රටක් උරුම කර දීම සඳහා සමස්ත ජනතාවගේම සහයෝගය අපේක්ෂා කරන බව ද පවසා සිටියාය.
මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය, ධම්මික පටබැදි, කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩ්, පරිසර අමාත්‍යංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, විදේශ නියෝජිතයන්, සම්මානලාභින් විශාල පිරිසක් එක්ව සිටියහ.


