යම් අර්බූදයකට විසඳුම් ඇත්තේ තමන් සතුව පමණක් යැයි සිතන දේශපාලන ව්‍යාපාරවලට දේශපාලන චින්තනයක් නැත. ඇත්තේ ආගමික දෘෂ්ඨියකි. මන්ද, සියළු ආගම්වලට අනුව පරම සත්‍ය ඇත්තේ තමන් සතුව පමණි. ඔවුන්ට අනුව ස්වකීය දෘෂඨියට පරිබාහිරව පවත්නා සියල්ල මිත්‍යාවන් වේ..
මම මේ විවේචනය අරන් එන්නෙ අනුර සහෝදරයාගේ “අරගලය ජයගත හැක්කේ ජා.ජ.බ.ය යටතේ පමණක් යැයි “පැවසූ ප්‍රකාශය සම්බන්දවය.
අනුර යනු ජ.වි.පෙ. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ගෙන ඒමට විශාල වැඩකොටසක් කල චරිතයක් උවත් ඔහුගේ ප්‍රකාශ හරහා පවා ජ.වි.පෙ. පරණ අවතාර හොල්මන් කරනු පෙනේ. වෙන මොනවා නැතත් පසුගිය නමවෙනිදාවල්වල උත්ගතවූ තත්වය දඩමීමා කරගනිමින් ඔවුන්ගේ පරණ ව්‍යාපාරය මෙන් රට තුල කැලෑ ආන්ඩු නිර්මාණය කිරීමට උත්සාහ නොකිරීම සහ අරගලය මැතිවරණයක් දෙසට තල්ලුකිරීමට අනුර ගත් උත්සාහය පැසසිය යුතුය.
මෙහිදී හරිනි වැනි ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්දැයි දන්නා චරිත ව්‍යාපාරය තුලට උඩින් හෝ ගෙනත් බස්සවා ගැනීම අනුර ගත් නිවැරදි දේශපාලන උපායමාර්ගයකි.
බොහෝවිට ජ.වි.පෙ. එහි ඉතිහාසය ස්ටාලින්වාදී අක්මුල් වලින් ගලවා ප්‍රජාතන්ත්‍රවාදය දෙසට රැගෙනයාමට අනුරට හැකිවූයේ ඔහුට 88,98,ඉතිහාසයය සමඟ ලොකු නෑකමක් නොතිබීම නිසාද විය හැකිය.
ලංකාව සමාජවාදී ස්වර්ගයක් කරා රැගෙන යන එකම පොල්මහ්කාර පන්ති සටන්කරුවන් තමන් යැයි යන අන්ද ස්වයංමෝහනය පරණ ජ.වි.පෙ.ය එරී සිටි අස්තානයයි.
ඔවුන්ගේ ව්‍යාපාරයට පරිබාහිරව සිටින මිනිසුන්ට වෙනස් මත දැරීමට තිබූ අයිතිය ගැන ඔවුන්ගේ විග්‍රහය උනේ එකී මත ප්‍රතිවිප්ලවවාදී මත ලෙසය.
ඒ හේතුවෙන් විජේ කුමාරතුංග වැනි වෙනස් මත දැරූ දහස්ගානක් මිනිසුන්ට ජ.වි.පෙ. යේ පරමාදර්ශී ස්වර්ග රාජ්‍ය වෙනුවෙන් මෙලොව හැරදායාමට සිදුවිය.
නූතන ප්‍රජාතන්ත්‍රවාදයට අනුව තමන්ගේ මතය ලොව ඇති නිවැරදිම මතය ලෙස අර්තගන්වාගන්නා සහ වෙනත් මත සතුරු මත ලෙස සලකන ව්‍යාපෘති සැලකෙන්නේ ෆැසිස්ට් ව්‍යාපෘති ලෙසය.
මේ බහුවිධ යථාර්ථයන්ගේ යුගයයි. මගේ යථාර්ථය ලොව ඇති එකම යථාර්ථය නොවේ..
තමන්ගේ මතය පමණක් පරමාදර්ශී මතය ලෙස විස්වාස කරන දේශපාලන බලවේග අති බයානකය. මන්ද ඔවුන් පෙන්වන සපත්තුවට අනුව සියළු ජනතාවගේ කකුල් කපනු ලැබේ.
සියළු ආගම්වලට අනුව සත්‍ය පිළිඹඳව නව ගවේෂණ තිබිය නොහැකිය. මන්ද ඔවුන්ගේ ආගමේ සාස්තෘවරයා මේවනවිට සියළු සත්‍ය අනාවරණය කරගෙන අවසන්ය.
මේ රෝගය දේශපාලන ව්‍යාපාර වලට බෝඋන විට තත්වය වඩාත් බයානක වේ. මන්ද, ෆැසිස්ට්වාදය උපදින්නේ එතනින්ය.
ෆැසිස්ට්වාදය හෝ ස්ටාලින්වාදය පැනනැංග සෑම තැනකදී ම එයට පුජකයෙක් බඳු අනුත්තර නායකයෙක් සිටියේය.
එහිදී ජනතාව යනු මේ අනුත්තර නායකයා විසින් දක්කන අම්බරුවන් පමණක් විය. එහිදී තනි තනි මිනිසුන්ගේ මතය පයිසෙකටවත් මායිම් නොකරන ලදී..
මෙහිදී ස්ටාලින්දය හෝ ෆැසිස්ට්වාදය පැවති තැන්වල තිබූ මූලික ලක්ෂනයක් නම් ඒ තැන්වල කිසිදු මිනිස් අයිතිවාසිකම් කිසිවක් නොපැවතීමය. ඒ වෙනුවට අනාගත ශුද්දවූ රාජ්‍යයක් වෙනුවෙන් මිනිසුන්ට හා ළමුන්ට අනේකවිධ කැපකිරීම් කරමින් රාජ්‍යය වෙනුවෙන් දියවී යන්නට යෝජනා කරයි.
සමාජය සැදුම්ලත් මූලික ඒකකය තනි තනි මිනිසුන්ය. එකී මිනිසා අයිතිවාසිකම් කිසිවක් නොමැතිව වැරහැළි වී යයි නම් එකී සමාජයේ දියුණු යැයි සම්මත කිසිවක් නොපවතී.
සමස්ථ සමාජ යථාර්ථය පසුගාමී නම් ඒ පසුගාමී සමාජයේ සියල්ල පසුගාමීය. එයින් ගැලවී සියල්ලට ඉහලින් සිට එකී සමාජයට මග පෙන්වන දිව්‍යමය දේශපාලන ව්‍යාපාර පැවතිය නොහැකිය.
මෙහිදී ජ.වි.පෙ.ය ජනවාර්ගික ප්‍රශ්නයට නොදන්නා උත්තර සැපයීමට ගොස් යුද්ධයට උඩගෙඩි දෙමින් අවසානයේ බර අවි වලින් දෙමළ ජනයාට පහරදෙන ලෙස රජයට බලකර සිටි මෘග භාවිතාව යනු ඔවුන් සිටින්නෙද පවත්නා සමාජයේම බවට හොදම උදාහරණයයි.
ජ.වි.පෙ.යට නිවැරදි වීමට නොහැකි එක් ප්‍රධාන හේතුවක් නම් ඔවුන් විසින් ඔවුන්ගේ පරණ ලේ වැකි දේශපාලනය මල් පහන් පුදා දේවත්වයෙන් ඇදහීමය.
පූජනීයත්වයෙන් අදහන දෙයක වැරදි තිබිය නොහැකිය . එහෙයින් එය නිවැරදි කරගත නොහැකිය.
මෙහිදී ඔවුන්ට එල්ලවන සාධාරණ විවේචන පවා ඔවුන් දකින්නේ ඔවුන්ට එරෙහි ධනපති කුමණ්ත්‍රන ලෙසය. මෙහිදී,ශුද්ධ වූ දෑ විවේචනය කිරීම වූ කලි කුරුසපත් කිරීම තරම් බරපතල වරදකි.
දකුණේ ආණ්ඩු උතුරේ දෙමළ ජනයා දෙස මානුෂීක ඇසකින් බලා ඔවුන්ගේ ඉල්ලීම් වලට අවදානය යොමු කල සෑම විටෙකම ඒකීය රාජ්‍ය විකාරයක් ගෙනැවිත් ඊට එරෙහි වූයේ ජ.වි.පෙ.යයි.
අවසානයේ නිරර්ථක යුද්ධයක් වෙනුවෙන් ඩොලර් බිලියන දෙසීයක් විනාශ කර සහ මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් නැතිවෙන තැනට අර්බූදය දික්ගස්සලා දුන්නේ ජ.වි.පෙ.යයි.
හැත්තෑහතේදි දකුණු ආසියාවේ මුලින්ම ගෝලීයකරණයට පය තැබූ රාජ්‍ය ලංකාව උනත් ප්‍රාග්ධනයට රට තුලට පැමිණිමට ඉඩ නොදී ගෝලීයකරණයට මාරාන්තික ලෙස එරෙහි වුයේ ජ.වි.පෙ.යයි. මෙයට හේතුව කීර්ති විජයබාහු, කැප්පෙටිපොළ වර්ගයේ අතීතකාමී දූපත්වාදයක සිරවූ ජ.වි.පෙ.යේ ඓතිහාසික ගෝත්‍ර චින්තනයයි. කොටින්ම ලංකාව මේ මොහොතේ සිරව ඇති මහා අර්බූදයට පවා ජ.වි.පෙ. ඉතිහාස ක්‍රියාකාරකම් ඝෘජුවම වගකිව යුතුය.
පැරණි ජ.වි.පෙ.ට අනුව බලය ලබා ගැනීමේ ශුද්ධ වූ ක්‍රමය ලේ ගලන සන්නද්ධ අරගලයයි. එතනින් මෙපිට පාර්ලිමේන්තුව තුලින් බලය ලබා ගැනීම ඔවුන්ට අනුව අවඥාවට බදුන්වන ක්‍රමවේදයකි. මෙය ප්‍රජාතන්ත්‍රවාදය සම්ච්ඡලයට ලක් කෙරෙන ෆැසිස්ට්වාදයකි. වර්තමාන ජ.වි.පෙ.ය එයින් මිදීම අප වටහාගත යුත්තේ ඔවුන් තුලම සිදුවූ සිවිලයිස් වීමක් ලෙසය. එසේ නොමැතිව මල ඉලවු දකුණට ගමන් කිරීමක් ලෙස නොවේ.
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
RN