අවුරුදු 16 දී කියවීමට ඉගෙන ගත් පෝලියෝ රෝගයෙන් පෙළුණු යාචකයෙකුගේ සිට ජීවිත බේරා ගන්නා වෛද්‍යවරයෙකු දක්වා…

0
165

ලී චුවාන්ගි යනු ඔහුගේ දුෂ්කරතා ජය ගැනීම සහ කඳු නැගීම සඳහා ඔහු තුළ ඇති ආශාව පිළිබඳ කතාව ඉන්ටර්නෙට් හරහා මිලියන ගණනක් ආස්වාදයට පත් කර ඇති 37 හැවිරිදි වෛද්‍යවරයෙකි. පෝලියෝ රෝගයෙන් පීඩාවට පත්වූ ඔහුට කුඩා කාලයේදී සිඟමන් යැදීමට සිදුවූ අතර, අකුරු කියවීමට ඉගෙන ගත්තේ, වයස අවුරුදු 16දී ය.

Dr Li at a marker on Mount Henshang, in the rain.
ඡායාරූප ශීර්ෂ වැකිය,වෛද්‍ය ලී චීනයේ පූජනීය කඳු පහ සහ හුවාංෂාන් කන්ද මෙන් ම චීන මහා ප්‍රාකාරය ද තරණය කර ඇත.

1988 දී හෙනාන් පළාතේ දිළිඳු ගොවි යුවළකට දාව උපත ලැබූ ලී චුවාන්ගි මාස හතක් වයසැති ළදරුවෙකුව සිටියදී පෝලියෝ රෝගය වැළඳුණු අතර, ඔහුට විළුඹ මත හිඳ ගැනීමෙන් තොරව ඇවිදීමට නොහැකි විය.

කුඩා කාලයේදී, ලී අනෙක් දරුවන් මෙන් බෑගයක් එල්ලාගෙන පාසල් යාමට සිහින මැව්වේ ය. නමුත් ඔහු බොහෝ සෙයින් සමච්චල් කිරීම්වලට ලක් විය. ඇතැම් දරුවන් ඔහු හැඳින්වූයේ, “කසළ ගොඩක්” ලෙස ය. ඔහුට “කන්න විතරයි පුළුවන්, වෙන ප්‍රයෝජනයක් නෑ” යනුවෙන් ඔහුට බොහෝ ළමයි සරදම් කළහ.

“ඒකෙන් මාට ලොකු වේදනාවක් දැනුණා,” ලී පවසයි.

ලීට වයස අවුරුදු නවය වන විට ඔහුගේ දෙමව්පියන්ට අසන්නට ලැබුණේ ඔහුගේ දෙපාවල සැත්කමක් කිරීමෙන් ඔහුට නැවත ඇවිදීමට ඉඩ සලසනු ඇති බව ය. එහෙයින් ඔවුන් සැත්කම සඳහා ණය මුදල් ලබා ගත්හ.

ලී සැත්කම ගැන බොහෝ බලාපොරොත්තු තබාගෙන සිටියේ ය. “මම වාට්ටුවේ සුවය ලබමින් සිටියදී, අනෙක් දරුවන් අඬමින් සිටියා, නමුත් මම සිනාසෙමින් සිටියා, මොක ද මම ඉක්මනින් ම සාමාන්‍ය පුද්ගලයෙකු වගේ ඇවිදින්න යනවා කියලා මට දැනුණා,” ඔහු පවසයි.

එහෙත්, ඔහුගේ බලාපොරොත්තු බිඳ දමමින් සැත්කම අසාර්ථක වූ අතර, ලීගේ ඇවිදීමේ බලාපොරොත්තු බිඳ වැටී ඔහු ගැඹුරු මානසික අවපීඩනයකට ඇද වැටිණි. ඔහුගේ ජීවිතය අර්ථ විරහිත එකක් බව ඔහුට හැඟී ගිය අතර, තමාට මිය යාමට අවශ්‍ය බව ඔහු තම මවට පවසා තිබිණි.

ඔහුගේ මව ඔහුට කඩා නොවැටෙන ලෙස පැවසුවා ය. “අපි ඔයාව හදා වඩා ගන්නවා, අපි වයසට ගියා ම කතා කරන්න කෙනෙක් ඉන්න නිසා. බල්ලන්ට පූසන්ට කතා කරන්න බැහැ. ඒත් ඔයාට පුළුවන්,” ඇය සිය පුත්‍රයා සැනසුවා ය.

අම්මාගේ වචන තදින් ම දැනුණා. “මගේ මව්පියන් සහ පවුලේ අය මා වෙනුවෙන් කොපමණ කැපකිරීම් කර තිබේ දැයි මම සිතුවා, මම හඬා වැටුණා. මා වෙනුවෙන් පමණක් නොවෙයි ඔවුන් වෙනුවෙනුත් ජීවත් වෙන්න ඕනේ කියලා මට වැටහුණා,” ලී පවසයි.

වැඩි කලක් ගත වීමට පෙර පන්සල්වල සුවඳ කූරු විකිණීම සඳහා ආබාධිත දරුවන් සොයමින් නගරයෙන් පිටත ආගන්තුකයෙක් ගමට පැමිණියේ ය. එම පුද්ගලයා ලීට පොරොන්දු වූයේ එවකට ඔහුගේ පියාගේ මාසික වැටුපට සමාන මුදලක් නිවසට එවන බවට ය.

“මගේ මව්පියන් ඒකට තදින් ම විරුද්ධ වුණා, නමුත් මුදල් උපයා ගැනීමට සහ මගේ පවුලේ බර සැහැල්ලු කරන්න පුළුවන් අවස්ථාවක් ලෙස‍ යි මම ඒක දැක්කේ,” ලී පවසයි. අවසානයේ එම පුද්ගලයා සමග යාමට ඔහු එකඟ විය.

Li Chuangye using his hand for extra support while he walks, using a squatting stance
ඡායාරූප ශීර්ෂ වැකිය,වෛද්‍ය ලී සිය කඳු නැගීම් දහස් ගණනක් රසිකයන් වෙත සජීවීව විකාශනය කර ඇත

වීදියේ සිඟමන් යැදීම

එහෙත්, රැකියාව ගැන ඔහුට ලැබුණු පොරොන්දුව මුළාවක් විය.

ආගන්තුක පුද්ගලයා සිඟමන් යාමේ ක්‍රියාවලියක් සිදු කරගෙන ගිය බවත්, ඉන්පසු උදා වූ වසර හත තුළ ඔහුට අනෙකුත් ආබාධිත දරුවන් සහ වැඩිහිටියන් සමග වීදිවල සිඟමන් යැදීමට බල කළ බවත් වෛද්‍ය ලී පවසයි.

සිය ප්‍රධානියා සමග සිටි පළමු රාත්‍රියේදී, අනෙක් දරුවන්ගෙන් එක් අයෙකු ලීට වෙහෙස මහන්සි වී වැඩ කරන ලෙසත්, නැතහොත් පහර දෙනු ඇති බවටත් අනතුරු ඇඟවීය. එය සත්‍යයක් බවට පත්වී තිබිණි.

පසුදා උදෑසන, කමිසයක් නොමැතිව, කාසි එකතු කිරීම සඳහා බඳුනක් තබා, වඩාත් අනුකම්පාවක් ඇති කරන ඉරියව්වකින් ඔහුගේ කකුල් පිටුපසට කරකවා ලීව පදික වේදිකාවේ අතහැර ගොස් තිබිණි.

පාසල් යා යුතුව ඇති විට සිඟමන් යදිමින් සිටින්නේ ඇයි දැයි ඔහුව පසු කර යන පුද්ගලයින් විමසන තෙක් මිනිසුන් ඔහුගේ බඳුනට මුදල් දමන්නේ ඇයි දැයි ලීට නොවැටහිණි.

“මගේ ගමේ නම් හිඟාකෑම ලැජ්ජාවක්. මම කරමින් සිටියේ කුමක් ද කියන එක මට වැටහී තිබුණේ නැහැ. අවබෝධ වුණා ම මාව විනාශ වුණා වගේ දැනුණා,” ලී පවසයි.

ලීට දිනකට යුවාන් සිය ගණනක් උපයා ගත හැකි වූ අතර 1990 ගණන්වල එය විශාල මුදලක් විය. නමුත් ඒ සියල්ල ඔහුගේ ප්‍රධානියා පැහැර ගත්තේ ය. “මම අනෙක් ළමයින්ට වඩා අඩුවෙන් හම්බ කළා නම් ඔහු මම කම්මැලි යි කියලා බැනලා සමහර විට මට පහර දෙනවා. ඉතින් ඒ අවුරුදු ගාණෙදි ම ඒක ඇත්තට ම වේදනාවක් වුණා.”

කාලය ගත වන විට, බොහෝ දරුවන් පළා ගොස් තිබුණු අතර, තවත් පිරිස් පොලිසිය විසින් නිවෙස් වෙත යොමු කරනු ලැබ තිබුණහ. නමුත් ලී තම පවුලට උදව් කිරීමට අධිෂ්ඨාන කරගෙන එහි රැඳී සිටියේ ය. පොලිසිය ඔහුට සහය වීමට උත්සහ කළ විට, තමන් ඥාතීන් සමග සිටින බව පවසමින්, ඔහු නැවත නිවස වෙත යාම ප්‍රතික්ෂේප කළේ ය.

වසර හතක් පුරා ශීත ඍතුවට සහ ගිම්හානයට මුහුණ දෙමින් ලී රට පුරා සිඟමන් යදිමින් ගියේ ය.

“අපායක ජීවත් වෙනවා වගෙයි මට දැනුණේ. මට ලැජ්ජා හිතුණා සහ මම කාගේවත් ඇස් දිහා බලන එකෙන් වැළකී සිටියා, අනුකම්පාවක් ඇති කරන්න මගේ කකුල වේදනාකාරී ලෙස පිටුපසට අඹරවලා තිබුණේ. සිඟමනේ යාමෙන් වැළකී ඉන්න මම වැස්ස හෝ අඳුර වැටෙන්න කියලා යාච්ඤ කළා,” ඔහු බීබීසී ලෝක සේවයේ Outlook වැඩසටහනට පැවසීය.

සෑම අලුත් අවුරුදු උදාවකදී ම ඔහු නිවසට දුරකතනයෙන් අමතා සියල්ල හොඳින් සිදුවන බවත් ඔවුන් කරදර නොවී සිටිය යුතු බවත් පවසා දෙමාපියන්ව සනසා සිටියේ ය. “නමුත් දුරකතන ඇමතුමෙන් පස්සේ, මම මගේ කාමරයට වෙලා අඬනවා. මම පාරේ හිඟා කනවා කියලා මට ඔවුන්ට කියා ගන්න බැරි වුණා,” ඔහු පවසයි.

දැන් අවුරුදු 20කට පසුව වුව ද, ඔහු තුළ තවමත් කම්පනයක් පවතී. “හිඟාකෑම මානසිකව ගැඹුරු කැළැල් ඇති කළා – මට තවමත් ඒක හීනෙන් පේන්වා. ඒක හීනයක් පමණ යි කියලා දැනගත්තා ම සැහැල්ලුවෙන් අවදි වෙනවා.”

Dr Li pictured by a marker on Mount Hua at 2154m altitude
ඡායාරූප ශීර්ෂ වැකිය,වෛද්‍ය ලී පවසන්නේ කඳු නැගීමෙන් තමන් සතුටක් ලබන බව ය

අධ්‍යාපනය තුළින් නව මාවතක්

ලී වීදියකදී පුවත්පතක් සොයා ගත් විට සහ ඔහුගේ නමේ ඇති අකුරු පමණක් කියවිය හැකි බව ඔහුට වැටහුණු විට සියල්ල වෙනස් විය. එවිට වයස අවුරුදු 16ක පසුවූ ඔහු යළි නිවසට පැමිණීමට සහ පාසල් යාමට අවසානයේ තීරණය කළේ ය.

“මට කියවන්න යි ලියන්න යි බැහැ, අධ්‍යාපනය තුළින් පමණක් මට මගේ ජීවිතය වෙනස් කළ හැකි යි,” ඔහු සිතුවේ ය.

එම කාලයේදී රජය නව ප්‍රතිපත්තියක් හඳුන්වා දී තිබූ අතර, ආබාධිත දරුවන් සිඟමන් යැදීම සඳහා යොදා ගැනීම අපරාධයක් බව ප්‍රකාශයට පත් කර තිබිණි. තම පවුලේ මූල්‍ය තත්ත්වය වැඩිදියුණු වී ඇති බව ද ලීට ආරංචි විය. ඔහු සිය ප්‍රධානියාට තම පවුල බැලීමට යාමට අවශ්‍ය බව පැවසූ අතර ඔහුට අවසර හිමි විය.

ඔහුගේ මව්පියන් සමග යළි එක්වූ විට, ඔහු ඇත්තට ම ජීවත් වූයේ කෙසේ දැයි ඔවුහු සොයා ගත්හ. ඔහු සූරාකෑමට ලක් කළ පුද්ගලයා පොරොන්දු වූ ප්‍රමාණයට වඩා ඉතා අඩු මුදලක් ඔවුන්ට එවා ඇති බව දැනගත් විට ලී කෝප විය.

ඔහුගේ මව්පියන්ගේ සහයෝගය ඇතිව ලී, ඔහුට වඩා අවුරුදු 10ක් වයසින් අඩු සිසුන් සිටි ප්‍රාථමික පාසලක දෙවන වසරට ඇතුළත් විය. ඔහුගේ පළමු දිනයේදී ළමුන් ඔහුගේ මේසය වටා රොක් විය, නමුත් ඔහු ඒ පිළිබඳ තැකීමක් නොකළේ ය.

මම දුක් වුණේ නැහැ – මම ඊට කලින් බොහෝ සමච්චල් කිරීම්වලට සහ දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. දැන්, ශිෂ්‍යයෙකු විදිහට මට අවශ්‍ය වුණේ ඉගෙනීම කෙරෙහි අවධානය යොමු කරන්න විතර යි,” ඔහු පවසයි.

ඔහුගේ ශාරීරික තත්ත්වය හේතුවෙන් වැසිකිළියට යාම වැනි කාර්යයන් අසීරු වුව ද, ලී වඩාත් ම කැපවීමකින් ඉගෙන ගත් ශිෂ්‍යයා බවට පත්විය. “වැසිකිළියට යාමට විශාල පරිශ්‍රමයක් දැරිය යුතු නිසා මම ගොඩක් වෙලාවට පාසලේදී වතුර බොන්න එපා කියලා මට ම බලකර ගත්තා,” ඔහු පවසයි.

නොසැලෙන අධිෂ්ඨානය තුළින්, ලී වසර නවයක් තුළදී ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය සම්පූර්ණ කළේ ය. ඔහු ගමේ දරුවන්ට සෙල්ලම් කිරීමට ආරාධනා කර, පසුව ඔහුගේ පාසලේ ගෙදර වැඩ සඳහා සහය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ ය.

උසස් විද්‍යාලයට අයැදුම් කිරීමට කාලය පැමිණි විට, ඔහුගේ ශාරීරික තත්ත්වය ඔහුගේ විකල්ප සීමා කළ නමුත්, ඔහුට වෛද්‍ය අධ්‍යාපනය සඳහා අයැදුම් කළ හැකි විය. ඔහු සිතුවේ, “මම වෛද්‍යවරයෙක් වුණොත්, සමහර විට මට මගේ ම තත්ත්වය පිළිබඳව පර්යේෂණ කළ හැකි අතර මට මගේ පවුලට උදව් කරන්න පුළුවන්, ජීවිත බේර ගන්න පුළුවන්, සමාජයට දායකත්වයක් ලබා දෙන්න පුළුවන්,’‘ වැනි අපේක්ෂාවන් කෙරෙහි ය.

Dr Li at his graduation on his motorised scooter
ඡායාරූප ශීර්ෂ වැකිය,ලීට උසස් විද්‍යාලයට යාමට පැය ගණනක් අව්ව වැස්ස නොතකා ඔහුගේ ජංගම ස්කූටරය පැද යාමට ද සිදු විය.

ලී වයස අවුරුදු 25 දී වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් විය. එහි පහසුකම් වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි ලෙස පැවති නමුත්, ප්‍රායෝගික පන්ති ඔහුට වඩාත් දුෂ්කර බව ඔහුට අවබෝධ විය.

“පන්තියේ මිතුරන්ට රෝගීන් බැලීමට හෝ සීමාවාසික පුහුණුව අතරතුර වාට්ටු අතර දිව යාමට පහසුවෙන් ගුරුවරයා අනුගමනය කිරීමට හැකි වුණාට මගේ ඇවිදීමේ ගැටලු නිසා ඒවා දුෂ්කර වුණා. අනෙක් අය එක දවසකින් ඉගෙන ගත් දේට මට ගොඩක් කල් ගත වුණා.”

තමන් වඩාත් ශක්තිමත් විය යුතුව ඇතැයි ලීට හැඟුණු අතර ඔහු කඳු නැගීම ආරම්භ කිරීමට තීරණය කළේ ය. ඔහුගේ පළමු කඳු නැගීම ලෙස තායි කන්ද (Mount Tai) තරණය කිරීමේදී කඳු මුදුනට ළඟා වීමට ඔහුට දින 5ක් සහ රාත්‍රී 5ක් ගත විය. ඔහුගේ අත් සහ පාද ඉරිතලා ලේ ගැලීමට පටන් ගත් විට වුව ද ඔහු උත්සහය අතනොහැර සෙමින් සෙමින් ඉහළට පිය නැගුවේ ය.

වෛද්‍ය ලී ඔහුගේ කඳු නැගීමේ විලාසය දැක්වෙන වීඩියෝ බෙදා ගත් විට කඳු නැගීම මෙම ගිම්හානයේදී වෛරල් වූ සංවේදනයක් බවට පවත් ඇත.

දැන් වෛද්‍ය ලී ෂින්ජියැංහි කුඩා ග්‍රාමීය සායනයක් පවත්වාගෙන යන අතර, එහිදී ඔහු දිවා රාත්‍රී සේවාව සපයයි. ඔහුගේ රෝගීන් ඔහුව හඳුන්වන්නේ, ඔවුන්ගේ “ආශ්චර්යවත් වෛද්‍යවරයා” ලෙස ය.

“මගේ ම අත්වලින් රෝගීන් රැකබලා ගැනීම, මගේ අසල්වැසියන්ගේ සෞඛ්‍යය වැඩි දියුණු කිරීම වෙනත් ඕනෑ ම දෙයකට වඩා මාව තෘප්තිමත්භාවයට පත් කරනවා,” ඔහු පවසයි.

ඔහුගේ කතාව ගෝලීයව වෙසෙන චීන ප්‍රජාව අතර ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් ඔහු පුදුමයට පත්ව සිටින අතර එය ආකල්පමය වෙනසක් ඇති කිරීමට උපකාරී වනු ඇතැයි ඔහු බලාපොරොත්තු වේ.

“සමහරු ආබාධිත පුද්ගලයින්ව දකින්නේ කිසි ම වැඩකට නැති අය විදිහට යි. අවන්හල්වලදී මම ඇණ තියාගෙන ඉන්නකොට යාචකයෙක් කියලා වරදවා වටහාගෙන කෑම නැහැ කියලා තියෙනවා. මම සිනහ වෙලා යන්න යනවා, බොහෝ අය කරුණාවන්ත යි,” ඔහු පවසයි.

Dr Li chatting to local people
ඡායාරූප ශීර්ෂ වැකිය,වෛද්‍ය ලී පවත්වාගෙන යන ග්‍රාමීය සායනය සම්බන්ධයෙන් ඔහු අතිශයින් සතුටට පත්වන අතර ඔහු සතියේ දින 7 ම සේවය සපයයි

විශ්වාසය සහ අරමුණක් ඇති ජීවිතයක්

තමාව සූරාකෑමට ලක් කළ මිනිසා පිළිබඳ පැමිණිලි නොකළේ ඇයි ද? යන්න බොහෝ දෙනෙකු ලීගෙන් අසා ඇත. “අතීතයට අතීතය ම වෙලා ඉන්න දෙන්න මම තීරණය කළා. ඒ අවුරුදු හත වේදනාකාරී අත්දැකීමක් වුණා. නමුත් ඒක මගේ ජීවිතයේ ම කොටසක්,” ඔහු පවසයි.

ලීගේ ගමන මාර්ගය ඔහුගේ දෘෂ්ටිකෝණය නැවත හැඩගස්වා ඇත. “පාසල් යාමට පුළුවන් වුණා ම, මම අනික් අයගේ අදහස් හෝ තීරණ ගැන සැලකිලිමත් වෙන එක නැවැත්තුවා. ඒ දේවල් කිසි ම තේරුමක් නැහැ කියලා මම අවබෝධ කර ගත්තා. මට අවශ්‍ය වුණේ මගේ කාලය හා ශක්තිය ඉගෙනීමේ කටයුතු සහ මගේ ජීවිතයේ අරමුණ සාක්ෂාත් කර ගැනීම කෙරෙහි යොමු කරන්නට යි,” ඔහු පවසයි

ඔහු පවසන්නේ, බොහෝ ආබාධිත පුද්ගලයින් විනිශ්චයට ලක්වීමට හෝ සමච්චලයට ලක් වීමට පවතින බිය නිසා ඔවුන්ට ඉදිරියට යාමට අපහසු බව ය. “නමුත් මට නම්, ඒක ඒතරම් දෙයක් නෙවෙයි. පන්ති, වැඩමුළු හෝ මගේ කටයුතු ඔස්සේ ආබාධිත මිතුරන් සිය ගණනකට උදව් කරමින් මම විශ්වවිද්‍යාලයේ සහ නගරවල තැන්තැන්වල බඩගාගෙන තමයි යන්නේ. මම ඒක විශ්වාසයෙන් කරන බව මම හිතනවා. අනිත් අය බලන විදිහ මට තවදුරටත් වැඩක් නෑ.”

“අපේ ජීවිත කඳු වගේ, අපි එකක් නගිනවා, තවත් එකක් ඉදිරියෙන් තියෙනවා. අපි නිරන්තරයෙන් උත්සහ කරමින් ඉදිරියට ඇදෙනවා,” ඔහු ජනතාවට ජීවිතාවබෝධයක් ද ලබා දෙයි.

”මම හිතන්නේ මිනිහෙක් වුණා ම හැම වෙලාවෙ ම ධනාත්මකව, ශුභවාදීව සිටිය යුතු යි වගේ ම කිසි ම වෙලාවක තමන්ගේ සිහින අතනොහැරිය යුතු යි”

වෛද්‍ය ලී බීබීසී ලෝක සේවයේ Outlook වැඩසටහන සමග දැක්වූ අදහස් ඇසුරිනි.