මාධ්‍ය ත්‍රස්තවාදය

0
202

උපාලි කොළඹගේ

කොළඹ LNW: ” අපරාධකරුවන් ” චරිත ” බවට පත් කරන මාධ්‍ය භාවිතය හෙළා දකිමු.”
ඉහතින් පළකරන ලද්දේ භාෂා පර්යේෂකයකු මෙන්ම ප්‍රකට විද්වතකු වන කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය සඳගෝමී කොපරහේවා මහතා විසින් මුහුණු පොතේ පළ කරන ලද පෝස්ටුවකි. ප්‍රථමයෙන් මෙවැනි කාලෝචිත හා සංවාදශීලී පෝස්ටුවක් පළකිරීම පිළිබඳව එතුමන්ට ස්තුතිය පල කළ යුතුය. සමාජ මාධ්‍යයේ සාමාන්‍ය ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය මුහුණු පොතේ මෙවැනි විවාදාපන්න හා අතිශයින් වැදගත් අදහසක් ජනගත කිරීම පිළිබඳව අගය කළ යුතුය.

අපේ රටේ උගතුන් කොතරම් සිටියත් මාධ්‍ය අවභාවිතය පිළිබඳව අවංක අදහත් ප්‍රකාශ කරන්නෝ අතිශයින් දුලබය. එයට හේතුව වශයෙන් මා නම් සිතන්නේ ආචාර්ය, මහාචාර්ය මෙන්ම අනෙකුත් සාහිත්‍යකරුවන් මෙන්ම විද්වතුන් මාධ්‍ය විවේචනයට දක්වන්නාවූ අකමැත්තයි. තමන්ගේ මූනත් තහඩුව මෙන්ම විවිධ විෂයයන් පිළිබඳව මාධ්‍ය මඟින් අදහස් ප්‍රකාශනයට යටි හිතේ ඇති කැමැත්තයි. ජනමාධ්‍යයෙන් කැපී යෑමට ඇති බියයි.

විවිධ දේශපාලන අදහස් දරන බොහෝදෙනකු තුළ පවත්නා මෙම කුහකත්වය නිසා ජන සමාජයට සිදු වන අනර්ථය ගැන ඔවුන් නිහඬය.

පාතාල ක්‍රියා කාරකම් ගැන අතිශයෝක්තියෙන් හුවා දක්වා සමාජය තුළ ආතතියක් ඇති කිරීම අතීතයේද ජන මාධ්‍ය මඟින් සිදු වුවද වර්තමානයේ තරම් පතාල ක්‍රියා කාරකම් උත්කර්ෂයට නැංවූ යුගයක් තුබුණේ නැත.

විශේෂයෙන් සෙව්වන්දි නමැති බරපතල මිනීමැරුම් චෝදනාවන්ට ලක්ව සිටින කාන්තාවකට ජනකාන්ත නිලියකට ලබා දෙන ප්‍රචාරය අතිශය ජුගුප්සා ජනකය. මේ ගැන විවිධ තර්ක ඉදිරිපත් කළ හැකි මුත් යටි අරමුණ මාධ්‍ය ජනප්‍රියතාවය මිස අන් අරමුණක් නොවන බව පැහැදිලිය. පාතාල නයකයන් පිළිබඳව සිදු කෙරෙන හැම නව පරීක්ෂණයක්ම රූපවාහිනි ප්‍රචාරය කරනු ලබන්නේ ඔවුන් අත්අඩංගුවට ගත් මුල් අවස්ථා වේ දර්ශනත් සමගය. හැම පතාලනායකු ගැනම පොදු තත්ත්වය මෙසේ වුවද සෙව්වන්දිය පිළිබඳව මෙය වඩාත් තීව්‍ර අන්දමට ක්‍රියාත්මක වේ. මෙය ඇය ඇහැට කනට පේන ලාබාල තරුණියක වන නිසාද විය හැක. දියුණු රටවල ජනමාධ්‍ය හැසිරවීම ගැන හාන්කවිසියක අවබෝධයක් නැත්තා සේය අපේ බොහෝ ජනමාධ්‍යකරුවන් හැසිරෙනුයේ .

මේ මඟින් ළමා හා තරුණ පරපුරට බලවත් අනර්ථයක් සිදුවන බවය අපේ අදහසය. මෙවැනි චරිත වීරචරිත ලෙස ව්‍යංගව හෝ හුවාදැක්වීම මගින් ලාබාල මෙන්ම වැඩි උගත්කමක් නැති තරුණ තරුණයන් අනුකරණය නමැති භාවිතයට යොමුවන බව බොහෝ මනෝවෛද්‍ය උගතුන්ගේ මතයයි. සඳගෝමී කොපරහේවා මහාචාර්යතුමාගේ පෝස්ටුවට අදහසක් එකතු කරන සහෝදරියක සඳහන් කර තිබුණේ ඇතැම් තරුණ පිරිස් මේ රටේ විද්වතුන් පිළිබඳව නොදැන සිටියද පාතාල නායකයන්ගේ අල ගිය මුල ගිය විස්තර කට පාඩමෙන් දන්නා බවය. එය සම්පූර්ණ සත්‍යයකි.

ළමා හිංසනය පිටු දැකීම හබක් ද?

පාසල තුළ දරුවන්ට හිංසා කිරීම පිටු දකින නීති රෙගුලාසි පාර්ලිමේන්තුවෙන් සම්මත වීමට ඔන්න මෙන්න කියා තිබිය දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ පැවති ගුරු සේවා සංගයේ සමුළුවකදී කියා සිටියේ ජනතාව අකමැති කිසිදු දෙයක් මේ ආණ්ඩුව පාර්ලිමේන්තුවේදී අනුමත නොකරන බවයි. දණ්ඩ නීති සංග්‍රහයට යෝජිත සංශෝධන පිළිබඳව ද අදහස් දැක් වූ එතුමා ඉඟියෙන් පලකර සිටියේ යෝජිත සංශෝධන ජනතාව අකමැති නම් ක්‍රියාත්මක නොකරන බවයි.

හරි ශෝක්! ජනප්‍රිය නොවන යෝජනා රටට හිතකර නම් ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව පුන පුනා කියා සිටි රාජ්‍ය නායකයාගේ මේ යූ හැරවුම අපභ්‍රංශයකි. සිස්ටම් චේන්ජ් පිළිබඳව තබා තිබූ බලාපොරොත්තු බොඳවී යෑමකි. ගුරු තරුවක වන වෘත්තීය සමිති නායක නියෝජ්‍ය ඇමතිවරයා පසෙකින් තබා ජනාධිපති වරයා මේ කියන්නේ කාගේ අනුදැනුමටද යන්න අපට නම් අමුතුවෙන් කිව යුතු නැත. ජනාධිපතිවරයා කුමන අදහසකින් මෙසේ කීවද ඇතැම් මෝඩ ගුරාලා මෙය පාසල් සිසුනට ශාරීරික දඬුවම් දීමට දුන් බලපත්‍රයක් ලෙස අවභාවිතා කිරීමට බැරි නැත.

බස්නාහිර පළාතේ ටියුෂන් තහනමට ගෙනා යෝජනා වනට මේ සන්තෑසියම සිදු වූ බව මට නම් හොඳට මතකය. හරිනි අමරසූරිය අගමැතිනියටද එසේ වනු ඇතැයි සිතමු.

මේ අනුව ලිංගික අධ්‍යාපනය, ගබ්සා නීති සංශෝධන ඇතුළු වර්තමානයට ගැලපෙන නීති රෙගුලාසි කිසිවක් ක්‍රියාත්මක වේයැයි සිතීම උගහටය. අපේ ගුරුවරුන් වැඩි දෙනාට ජානමය දෝශයක් ඇත. ඒ ඔවුනට ආචීනකල්පික මතවලින් බැහැර වීමට ඇති අකමැත්ත හා නොහැකියාවයි. සිසුන්ට ශාරීරික දඬුවම් දීමෙන් බැහැර වීමේ නිර්මාණාත්මක හැකියාවක් ඔවුනට නැත. බොහෝ දෙනකුගේ ජනප්‍රිය මතය තමන් ගුරුවරුන්ගෙන් හොඳට ගුටිකා හැදුණු බවය. කවුද හැදුනේ කවුද නොහැදුනේ කියා කීමට අපට නොහැකි ය. නමුත් මේ රට බංකොළොත් රටක් බවට පත් වූයේද , මත් කුඩු පාරාදීසයක් බවට පත්වූයේද, මහපාරේ ගිනි දවල් මිනී මරණ රටක් බවට පත් වූයේද ඔය ගුටි කා හැදුනු වැඩුණු වැඩි හිටියන්ගේ අඩු – වැඩි දායකත්වයෙන් බව නම් කිව යුතුය .

හතර හිනා

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අලුත්ම තැටිය තමා ඇතුළු විපක්ෂයේ බලපෑම නිසා විදුලි බිල වැඩිවීම වැඩිවීම වළකාගැනීමට හැකිවූ බවය. එහෙම නොවූවා නම් මහජනයා සමග පාරට බැසීමට සිටි බව ඔහු මහත් උජාරු වෙන් කියා සිටී. ඇත්තටම ඔය කතා විශ්වාස කරන මිනිස්සුත් ටිකක් හෝ ඇත. මා දන්නා පරිදි නම් කොමිසම ආණ්ඩුවේද ආශිර්වාදය ඇතුව විදුලි බිල වැඩි වීම ටික කලකට හෝ නතර කරගත් බවයි. එතැන දී සජිත් ප්‍රේමදාසලා කළ කෙං ගෙඩියක් නැත යන්න මාගේ අවබෝධයයි.

මෙතරම් දේ සිදුව තිබිය දී අපේ දේශපාලනඥයන් අඩියක් හෝ ඉදිරියට නොයෑම රටේම අවාසනාවක් බවය අවසාන වශයෙන් කිව හැකිය.