සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ ප්රදේශ කිහිපයකට එල්ලව ඇති ඩ්රෝන ප්රහාර මාලාවකින් මෑත දිනවල පුද්ගලයන් 160කට වැඩි පිරිසක් මියගොස් ඇති බව වෛද්යවරුන් සහ මානව හිමිකම් සංවිධාන උපුටා දක්වමින් ජාත්යන්තර මාධ්ය වාර්තා කර තිබේ.
2026 ඔක්තෝබර් 19 වැනිදා වාර්තා වූ මෙම සිදුවීම් අතරට අගනුවර වන කාර්ටූම්හි සිදුවූ ප්රහාරයක් ද ඇතුළත් වන අතර, එයින් කුඩා දරුවන් තිදෙනකු මියගොස් තිබේ. සුඩානයේ රජයේ හමුදා සහ පැරාමිලිටරි වේගවත් සහායක හමුදාව (RSF) අතර පවතින ගැටුම් මධ්යයේ ඩ්රෝන ප්රහාර වැඩිවීම පිළිබඳව ද දැඩි අවධානයක් යොමුව තිබේ.
බටහිර කෝර්ඩෝෆාන් ප්රාන්තයේ අල්-ඩිබාබ් ප්රදේශයේ ප්රවාහන මධ්යස්ථානයකට එල්ල වූ ඩ්රෝන ප්රහාරයකින් පුද්ගලයන් 80 දෙනකු පමණ මියගොස් ඇති අතර වෙළෙඳපොළ දිනය අවසන් වීමෙන් පසු නිවෙස් බලා යාම සඳහා ප්රවාහන පහසුකම් බලාපොරොත්තුවෙන් ජනතාව එම ස්ථානයට රැස්ව සිටියදී මෙම ප්රහාරය එල්ල වී ඇති බව වාර්තා වේ.
මෙම ප්රහාරය සම්බන්ධයෙන් රජයේ හමුදාවට චෝදනා එල්ල වී ඇති නමුත්, වගකීම පිළිබඳව ස්වාධීන තහවුරු කිරීමක් නොමැත.
එමෙන්ම, ඉතියෝපියානු දේශසීමාව ආසන්නයේ බ්ලූ නයිල් ප්රාන්තයේ අවතැන් වූ ජනතාව රැස්ව සිටි ස්ථානයකට එල්ල වූ ප්රහාරයකින් පුද්ගලයන් 41 දෙනකු මියගිය බව මානව හිමිකම් නිරීක්ෂණ කණ්ඩායම් තහවුරු කර ඇති අතර ඩ්රෝන ප්රහාර හේතුවෙන් සිවිල් වැසියන්, දරුවන් සහ අත්යවශ්ය සේවා සැපයුම් පද්ධති දැඩි අවදානමකට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබේ. එමෙන්ම විදුලිබල පද්ධති, ජලාශ සහ වෙනත් අත්යවශ්ය යටිතල පහසුකම් ඉලක්ක කරගත් ප්රහාර හේතුවෙන් ජනතාවට අවශ්ය මූලික සේවා සැපයීම ද අඩාල විය හැකි බව මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි.
2023 අප්රේල් මාසයේ ආරම්භ වූ සුඩානයේ යුද්ධය මේ වන විට දරුණු මානුෂීය අර්බුදයක් බවට පත්ව තිබේ. ගැටුම් හේතුවෙන් මිලියන ගණනක් ජනතාවට සිය නිවාස අතහැර පලා යාමට සිදුව ඇති අතර, ආහාර, සෞඛ්ය සේවා සහ ආරක්ෂිත නවාතැන් සඳහා ඇති අවශ්යතාව ද ඉහළ ගොස් තිබේ.

